Breaking News
Home / නිදහස් පන්හිද / මම ස්ත්‍රියක සමග සරණබන්ධනය වු විට! When I get married to a woman

මම ස්ත්‍රියක සමග සරණබන්ධනය වු විට! When I get married to a woman

big-noses-on-interenet

ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංගික වෙනස කියන්නේ මේ ‍ලෝකෙ පවතින සියලු ජීවී පදාර්ථයන්ට පොදු වූ එක් කාරණයක්. මෙම පොදු කාරණය මත පදනම්ව මානව ලෝකයේදී මෙම විභේධනය ස්ත්‍රිය හා පුරුෂයා ලෙස වර්ගීකරණය වේ.

ජීව විද්‍යාත්මක සාධක මත පුරුෂයාගේ කාර්යභාරයන් මෙන්ම ස්ත්‍රියගේ කාර්යභාරයෙන් ද වෙනස් වෙනවා. ජීව විද්‍යාත්මක පදනම හා ජීවී ක්‍රියාවන් අතින් එකිනෙකාට වෙනස් වෙනවා. එනම් ජීව විද්‍යාත්මකව ගත් කළ පමණක් ස්ත්‍රී ලිංගික හා පුරුෂ ලිංගික ක්‍රියාකාරීත්වයන් වෙනස් වේ.

‘’පවුල’’ හැදෙන්නෙ ‘’දේපල’’ කියන සංකල්පය මත. තැනින් තැනට යමින්  ජීවත් වුණු ගෝත්‍රික සමාජය තුළ  මගේ කියලා දෙයක් තිබුණෙ නැහැ. එතන තිබුණේ අපේ කියන හැඟීම විතරයි. ඒ රැළේ පිරිමි ගැහැනු හැමෝම එකට ජීවත් වුණා.

ළමයි කාගෙද දන්නෙත් නැහැ. ඒ දරැවො  ඒ රැළේ සම්පත විදියට තමයි සැලකුවේ. පස්සෙ පස්සෙ තැනින් තැනට යමින් ජීවත් වුණු මිනිස්සු එක තැනක ජීවත් වුණා. එතනදි තමන්ට කියලා ඉන්න තැනක් හදාගත්තා එතනදි තමන්ට කියලා ගැනියෙක් තමන්ගේ ළමයි තමන්ගේ දේපල කියන කාරණාව ඉස්මතු වෙන්න පටන්ගත්තා.

එතැනදි කාන්තාවට තිබුණෙ පිරිමියා කැලේට ගිහින් දඩයමක්කරගෙන එනකල් දරුවො බලාගන්න එක. උයන පිහන එක. තමන්ගෙ දේපල රැකගන්න එක. එතැනින් පස්සෙ ඇතිවුණු කෘෂිකාර්මික ජීවිතය තුළත් කාන්තාවට තිබුණේ හේනේ කුඹුරෙ මහන්සි වෙන තව ස්වාමියාට කෑම හදන එක දරුවො බලාගන්න එක වගේ රාජකාරි විතරයි.

අදටත් අපේ සමහර කාන්තාව දැනුම්වත්ව හෝ නොදැනුවත්ව විඳිමින් හෝ විඳවමින් සිටින්නේ ඒ ගෝත්‍රික කාන්තාවගේ ක්‍රියාකලාපයයි. ඒ රීතියයි.

නමුත් අපි දැන් ජීවත් වෙන සමාජයේ අපි ලැබුවේ බටහිර අධ්‍යාපනය. එතැනදි ස්ත්‍රී පුරුෂ කියලා වෙන වෙනම අධ්‍යාපනයක් ලැබුවේ නැහැ. අධ්‍යාපනය සුද්දාගෙන් අරගෙන සමාජ ක්‍රමය ගෝත්‍රික යුගයට පවරලා දැනුම්වත්වම.

21 වැනි සියවසේ අපේ කාන්තාවන් ඉන්නේ කොතැනද කියන ඒක ප්‍රශ්නයක්. තාමත් අනුන් මත යැපෙමින් ජීවත් වෙන්න උත්සාහ කරනවා. සමහර දේවල් කරන්න පුළුවන් පිරිමින්ට විතරයි කියලා හිතලා බලන් ඉන්නවා. පිරිමි වැඩ සහ ගැහැනු වැඩ කියලා වෙන්කර ගන්නවා.

දැනට අවුරුදු පනහකට හැටකට කලින් ඉඳලම ලෝකෙ කාන්තාවන් බස් රථ එලවනවා.  දුම්රිය රියදුරන්, ටැක්සි රියදුරන් කාන්තාවන්. ඒක හරිම සරල දෙයක්. එක් අපේ රටට තාම අරුමයක්.

ලෝකෙ සිදුවෙන හැමදේම එක මොහොතින් ගන්න අපි මේ වගේ දේවල් බලලා අහලා මරු නියමයි කියලා හෙට ඉඳන් ආයෙත් අමතක කරනවා. එතනින් දෙයක් ගන්නේ නැහැ.

උයන්න, මහන්න, රූපලාවන්‍යාගාර පවත්වාගෙන යන්න  විතරක් නෙමේ  පිරිමි එක්ක එකට එක ගැටිලා රස්සාවල් කරන්න කාන්තාවො හිතන්න ඕනෙ. බටහිර රටවල රස්සාවල් ලංකාවේ වගේ ස්ත්‍රී පුරුෂ කියලා වෙන්කරලා නැහැ.

හොඳ වඩුකාර්මිකයො, වාහන අලුත්වැඩියා කරන අය, බස් රථ, කෝච්චි එලවන අය මේසන් බාස්ලා, තීන්ත  බාස්ලා වගේ වැඩකරන්නේ කාන්තාවෝ  ඕනෑ තරම්.
මේ දවස්වල අපේ රටේ ටික ටික කාන්තාවන් එළියට එමින් තියනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. මෝටර් බයිසිකල් පැදපු කාන්තාවන් අඩුවෙන් හිටියේ. දැන් දැන් ඒක ටික ටික වැඩිවේගෙන එනවා. වෙළෙඳපොළට යන්න, දරුවො ඉස්කෝලෙට පංතියට ගෙනියන්න කාර්යාලයට යන්න ස්කූටර් එකක් භාවිත කරන කාන්තාවෝ දැන් වැඩි වෙලා.

පිරිමියාගේ බයිසිකලේ පිටිපස්සෙ ඉඳගෙන පිරිමියාගෙ උරහි‍සෙන් හරි බඩෙන් හරි අල්ලගෙන යන්න පුරුදු වෙලා හිටිය කාන්තාවෝ දැන් බයිසිකල් හැඬලය එක අල්ලගෙන යන්න පුරුදු වෙලා. අනුන් මත යැපෙන ටික අඩුවෙනව එහෙම වුණාම.

මානසික පීඩනය වැඩිවෙන්න එක හේතුවක් තමයි අනුන් මත යැපීම. අනුන් මත යැපීම කියල කියන්නෙ මුදල් මුදල්ම විතරක් නෙමේ. දවසේ එදිනෙදා කටයුතු කරනකොට වුනත් අපි බොහෝ වෙලාවට යැපනේනේ අනුන් මත. මේක ගොඩක්ම කරන්නෙ විවාහක රැකියාවල්වල නිරත නොවන කාන්තාවන්ට. ඔවුන් බොහෝවෙලාවට යැපෙන්නෙ මහත්තයා මත.

සමහර අපේ කාන්තාවො ඉන්නවා ගෙදරට වෙලා මහත්තයා හම්බකරන් එනකල් උඩ බලන් ඉන්නවා. ගෙදර වැඩක් කරන්නෙත් නැහැ. වැඩකරන්නත් කෙනෙක් ඉන්නවා සමහර වෙලාවට. උදේ රෑ නැතුව අන්තර්ජාලයේ. හරහට දිගට මූණ දික්කරන් පිංතූර පැයෙන් පැයට වෙනස් කරකර කාලෙ ගෙවනවා. තමන්ට කියල රසයක් නැහැ. ඒත් කතාවට ගියොත් උපාධිම දෙක තුනක් කරලා. ඒත් තාම අනුන් මත යැපෙන්නෙ. ගමනක් යන්න වුණත් දරුවෙක්ගෙ වැඩකට වුණත් ගෙදර වෙන වැඩක් කරගන්න වුණත් මහත්තයා එනකල් බලන් ඉන්නවා. ඒත් එහෙම  නැතිව අපිට පුළුවන්නම් මහත්තයා මතම යැපෙන්නැතිව ඔහුට හරි හරියට උදව්වෙන්න. ස්වාමියාටත් ඒක ලොකු සහනයක් වෙනවා.

දරුවෙක් දෙන්නෙක් ලැබුණහම අපේ කාන්තාවන් හිතින් ගොඩාක් වයසට යනවා. ළමයි ඉන්න  බොහෝ අම්මලා ඇඟ ගැන හිතන්නේ නැහැ. තමන්ගෙ රූපය ගැන හිතන්නෙ නැහැ. එත් අපිට පුළුවන් නම් ටිකක් ප්‍රබෝධමත්ව ජීවත් වෙන්න. ඒ ජීවිතේ හරිම ප්‍රියජනක තැනක් වෙනවා.

බටහිර රටවල ජීවත්වෙන කාන්තාවො ඉන්නවා ස්වාමි  පුරුෂයෙක් නැතිව දරැවො එක්ක තනියම ජීවත්වෙන. රස්සාව කරනවා, දරුවො බලාගන්නවා, තමන්ගෙ විනෝදාංශත් කරනවා ගෙදර වැඩ, කුස්සියේ වැඩ කරගන්නවා වත්තපිටිය වැඩත් කරගන්නවා කවදාවත් කාගෙවත් මත යැපෙන්නෙ නැහැ.

කාන්තාවට සම තැන දෙන්න කියල කෑ ගැහුවට අනිත් පැත්ත හැරිලා බැලුවහම ගොඩක් තැන්වලදි සමතැන හෝ නිසි තැන අරගෙන නැත්තෙත් කාන්තාවොම තමයි. පිරිමි කරන වැඩ ගැහැනු කරන වැඩ කියලා බෙදාගෙන තියෙන්නෙත් අපිමයි.

මේ කිසිම දෙයක්  තුළින්  ස්වාමි භක්තිය නැතිවෙන්නෙ නැහැ. ස්වාමි භක්තිය තිබිය යුතුමයි. ඒක ගැන තර්කයක් නැහැ. නොඑසේනම් යහපත් පවුල් ජීවිතයක් ගතකළ නොහැකිය. එහෙත් ස්වාමි භක්තිය ස්ත්‍රීයට පමණක්ම සීමා වීම වරදක්.

 මේකෙදි පිරිමියාටත් වගකීමක් තියනවා. ගොඩක් පිරිමි හිතනවා කාන්තාවන්ට සමහර දේවල් කරන්න බැහැ කියලා. ඔවුන්ට අවස්ථාව දෙන්න මැලිවෙනවා.

ගෙදරදි වුණත් කාන්තාවගෙ දේවල් සමහරවෙලාවට වැදගත් වෙන්නෙ නැහැ. උදාහරණයක් විදියට කාන්තාව යාළුවොත් එක්ක ගමනක් යනවට, සාදයකට යනවට, බොහෝ පිරිමි කැමති නැහැ. ඒ වෙලාවට තමුන්ගෙ දරුවො බලාගන්න පවා පිරමි කැමැති නැහැ.

ඒ දේවල් බොරු ගමන් කාණ්ඩයට දානවා. බිරිඳ තමන්ගෙ යාළුවො එක්ක ගමනක් ගිහින් එනකල් තමන්ගෙ දරුවො බලාගෙන ගෙදර ඉන්න පිරිමි කැමති නැහැ. ගෙදර බත් එකක් උයන්න කැමති නැහැ. පිරිමිකමට මදිකමක් කියලා හිතන මෝඩ පිරිමි අදටත් අපේ සමාජයේ ඉන්නවා.

ගෙයක් දොරක් අතුගාන්න රෙද්දක් හෝඳගන්න අකමැතියි. කතාවට දක්ෂයි. හැඳිමිටේ නුවණෙන්  උයන බත් එකෙන් වැඩිපුරම කොටසත්  කනවා. හැබැයි ලංකාවෙ වැඩිපුරම ඉන්නෙ පිරිමි කෝකිවරු. හොටලේ උයලා පොර වෙන්න  කැමති වුණාට ගෙදර උයන්න වුණාම කොර වෙන්නෙ ඇයි කියන්න දන්නෙ නැහැ. ඒව ගෑනු වැඩ කියලා තමයි පිරිමි හිතන්නෙ.

නමුත් බටහිර පිරිමියා මීට වඩා වෙනස්. ස්වාමි පුරුෂයා බොහෝ වෙලාවට කාන්තාවට, බිරිඳට නිසි තැන දීලා තියනවා. තමන්ගෙ වැඩ විතරක් නෙමේ  බිරිඳගේ වැඩත් වැදගත්. හැමදේම කතා කරලා විසඳගෙන ජීවත් වෙනවා. ගෙදර වැඩ විතරක් නෙමේ දරුවන්ගෙ වැඩ වුණත් බෙදාගෙන කරගන්නවා. බොහෝ වෙලාවට ප්‍රශ්න අඩුයි. අද වයිෆ් ගමනක් ගියා මම ඉක්මනින් ගෙදර යනවා උයන්න තියනවා, බබාව පාසැලෙන් ගන්න තියනවා කියලා කියන්න කවදාවත් ඔවුන් ලජ්ජා වෙන්නෙ නැහැ. ඒක හරිම සාමාන්‍ය දෙයක්.

ඒත් බටහිර සමාජයේ කාන්තාවට පිරිමියාට තියෙන්නෙ හරිම සමාන තැනක්. ඉස්කෝලෙ වුණත් ගෑනු යා‍ළුවො පිරිමි යාළුවො කියල කොටස් දෙකක් නැහැ. හැමෝම යාළුවො. ගෑනු පිරිමි කියන වෙනස දැනෙන්නවත් දෙන්නෙ නැති තරම්. කාන්තා පාසැල් පිරිමි පාසැල් කියලා වෙන්කරලා නැහැ ගොඩාක් රටවල්වල. ලංකාවෙ කොළඹ මිශ්‍ර පාසැල් නැති තරම්. කොළඹ පෞද්ගලික පාසැල් විතරයි මිශ්‍ර  පාසැල් තියෙන්නෙ.  පිරිමි ගැහැණු වෙන්කරලා රැකියාත් ස්ත්‍රී පුරුෂ කියල වෙන්කරලා මුල ඉඳලම සිස්ටම් එක අවුල් කරලා තියෙන්නෙ.

ඒ නිසා ස්ත්‍රී පුරුෂ භාවය තීරණය වෙලා තියෙන්නේ ජීව විද්‍යත්මකව වුණත් සමාජය තුළ එය තීරණය වෙලා තියෙන්නේ ඉතාමත් පටු මිනුම් දඬු මත. ඇඳුමකින්, පැළඳුමකින්, කහටහඬෙන්, පෙනුමෙන් ස්ත්‍රී පුරැෂභාවය මනින්න අපි පොඩි කාලයේ ඉඳලම අපේ සමාජ වපසරිය පුරුදු කරලා. ඒ තැනින් අපට ගොඩ එන්න පුළුවන් වෙන්නේ කවද්ද? අන්න එදාට නව ලෝකයක් ගැන තීරණය කරමු.

අන්තර්ජාලය ඇසුරෙනි

About SirilakaNews

Check Also

SKIIL

මානව මුතුන්මිත්තන් පිළිබද පවතින මතවාදය අභියෝගයට ලක්වන මිනිස් හිස් කබළක් ඉතියෝපියාවෙන් හමුවෙයි! Ethiopia meets human skull to challenge existing ideology of human ancestors.

වසර මිලියන 3.8ක් ඉපැරණි වානර ලක්ෂණ සහිත ආදි කාලීන මානව හිස් කබලක් ඉතියෝපියාවෙන් සොයා ගැනීමට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *