Breaking News
Home / ඉතිහාසය සහ සංස්කෘතික / භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ රුපශ්‍රීය සොයා ගත්තේ කවුද? කවදාද? Who has discovered the beautiful Gautama Buddha’s The character of the figure?

භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ රුපශ්‍රීය සොයා ගත්තේ කවුද? කවදාද? Who has discovered the beautiful Gautama Buddha’s The character of the figure?

DFGHJK

භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිබඳ මතබේදයට තුඩුදුන් ප‍්‍රශ්න දෙකක් පසුගිය වසර දෙදහසක පමණ කාලයක් තිස්සේම විටින් විට මතුවිය. එයින් පළමුවැන්න උන්වහන්සේ ඉපදුණු දිනය සහ අවුරුද්දය.

දෙවැන්න උන්වහන්සේගේ බාහිර ස්වරූපය හෙවත් පෙනුම කවරාකාරද යන්නය. සාමාන්‍ය පිළිගැනීම වන්නේ බුදුන් වහන්සේගේ බාහිර පෙනුම හා සමාන පෙනුමැති කිසිවෙක් එදත් නොසිටි බවය. අද ද නොසිටින බවය,

හෙටත් පහළ නොවන බවය. බුදුන් වහන්සේගේ උපන් දිනය සහ අවුරුද්ද පිළිබඳ ප‍්‍රශ්නය පසුගිය කාලයේදී යම් ප‍්‍රමාණයකට විසඳී තිබේ. බුද්ධෝත්පත්තිය ක‍්‍රි. පූ. 563/427 අතර කාලයේදී සිදුවූ බවත් බුද්ධ පරිනිර්වාණය ක‍්‍රි. පූ. 483/400 අතර සිදුවූ බවත් පුරාවිද්‍යාඥයන් විසින් හෙළි කරගනු ලැබ ඇත. ඒ අතර උන්වහන්සේගේ උපන් දිනය මැයි 22 හෝ 27 විය හැකි බවට සාක්‍ෂි ලැබී තිබිණි. ලූම්බිණි සල් උයනේ බුද්ධෝත්පත්තිය හරියටම සිදුවූ තැන මෙයට විසි අවුරුද්දකට පමණ පෙර සොයා ගන්නා ලදී.

ඒ මෙසේය. සිදුහත් කුමාරයාගේ මව වූ මහාමායා දේවිය සිද්ධාර්ථ කුමරෝත්පත්තිය සඳහා විලිරුදා හටගැනීමට ස්වල්ප වෙලාවකට පෙර විලකින් ස්නානය කළාය. ඇය විලෙන් ගොඩවී සත් පියවරක් ඉදිරියට ගොස් සල් අත්තක් අල්ලාගෙන වෙරදරා දරු ප‍්‍රසූතිය සිදු කළාය. එකී ස්නානය සිදුකළ විල සොයාගත් පුරාවිද්‍යාඥයෝ විලේ සිට පියවර සතක් ඈතින්, විල වටා කවයක් ලෙස සිටින සේ කැණීම් කළහ.

පොළෝ මට්ටමේ සිට අඩි 15 ක් පමණ යටට කැණීම් කරද්දී කුඩා ඵලකයක් හමුවිය. සිදුහත් කුමරු මෙහි උපන් බව එම ඵලකයේ සටහන්ව තිබිණි. එය අශෝක අධිරාජයාණන් විසින් පිහිටුවන ලද්දකි. එම ඵලකයේ පිහිටීම අනුව පෙනී ගියේ වසර 2500 කට පෙර පොළව මට්ටම අඩි 15 ක් පහතින් තිබෙන්නට ඇති බවත් කාලයාගේ ඇවෑමෙන් වැලිවලින් ඵලකය වැසී යන්නට ඇති බවත්ය.
 
බුදුන් වහන්සේගේ බාහිර පෙනීම කවරාකාරද යන්න ගැන ප‍්‍රමුඛ ප‍්‍රවාද කිහිපයක් තිබේ. ඉන් පළමුවැන්න මෙසේය. බුදුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවසන කාලයේදී උන්වහන්සේගෙන් බණ ඇසීම සඳහා කුඩා දැරියක් සිය මාපියන්ද සමග නිරන්තරයෙන් ජේතවනාරාමයට ගියාය. නිතර උන්වහන්සේ දැකීම නිසා උන්වහන්සේගේ රූපකාය පිළිබඳ හොඳ මතකයක් ඇය තුළ තැන්පත් විය.

වැඩිවියට පත්වූ මේ දැරිය විවාහ වූ අතර ඇයට නිවුන් පිරිමි දරුවන් දෙදෙනකු ලැබිණි. කුඩා වියේ සිටම චිත‍්‍ර ශිල්පයට දස්කම් දක්වන්නට වූ මේ දරුවෝ උස්මහත් වී චිත‍්‍රකරුවන් බවට පත්වූහ. මේ අතර බුදුහු වියපත්ව පරිනිර්වාණය කළහ. බුදුන් වහන්සේගේ තරුණ රූප කාය පිළිබඳ හොඳ මතකයක් ඇති කාන්තාව සිය චිත‍්‍රශිල්ප දරුවන් ලවා බුදුන් වහන්සේගේ චිත‍්‍රයක් පින්තාරු කරවීමට කල්පනා කළාය.

මේ කියන කාලයේදී ලොව කිසිදු තැනක බුදුන් වහන්සේගේ රුව චිත‍්‍රණය කර තිබුණේ නැත. දිනක් පුතුන් දෙදෙනාද සමග බුද්ධගයාවට ගිය කාන්තාව එහි තිබූ පලකයක් මත සිය දරුවන් ලවා බුදුන්ගේ රුව පින්තාරු කරවන්නට විය. බුදුන් වහන්සේගේ රුව පිළිබඳ ඇය කරන විස්තරය අසමින් දරුවෝ චිත‍්‍රය සම්පූර්ණ කළහ. මෙය බුදුන් වහන්සේගේ රුව ඒ ආකාරයෙන්ම චිත‍්‍රයට නැංවූ පළමුවැනි අවස්ථාවය. මෙම සිද්ධිය ක‍්‍රි. පූ. 450 දී හෝ ක‍්‍රි. පූ. 350 දී පමණ සිදුවී යැයි විශ්වාස කෙරේ.

මීළග කතාව බුදුන් වහන්සේගේ රුව ප‍්‍රතිමාවට නැ`ගීම පිළිබඳ කතාවකි. බුදුන් වහන්සේ ජීවමානව සිටි කාලයේදී අවස්ථා දෙකකදී උන්වහන්සේගේ ප‍්‍රතිමා නෙළීම් සිදුවිය. පළමුවැනි අවස්ථාව උන්වහන්සේ මාතෘ දිව්‍ය පුත‍්‍රයන්ට බණ දේශනා කිරීම සඳහා දෙව්ලොවට වැඩම කළ අවස්ථාවය. උන් වහන්සේ මාස කිහිපයක කාලයක් සඳහා දෙව් ලොව වැඩම කරන බව ඇසූ ශ‍්‍රාවකයන් වහන්සේ කම්පාවට පත්ව උන්වහන්සේ නැති විට වන්දනාමාන කිරීම සඳහා සුදුසු යමක් ඉල්ලූහ. එවිට හඳුන් ලීයෙන් කළ උන්වහන්සේගේ ප‍්‍රතිමාවක් දෙවිවරුන් විසින් මවන ලද බව කියැවේ. එය බුදුන් වහන්සේ පද්මාසනයක වැඩ සිටින ස්වරූපයේ ප‍්‍රතිමාවකි.

ජීවමානව සිටි සමයේදී බුදුන් වහන්සේ ඉන්දියාවේ තැන තැන සැරිසරමින් භාවනා කළහ. එවැනි ඇතැම් භාවනා සැසියක් සති දෙකක් තරමට දීර්ඝ විය. ආහාර වර්ජනය, නිදි වැරීම සහ විජලනය සඳහා ඉතා හොඳින් ශරීරය ප‍්‍රගුණ කර සිටි බුදුන් වහන්සේ පද්මාසනයෙන් නැ`ගී සිටියේ සති දෙක අවසානයේදීය. ඒ කාලය තුළ උන්වහන්සේ ජලය ටිකක්වත් පානය කළේ නැත.

බුදුන් වහන්සේ මෙවැනි භාවනා සැසි පවත්වන අවස්ථාවලදී එම ස්ථානය අවට වෙළෙඳපොළක් බිහිවෙයි. බුදුන් පාමුල පුදනු පිණිස මල් විකුණන මල්කරුවන්, සුවඳ දුම් සහ සුවඳ පැන් විකුණන අලෙවිසල්, බැතිමතුන්ට ආහාර පාන සපයන දන්සල් සහ අවන්හල් මෙන්ම බුදුන් වහන්සේ පද්මාසනයේ වැඩහිඳින රුව ඒ වෙලාවේම සඳුන් ලී වලින් නෙළා විකුණන රුක් වඩුවන් යනාදිය එහි වෙති.

බුදුන් නමැදීම සඳහා ඉන්දියාවට පැමිණි එක් බැතිමතකු විසින් ගෙන යන ලද බුදුන්ගේ සඳුන් ප‍්‍රතිමාවක් මෙයට වසර 50 කට පමණ පෙර චීනයෙන් හමුවිය. එම ප‍්‍රතිමාවේ වයස සෙවීම සඳහා විද්‍යාඥයන් විසින් කරන ලද කාබන් 14 පරීක්‍ෂණයේදී හෙළි වූයේ එය අවුරුදු 2500 කට වඩා පැරැණි බවය. මේ අනුව එය බුද්ධකාලීන ප‍්‍රතිමාවක් බව හෙළි විය.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ සැබෑ ස්වරූපය දැකගැනීම සිය ශ‍්‍රමණ ජීවිතයේ ප‍්‍රමුඛ අරමුණක් කරගත් භික්‍ෂූන් වහන්සේ නමක් කෑගල්ලේ ගම්මානයක පිහිටි කඳු මුදුනක හුදෙකලා ජීවිතයක් ගත කරති. මෙයට වසර දෙකකට පෙර එක්තරා නගරයක පිහිටි විහාරස්ථානයක දී බුදුන් වහන්සේගේ සැබෑ ස්වරූපය දැක ගැනීමට උන්වහන්සේට හැකිවිය. උන්වහන්සේගේ නොකැමැත්ත නිසා උන්වහන්සේගේ නම හෙළිදරව් නොකරමු. උන්වහන්සේ කියන කතාව මෙසේය.

‘‘ මම කුඩා කාලයේ සිටම මහණකමට ප‍්‍රිය කළ කෙනෙක්. ඒත් මට මහණ වෙන්නට ලැබුණේ අවුරුදු 60 දී. දැන් මගේ වයස අවුරුදු 78 යි. මහණ වුණ දවසෙ පටන්ම මට ඕනෑ වුණා බුදුරජාණන් වහන්සේගේ සැබෑ ස්වරූපය කොයි වගේද කියලා දකින්න. මහණ වූ දා පටන් හැම දවසකම මම නින්දට ගියේ මේ ප‍්‍රාර්ථනාව හිතේ තියාගෙන. ඉතින් මහණ වෙලා අවුරුදු 16 කට පස්සේ, එනම් මීට අවුරුදු 2 කට විතර ඉස්සර ? නින්දෙදි මා දකිනවා, දිව්‍ය පුත‍්‍රයෙක්. මම හිතන්නේ සමන් දෙවියන් වෙන්න ඕනෑ. උන්වහන්සේ මට ගමක නමක් කියනවා. ඒ එක්කම මට තේරුම් යනවා උන්වහන්සේ මේ කියන්නේ බුදුන් වහන්සේගේ සැබෑ ස්වරූපය සහිත ප‍්‍රතිමාවක් තිබෙන ගමක නමක් කියලා. පහුවදාම මම බස් එකක නැගලා ඒ කියන ගමේ විහාරස්ථානයට යනවා. විහාරයේ බුදුගේ තුළ තිබෙන බුද්ධ ප‍්‍රතිමාව සැබෑ බුදුන් වහන්සේගේ රූපයට හු`ගක් සමානයි කියලා මට හිතෙනවා. ඊළ`ගට මම කරන්නේ මේ ප‍්‍රතිමාවේ පින්තූර කිහිපයක් ගැනීමයි. ඉන් පසුව දෙවියන්ගේ උපදෙස් අනුව පරිගණකයක ආධාරයෙන් මේ පින්තූරයට විවිධ වර්ණ යොදමින් වෙනස්කම් කරනවා. අවුරුදු දෙකක විතර ව්‍යායාමයකින් පසු මේ පින්තූරය බුදුන් වහන්සේගේ සැබෑ ස්වරූපයට හුගාක්ම ආසන්න වෙලා තිබෙන බවයි. තව කල් යනකොට හැබෑම ස්වරූපය මතු කරගන්න මට මගේ ධාර්මීය චින්තන වලට පුළුවන් වුණා. .

බුදුන් වහන්සේගේ ප‍්‍රතිමා ප‍්‍රසිද්ධියේ නිර්මාණය කිරීමක් හෝ චිත‍්‍ර ඇඳීමක් ක‍්‍රි.ව. 200 දක්වා නොවීය. එයට ප‍්‍රධාන හේතුව එය බුදුන් වහන්සේට කරන අගෞරවයක් ලෙස සැලකීමය. තවත් හේතුවක් වූයේ අධ්‍යාත්මික හෝ ප‍්‍රාතිහාර්යාත්මක බලයක් ඇති පුද්ගලයන් හෝ වස්තූන් ප‍්‍රතිමා වශයෙන් එළිදක්වා වන්දනාමාන නොකිරීමේ සම්ප‍්‍රදායක් එකල නොතිබීමය.

එසේම මෙම සම්ප‍්‍රදාය ඉස්ලාම් ආගම තුළ අදටත් එසේම පවතී. ඒක දේවවාදී හෙවත් එකම දෙවියකු ගැන පමණක් විශ්වාස කරන ඉපැරැණි ආගම් තුළ ප‍්‍රතිමා වන්දනාව ඇත්තේම නැත. මෙයට වසර 2000 කට පෙර ජීවත් වූ බොදුනුවන්ට වැඳ පුදා ගැනීම සඳහා බුද්ධ ප‍්‍රතිමා නොතිබුණ බැවින් බුදුන් වහන්සේ පිටදුන් බෝධිය, උන්වහන්සේ වැඩ සිටි ආසනය යනාදියට වන්දනාමාන කරන ලදී.

ඉන් පසු බුදුන් වහන්සේගේ ශ‍්‍රී පතුලේ ලාංඡුන නිර්මාණය කෙරුණු අතර බොදුනුවෝ ඒවා වන්දනාමාන කළහ. බුද්ධ ප‍්‍රතිමා නෙළීම සහ බුදුන් වහන්සේගේ රුව චිත‍්‍රණය කිරීම පුළුල් මට්ටමින් පටන් ගත්තේ තවත් බොහෝ කලකට පසු ක‍්‍රි.ව. 1100 අග කොටසේදීය. ඉපැරැණි ලේඛනවලට අනුව බුද්ධ ශරීරයේ විශේෂ තොරතුරු මෙසේය.

1. උන්වහන්සේගේ දෙඇස් නිල් පැහැතිය – බුදුන් වහන්සේ අයත් වූ ශාක්‍ය වංශය ඉන්දු ආර්ය වංශයකි. මේ වංශයට අයත් අයගේ ශරීරවල කොකේසියානු ලක්‍ෂණ අඩංගු විය. නිල් පැහැති ඇස් යනු එවැනි කොකේසියානු ලක්‍ෂයකි.

2. උන් වහන්සේගේ සම රන් පැහැයට හුරු දුඹුරු පැහැයෙන් යුක්තය. බුදුන් වහන්සේ රජ පවුලක සාමාජිකයෙකි. සාමාන්‍ය ජනයාට වඩා පැහැපත් සිරුරු එවක රජ පවුල්වල සාමාජිකයන්ට තිබිණි.

3. බුද්ධත්වය ලැබීමට පෙර උන්වහන්සේ සිය හිසකෙස් මුදුන් කොට බැඳ තැබුවේය. බුද්ධත්වය ලද පසු හිස මුඩු කළේය.

4. බුදුහු ලම්බ කර්ණ හෙවත් දිගැති කන්පෙති සහිත උතුමෙක් විය. ගිහි අවධියේදී උන්වහන්සේ විශාල තෝඩු පැළඳියද අභිනිෂ්ක‍්‍රමණයේදී සියලූ ආභරණ ගලවා ඉවත දැමීය.

5. උන්වහන්සේ අඩි 6 කට වඩා උස්ය. මෙයට වසර 2000 කට පෙර ඉන්දියාවේ විසූ ඇතැම් රජවරු අඩි 7 ක් පමණ උස්වූ ශරීර ඇත්තෝය.

මෙතරම් සුවිශේෂ වු දේහ ලක්ෂණවලින් හෙබි අප මහා ගෞතම බුදු පියාණන් වහන්සේ හඩින්ද සුමිහිරිය උන් වහන්සේ ඉතා හෙමින් සියක් දහසක් සුවිසි පිරිසක් අරඹයා දේශණා කොට වදාරන්නා වු ශ්‍රව්‍යමය දැහැන ඇත ගම් දනව්කරා විහිදගත් බව සැලය.
උන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශණා වන්නාවු ඒ අසම සම මධුර රාවයෙන් එකල ගහ කොළද සතා සීපාවද මහත් අස්වැසුම් ලැබූ බව සදහන්ය.

ලිපියේ ආකෘතිය අන්තර්ජාලයෙන් උපුටා ගැනිනි.

 

 

 

About SirilakaNews

Check Also

wimala-2

පාර්ලිමේන්තු සභාගර්භයේ ප්‍රධාන පිවිසුමේ සංස්කෘතික අගයෙන් යුත් සියුම් කලා කෘතිය

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ පාර්ලිමේන්තු සභාගර්භයේ ප්‍රධාන පිවිසුමේ ද්වාරය මෙහි දැක්වේ. පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ වාස්තුවිද්‍යා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *