Breaking News
Home / කලා / රෝහණ විජේවීර යනු සැබෑ අවංක විප්ලවවාදියෙක්! විජේවීර චරිතය රගපාන කමල් අද්දරආරච්චි Rohana Wijeweera is a true honest revolutionary, with wijeweera Character Kamal addaraarachchi

රෝහණ විජේවීර යනු සැබෑ අවංක විප්ලවවාදියෙක්! විජේවීර චරිතය රගපාන කමල් අද්දරආරච්චි Rohana Wijeweera is a true honest revolutionary, with wijeweera Character Kamal addaraarachchi

     KAMAL

අපේ රටේ යුග පුරුෂයෙකුගේ චරිතයට දෙවැනි වතාවට පණ දෙන්න අවස්ථාවට ලැබුණට එදා ඔහු හිතුවෙ නැතිලූ මේ නිර්මාණය මෙතරම් බැරෑරුම් කටයුත්තක් වෙයි කියලා කොහොම වුණත් අද දවසේ කමල් අද්දරආරච්චි නම් වූ රංගධරයා ගින්නෙන් උපන් සීතල හරහා ඒ යුග පුරුෂයා ගේ චරිතයට සාධාරණයක් කර ඇති මොහොතක මාධ්‍ය මෙසේ දොඩමළු වුණා.

⋆ ඔබ රංගනයෙන් දායක වූ නවතම සිනමාපටය ගින්නෙන් උපන් සීතල මාධ්‍ය දැක්ම පසුගියදා පැවැත්වුණා. කොහොමද ලැබුණු ප‍්‍රතිචාර?

ඉතාමත් ඉහළයි. මොකද එවැනි චිත‍්‍රපටයක තියෙන ප‍්‍රබල අන්තර්ගතය සහ පාදක වෙලා තියෙන කතා වස්තුව ආන්දෝලනාත්මක පසුබිමකින් මතුවෙලා එන දේශපාලන කථාවක්. මේකෙ තියෙන විශේෂයක් ලංකා ඉතිහාසයේ දේශපාලන කරලිය තුළ ඉතාමත් ආන්දෝලනාත්මක පසුබිමකින් මතුවෙලා එන දේශපේ‍්‍රමී නායකයකුගේ චරිතය විදහා දැක්වෙන චිත‍්‍රපටයක් වීමයි.

⋆ මේ චිත‍්‍රපටය නරඹල විජේවීරයන්ගේ පවුලේ සාමාජිකයො මොනවද කිව්වේ.

විශේෂයෙන්ම ඔහු ගේ පුතා ඇතුළු පවුලේ අය එදා එතැනට ආපු බව මම දන්නවා. ඒත් මගේ ප‍්‍රෆෝමන්ස් කොහොමද කියල මම ඒ අයගෙන් අහන්න ගියෙත් නෑ. ඒ අයගෙ අදහස මට කිව්වෙත් නෑ. මට දැනගන්න ලැබුණ විදියට ඒ අය චරිතය ගැන සෑහීමකට පත්වෙලා ඉන්න බව තමයි කියන්න තියෙන්නේ.

⋆ මෙහි ඔබට බාර වුණේ විජේවීර කියන දැවැන්ත චරිතය නිරූපණය කිරීමේ අභියෝගය. එය ජයගත්ත කියල ඔබ හිතනවද?

අද වෙනකොට මට ඒක තවත් එක චරිතයක් විතරයි. අභියෝගය තියෙන්නේ දැන් නෙමෙයි තව ඉස්සරහට. අභියෝගය ජයගත්ත කියල මට යම් දුරකට හිතෙනව. මූලික වශයෙන් මම අභියෝගය ජයගන්න ඉදිරිපත් වුණේ චිත‍්‍රපටයේ රඟපාන්න ඉස්සෙල්ල. කමල් අද්දරආරච්චි තුළින් රෝහණ විජේවීරව මතුකරගන්නෙ කොහොමද කියන එක තමයි මුල්ම අභියෝගය වුණේ. මම ඒ අභියෝගය ජයගත්තා.

⋆ මුලින්ම චරිතයට ආරාධනා ලැබුණාම මොකද හිතුණෙ.

ඇත්තටම මම මොකුත්ම හිතුවේ නෑ. මොකද මම කිසිම දේකට බෑ කියන මිනිහෙක් නෙවෙයි. ඒත් මෙතැනදී මම හිතුවෙම මේක කෙරෙන දෙයක් නෙමෙයි කියන එක. මොකද ඕනෑ තරම් දේවල් මාත් එක්ක කට්ටිය කතා කරල තියෙනව අපි අරක කරනව මේක කරනව කියලා. ඒ නිසා මම එච්චර ගණන් ගත්තේ නෑ. චිත‍්‍රපටයේ නිෂ්පාදිකාව වන චමත්කාගේ පියා තමයි මුලින්ම මට ආරාධනා කරන්නෙ. ඔහු සිනෙත්‍රෝ ආයතනයේ අධිපති.

⋆ එතැනින් පස්සෙ

නැවත මාස තුනක් විතර ගියාට පස්සේ ඔන්න අපි ෆිල්ම් එක පටන් ගන්නව ලෑස්ති වෙන්න කිව්වා. මම හරි හරි කිය කියා හිටියා. ඔන්න එක පාරටම දවසක් කිව්වා මුහුරත් උළෙල අහවල් දවසෙ තියෙන්නේ කියලා. අන්න එතකොට තමයි මට තරු පෙනුණේ. දැන් මම හා කියල ආයෙ බෑ කියන්නත් බැහැනේ. මම පිටපත බලලත් නෑ. හරි හරි එදාට දෙන්නම් කිව්වා. ඒක බලල මම කිව්වා කොහොමද කරන්නේ මේකප් එකක්වත් දාලා නෑ. රෝහණ විජේවීර මගේ ඇහි බැමකවත් නෑනේ කියලා. පස්සේ වේෂ නිරූපණ ශිල්පියාගේ මැදිහත්වීම ඇතුළු සියලූ කාරණා සපුරාගෙන අභියෝගයක් හැටියට චරිතය බාර ගත්තා.

⋆ චරිතය ගැන අධ්‍යයනයක් කළාද?

තිර රචනය තුළ ලැබෙනව එක්තරා කියැවීමක්. එයින් පරිබාහිරව ඔහු ගේ සමකාලීනයන් ඔහු ඇසුරු කළ අය ගැන තොරතුරු සාමාන්‍යයෙන් අධ්‍යයනය කරල ඔහුගේ තොරතුරු ඇතුළත් පොතපත සාමාන්‍ය විදියට කියෙව්වා. ඒ වගේම දේශපාලන වේදිකාවල ඔහුගේ අදහස් ප‍්‍රකාශනය ඔහුට කියන්න ඕන වුණේ් කරන්න ඕන වුණේ මොකක්ද වගේම මේ රට වෙනුවෙන් ඔහුට විප්ලවය කරන්න ඕන වුණේ කොහොමද කියන කාරණා වගේම ඒ චරිත ලක්‍ෂණ ගති ලක්‍ෂණ මම රංගන ශිල්පියෙක් විදියට ගලපගෙන තමයි මේ සඳහා සම්බන්ධ වෙන්නේ.

⋆ රෝහණ විජේවීරගේ චරිතය නිරූපණය කරල ඉදිරියේදි ඔබට චෝදනා එල්ල වුණොත් බාරගන්න සූදානම් ද?

අපි පොඩි කාලේ අහල තිබුණ රෝහණ විජේවීරගෙ චරිතය ගොඩනගල තිබුණේ මිනීමරුවෙක් එහෙම නැත්නම් ත‍්‍රස්තවාදියෙක් කියල. ඒත් අද මට හිතෙනව ඒක එහෙම නෙමෙයි කියන එක. මම නිරූපණය කළේ අන්න ඒ සැබෑ අවංක විප්ලවවාදියාගේ චරිතය. ඒ නිසා කවුරු මොනව කිව්වත් මට ඒක ප‍්‍රශ්නයක් නෙමෙයි.

⋆ හදිසියේවත් කෙනෙක් කිව්වොත් ඔබ ඒ දැවැන්ත චරිතයට සාධාරණය ඉටු කළේ නෑ කියල ඔබ දෙන උත්තරය.

ඒක ඉතින් ඒ චෝදනාව එල්ල කරන පුද්ගලයාගේ රසාස්වාදයට අනුව කරන තීරණයක් කියල මම හිතනව. ඒක මම ප‍්‍රශ්නයක් කරගන්නේ් නෑ. ඕනෑම කෙනකුට අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. අදාළ පුද්ගලයා ඒ අදහස් ප‍්‍රසිද්ධියේ සිදු කළොත් ඔහුට මගෙන් නෙමෙයි උත්තර ලැබෙන්නෙ සමාජයෙන් කියන එක මම දන්නවා.

⋆ මේ චිත‍්‍රපටය ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කිරීමට තරම් ප‍්‍රබල නිර්මාණයක් වුණා. ඒ ගැන ඔබේ අදහස්.

ඇත්තටම ඒක දුර්ලභ අවස්ථාවක්. ඒ වගේම අමාරු කාර්යයක්. ඒ විදියට තේරෙන්නෙ චිත‍්‍රපට 40 කට 50 කට එකක්. ඒ නිර්මාණයේ උසස් බව නිසා හිමිවෙන තත්ත්වයක්. ගින්නෙන් උපන් සීතල ඇමරිකානු චිත‍්‍රපට හා තරග වදින්නට තෝරා ගැනීම විශාල ජයග‍්‍රහණයක් කියලයි මම හිතන්නේ.

⋆ කාලෙකට පස්සෙ ඔබට ලැබුණ වෙනස්ම විදියේ චරිතයක් කිව්වොත්.

ඔව්. අනිවාර්යයෙන්ම රෝහණ විජේවීර කියන්නේ ලෝකෙටම එක්කෙනයි. එවන් සුවිශේෂී පුද්ගලයකුගේ චරිතය සිනමා නිර්මාණයක් හරහා ගොඩනැගීමට ලැබීම වෙනස්ම ආකාරයක අත්දැකීමක්.

⋆ මෙතෙක් ඔබ සිනමාවේ කළ චරිත හා විජේවීරගේ චරිතයේ වෙනස ඔබ දකින්නේ.

මේ චරිතය විශාල කැපවීමකින් වගේම වගකීමකින් සහ ඉවසීමකින් කරන්න සිද්ධ වෙච්ච චරිතයක්. මේකප් එක පැත්තෙන් බැලූවොත් පැය හතරකට ආසන්න කාලයක් මේකප් එක දාගන්න කාලය ගතවෙනවා. මේක දාගෙන සීරුවෙන් ඉන්න ඕන. විජේවීරයන්ගේ පෙනුම ගන්න මට මගේ නොවන දත් සෙට් එකක් පවා දාගෙන අපහසුතා මැද කැපවීමෙන් රඟපාන්න වුණා. බොහෝ පීඩා විඳිමින් දේශපාලන වේදිකාවල ඔහු හා සමාන වෙමින් කටයුතු කිරීම ඉතා අපහසු වුණා. ඒ චරිතයට පණ දීමේදී ඇතිවූ වෙනස්කම් ඇත්තටම කිව්වොත් වචනයෙන් විස්තර කිරීම ඉතා අපහසුයි.

⋆ ගින්නෙන් උපන් සීතලට සම්බන්ධ වෙලා දුෂ්කරතා රැසකට මුහුණ දෙන්නත් ඇති නේද?

ඔව්. වේෂ නිරූපණයට අමතරව බොහෝ විට දුෂ්කරතාවලට මුහුණ දුන්නේ දෙබස් කවන අවස්ථාවල. දෙබස් උච්චාරණයේදී නැවත නැවත විජේවීරගේ හඬ මට ඇති කරගන්න අවශ්‍ය වෙනවා. ඔහුගේ ස්වරූපයට මම හඬක් ඒවිදියටම නොදුන්නොත් ඒක ගැටලූවක් වෙනවා. එවැනි දේ නිසා අපහසුවට පත්වූ වාර නම් අනන්තයි.

⋆ වර්තමානයේ අපේ රටේ සිනමාව ගැන ඔබේ අදහස්.

ඒ ගැන තියෙන්නේ විශාල කනගාටුවක්. අපේ රටේ සිනමාව පුබුදුවාලීමේ දැඩි අවශ්‍යතාවක් තමයි දැනට තියෙන්නේ. අපේ අනාගත පරපුරටවත් මේකෙන් ප‍්‍රයෝජනයක් ගන්න නම් මුලින්ම ජනතාව පුබුදුවා ගන්න ඕන. සිනමාව හරහා ඒක ලේසියෙන් කරන්න පුළුවන්. නමුත් ඒක අද දකින්න ලැබෙන්නේ නෑ.

⋆ ගෙවී ගිය කාලයේ ඔබේ සිනමා දිවිය දෙස ආපසු හැරී බැලූවොත්.

බොහොම උදාසීන විදිහට ගිහිල්ල තියෙනව කියල තමයි කියන්න වෙන්නේ. ඉඳල හිටල හම්බවෙන චිත‍්‍රපටය රඟපානවා. ඒ අතරෙ සමහර ඒවා ඔය මොකක් හරි සම්මානෙකට පාත‍්‍ර වෙනව. ඔච්චර තමයි වෙන්නේ. ඒ ගැන මගේ ලොකු ප‍්‍රසාදයක් නැහැ. හරියට බැලූවොත් මට සිනමාව තුළ මීට වඩා යමක් කරන්න තිබුණා. එහෙම තත්ත්වයක් අද වෙනකොට නෑ. ඉදිරියට ඇති වෙයි කියල හිතන්නත් බෑ.

⋆ ඇත්තටම කමල් අද්දරආරච්චි කියන රංගධරයගෙන් අධ්‍යක්‍ෂවරු හරියට වැඩක් ගන්නේ නැද්ද?

ඒකත් මෙන්න මේ වගේ දෙයක්. අපේ රටේ වැඩියෙන් ලී පාවිච්චි කරන්නෙ දරවලට. ඇත්තටම ලී වලින් ඊට වඩා දෙයක් කරගන්න පුළුවන්නෙ.

⋆ කමල් අද්දරආරච්චි යනු කාලෙන් කාලෙට විවිධ කතාවකට ලක්වූ චරිතයක් ඒ ගැන මොකද හිතන්නේ.

ජනපි‍්‍රයත්වයක් එක්ක කාලෙන් කාලෙට විවිධ කතා බහට ලක්වෙනවා. නොදන්න කෙනකුට වඩා දන්න කෙනෙක් ගැන කතා කරන්න පෙළඹෙනවා වැඩියි. විශේෂයෙන්ම මුද්‍රිත මාධ්‍ය. ඒකට ඉතින් මාවත් අහුවෙනව.

⋆ බිරිඳ අනුරානි ඔබ පණ දුන් විජේවීරගේ චරිතය දැකල මොකද කිව්වේ.

එයා තමයි මේ චරිතය මම කරපු හැටි දැකල වැඩියෙන්ම සංතෝෂ වුණ කෙනා. එයාට ඒ ගැන තියෙන්නේ නිම කරන්න බැරි සංතෝෂයක් කියලයි මාත් එක්ක කිව්වේ.

⋆ පුද්ගලික ජීවිතේ දිහා ආපසු හැරී බැලූවොත්.

සතුටුවෙන්න පුළුවන් එකම දේ පුද්ගලික ජීවිතේ නිසා තමයි අද මම මෙහෙම ඉන්නෙ. රංගන ශිල්පියෙක් විදියට පමණක් හිතල කටයුතු කරා නම් අද මට මේ විදියට ඉන්න ලැබෙන්නේ නෑ.

⋆ ගින්නෙන් උපන් සීතල ඔබේ ජීවිතයට වටිනා යමක් දුන් නිර්මාණයක් ලෙස සලකනවද?

අනිවාර්යයෙන්ම” මම අගේ කරන මේ රටේ යුග පුරුෂයකුගේ චරිතයට මම යළි පණක් දුන්න කියල මම විශ්වාස කරනව. එක එක්කෙනා ඕන තරම් කතා කියයි. නමුත් මම ආඩම්බරයි ඒ චරිතය මට නිරූපණය කිරීමට ලැබීම ගැන සහ එය නිරූපණයෙන් මට යම් වටිනාකමක් ලැබුණ කියලත් විශ්වාසයි.

⋆මෙවැනි විප්ලවකාරී චරිතයක් සාර්ථක කිරීමට ලැබීම තුළ ඉදිරියේදී ඔබේ දේශපාලන මතිමතාන්තර වෙනස් වෙයිද?

අයියෝ නෑ. මම ඉන්නෙ බෙහොම මධ්‍යස්ථ තැනක. ඕනම වෙලාවක මට ඕන පක්‍ෂයක් තෝරාගන්න පුළුවන්. කිසිම කඳවුරකට මම ගැති නැහැ. එජාපය වේවා ශී‍්‍ර ලනිපය වේවා ජවිපෙ වේවා මම තෝරා ගන්නේ මේ රටේ දේශපාලන වශයෙන් ඇට්ටකුණා වෙලා ඉන්න ජනතාව යම් පිබිදීමට පත් කරන දේශපාලන මතිමතාන්තරයක.

⋆ ගින්නෙන් උපන් සීතල සම්මානයට පාත‍්‍ර වෙන නිර්මාණයක් වේවි කියල ඔබ හිතනවද?

මෙහෙමයි සම්මානයට පාත‍්‍ර වෙනව කියන එක එච්චර ලොකු දෙයක් කියල මම හිතන්නෙ නෑ. හොඳ දේවල් කරළාම හොඳ ප‍්‍රතිඵල ලැබෙනව. ඒත් එහෙම නොවුණ අවස්ථාත් මට ඕනතරම් තියෙනව. ඒව මට අලූත් දේවල් නෙමෙයි. සම්මාන ලැබුණත් එකයි නැතත් එකයි මම ඒ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි.

⋆ අද අපේ රටේ පවතින දේශපාලන ක‍්‍රමයට බොහෝ පිරිස් අකැමැති විීම නිසා මේ නිර්මාණය යම් විදියකින් ප‍්‍රතික්‍ෂේප වුණොත් ?

එහෙම වෙන්න විදියක් නෑ. මේ රටේ දේශපාලන ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන ලාබාල කෙනෙක් හරි මේක වැළඳ ගන්නව කියන එක මට නම් විශ්වාසයි.

⋆ ඉදිරියේදී ඔබට දිගින් දිගටම මෙවැනි දේශපාලන චරිත නිරූපණයට ආරාධනා ලැබුණොත්.

දේශපාලන චරිත කරන එක නෙමෙයි ප‍්‍රශ්නෙ. මොකක්ද කරන නිර්මාණය කියන එක. ලැබෙන නිර්මාණය කලූද සුදුද කියල මම බලන්නේ නෑ. හොඳ පිටපතක් තුළ මට යමක් කිරීමට තියෙනව නම් ඒ සඳහා මගේ දායකත්වය ලබාදෙන්න සූදානම්.

අන්තර්ජාලය ඇසුරෙනි.

About SirilakaNews

Check Also

181025-Kidnap-1

පැහැරගැනිම – සිංහල සිනමාවට නව නිර්මාණයක්! KIDNAP New creation for Sinhala cinema!

වරුණ මේ මොහොතේ සිටින්නේ විදෙස්ගතවය. දිනෙක තම රාජකාරි නිමවා නවාතැනේ සිටින ඔහුට නොසිතූ කෙනෙකුගෙන් දුරකතන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *