Breaking News
Home / නිදහස් පන්හිද / ජීවිත ආශාවේ අභ්‍යන්තර සාධක! බුදුපියාණන්ගේ පිවිතුරු ඥාණයෙන්. The desire for life is an internal factor! The Buddha saw how

ජීවිත ආශාවේ අභ්‍යන්තර සාධක! බුදුපියාණන්ගේ පිවිතුරු ඥාණයෙන්. The desire for life is an internal factor! The Buddha saw how

Untitled-2

”සෙය්‍යථාපි භික්‍ඛවේ වත්‍ථං සංකිලිට්ඨං මලග්ග හිතං,තමෙනං රජකො යස්මිං යෂ්මිං රංගජාතෙ උපසංහරෙය්‍ය යදී නීලකාය, යදී පීතකාය, යදී ලෝහිතකාය, යදීමඤ්ජෙට්ඨකාය, දුරත්තවණ්ණ මේවස්ස.අපරිසුද්ධවණ්ණ මෙවස්ස තං කිස්ස හෙතු ? අපරිසුද්ධත්තා භික්‍ඛවෙ වත්‍ථස්ස එවමෙව ඛො භික්‍ඛවෙ චිත්තෙ සංකිලිට්ඨෙ දුග්ගති පාටිකංඛා”

(මජ්ඣිම නිකාය – වත්‍ථූපම සූත‍්‍රය)

ඉහත දේශනාව බුදුරජාණන්වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ දී භික්‍ෂූන් වහන්සේලා අමතා දේශනා කරන ලදී. මෙහිදී බුදුන්වහන්සේ විසින් භික්‍ෂුන්ට සොදුරු උපමාවක් ගෙනහැර දැක්වීය.

”මහණෙනි, කිලූටු වුණ, අපිරිසිදු වුණ ඇඳුමට තියෙනවා. සායම් පොවන කෙනෙන් මේ ඇඳුමට සායම් පොවන්න  ඕනෑ කියලා හිතලා නිල් පාට හෝ රතු පාට හෝ මදටිය පාට හෝ සායම් තියෙන භාජනයකට මේ ඇඳුමට දානවා. එවිට කුමක්ද සිදුවන්නේ ? ඇත්තෙන්ම අර ඇඳුමට සායම් අල්ලන්නෙ නැහැ. කිලූටුවෙලා අපිරිසිදු වෙලා තියෙන ඇදුම සායම් දැම්මට සායම් අල්ලන්නෙ නැහැ. ඇයි එහෙම වෙන්නෙ ?

එහෙම වෙන්නෙ එ් ඇදුම අපිරිසිදු එකක් නිසා. කිලූටු ඇඳුමක් නිසා. මහණෙනි,ඒ ආකාරයෙන්ම සිත ද කිලූටු වූ කල්හි, අපිරිසිදු වූ කල්හි දුගතියේ උප්පත්තියක් තමයි ලැබෙන්නේ.

කිලූටු අපිරිසිදු ඇදුමකට සායම් පෙව්වාම අවලස්සනක් ලැබෙනවා වගේම සිතක් කිලූටු වුණාම අපිරිසිදු වුණාම දුගතියේම උපත ලබනවා” යනුවෙන් දැක්වූ උන්වහන්සේ නැවත එම උපමාවම අනිත් ආකාරයට ද දැක්වීය.

”මහණෙනි, පිරිසිදු බබළන ඇඳුමක් තියෙනවා. රෙදිවලට සායම් පොවන මනුෂ්‍යයෙක් මේ ඇදුමට සායම් පොවන්න  ඕන කියලා හිතලා නිල් පාට හෝ කහ පාට හෝ රතු පාට හෝ මදටිය පාට හෝ සායම් තියෙන භාජනයකට මේ ඇදුම දානවා. අන්න ඒ වෙලාවට ඒ ඇඳුමට සායම් අල්ලනවා. ලස්සනට පාට වෙනවා. ඇයි එහෙම වෙන්නෙ ?

එහෙම වෙන්නෙ එ් ඇඳුම පිරිසිදු නිසා. පිරිසිදු කම හේතුවෙන් ලස්සනට පාටක් එනවා. මහණෙනි, අන්න එ් වගේ තමයි සිතත් පිරිසිදු නම් කිලූටුවෙලා නැත්නම් සැප තියෙන භවයකම උපදිනවා.” යනුවෙන් එකම කාරණය දෙපැත්තෙන්ම පැහැදිලි කළහ.

මේ උපමාව පැහැදිලි කිරීමෙන් අනතුරුව බුදුරජාණන්වහන්සේ විසින් සිත කිලූටු කරන, සිත අපිරිසිදු කරන කරුණු වදාළහ.

සිත අපිරිසිදු කරන කරුණු ධර්මයේ හ`දුන්වන්නේ ”චිත්තෝපක්ලේශ” නමින් මෙහිදී චිත්තෝපක්ලේශ 16 පෙන්වා දුන්හ.

එ්වා නම් අභිධ්‍යා විෂම ලෝභය,ව්‍යපාදය,ක්‍රෝධය, උපනාහය, මක්‍ඛය, පළාසය, ඊර්ෂ්‍යාව, මසුරුකම, මායාව,  කපටිකම, ථම්භය, සාරම්භය, මානය, අතිමානය, මදය, ප‍්‍රමාදයවශයෙනි.

මේ සිත අපිරිසිදු කරන, කිලූටුකරන, චිත්තතෝපක්ලේශ තිබෙනතාක් කල් සත්වයා සංසාරික වශයෙන් අගතිගාමිවී අනන්ත දුක් අනුභව කරයි. එබැවින් මේ කරුණුවලින් සිත පිරිසිදු කරගත යුතුය.

පළමුවැනි උපක්ලේශය අභිධ්‍යා විෂම ලෝභයයි. මෙහිදී කරුණු දෙකක් එකතුකර ඇත. තමන් සතු වස්තුව පිළිබද අශාව අභිධ්‍යාවයි අනුන්ගේ වස්තුව පිළිබදව ඇති ආශාව විෂම ලෝභයයි.

මෙය සිත කිලූටු කරන බැවින් දුරුකළ යුතුය. මෙය තවත් සරල ආකාරයකින් පැහැදිලි කළ හැකිය. නීත්‍යානුකූලව තමන්ට අයත් වස්තුව, දේපළ, අඹුදරුවන් ආදීන් පිළිබදව ඇති කරගන්නා ලෝභය අභිධ්‍යාවයි. නීතියෙන් තමන්ට හිමිනැති වෙනත් අයගේ දේපළ, වස්තුව හා භාය්‍යීාවන් ආදීන් පිළිබදව ඇති කරගන්නා ආශාව විෂම ලෝභයයි. මෙය කාරණා දෙකක් හැටියට පෙන්වා දුන්නත් ධර්ම වශයෙන් එකක් බව තේරුම්ගත යුතුය.

සිත කිලූටු කරන දෙවැනි උපක්ලේශය ව්‍යාපාදයයි. බොහෝ විට තමාට වඩා බලවත් සතුරන් කෙරෙහි හට ගනී. කුමනහෝ
කරුණක් නිසා වෙනත් කෙනකු උදෙසා ඇති වන විරුද්ධවාදී අදහස් මෝරා ඔහුගේ විනාශය පතන වීට ව්‍යාපාදය ඇති වේ.

ව්‍යාපාදය නව ආකාරයකට ඇතිවන බවද පෙන්වා දෙයි.

ක්‍රෝධය සිත අපිරිසිදු කරන තුන්වන උපක්ලේශයයි  ක්‍රෝධය යනු අන්‍යයන්ට විරුද්ධව නැගී සිටින ස්වභාවයයි එය උපමා කර ඇත්තේ දණ්ඩකින් පහර ලැබූ සර්පයෙකුටය  ක්‍රෝධය ඇති වූ විට චිත්ත සන්තානයදවා පෙළෙන නිසා විටෙක ගින්නකට ද සමාන කරයි.

ක්‍රෝධය කෙතෙරම් දවන ස්වභාවයක්දැයි ක්‍රෝධය හටගත් පුද්ගලයකු දෙස බැලීමෙන් දැනගත හැකිය. සිත පමණක් නොව ශරීරය ද දවන නිසා පුද්ගලයා තුළින් බිහිසුණු ස්වරූපයක් මතුවේ.

ක්‍රෝධය සමහර විට සම්පූර්ණයෙන්ම නැති වී යයි. ඇතැම් විට ක්‍රෝධයෙන් එක්තරා ස්වභාවයක් සිතේ ඉතිරි වී නැවත නැවත මතුවේ.

විශේෂයෙන්ම තමන්ට විරුද්ධ පුද්ගලයන් සහ දේවල් දකින විට හෝ එවැනි දේ මතක් කරන විට ක්‍රෝධය නැවත නැවත මතුවේ.

එසේ නැවත නැවත ක්‍රෝධය මතුවීම උපනාහය හෙවත් වෛරය ලෙස හදුන්වයි.

වෛරය පුද්ගලයා කිලූටු කරන, අපිරිසිදු කරන උපක්ලේශයකි.

පස්වන උපක්ලේශය මක්ඛෝ හෙවත් ගුණමකු බවයි.

එනම් යහපත් පුද්ගලයන්ගේ ගුණය මකා දමන බවයි. ඇතැම් පුද්ගලයන් තමන්ගේ දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ, සත්පුරුෂයන්ගේ, ගුණය සුළුකොට දක්වති. ගුණයන්නොතකා අගුණම මතුකරයි. කුමන තරාතිරමක ගුණවතකුගේ වුවද ගුණය මතු නොකර අගුණම කියයි.

මේ ස්වභාවය මක්ඛො හෙවත් ගුණමකු බවයි. පළාස යන්නෙන් අදහස් කරන්නේ උසස් පුද්ගලයන් සමග තමන්ව සංසන්දනය කිරීමයි.

තමන්ට වඩා උගත්කම් ඇති ගුණවත්කම් ඇති පුද්ගලයන් තමන් හා සමාන කොට දැක්වීමෙන් තමාගේම පරිහානිය ඇතිකරගනී. එවැනි පුද්ගලයන් ඔවුන්ගේ ගුණවත්කමින් දැන උගත්කමින් ප‍්‍රයෝජනයක් නොගනී. මේ පළාස ස්වභාවය සිතේ ඇති වූ විට සිත අපිරිසිදු වේ.

ඊර්ෂ්‍යාව හත්වැනි  චික්කෝපක්ලේශයයි. වෙනත් පුද්ගලයන්ට සම්පත් ලැබීමට හා තිබීමට අකැමැති ස්වභාවය මින් අදහස් කරයි.

අනුන්ගේ ධනය, ගෞරවය ලැබීම, පිරිවර, දැන උගත්කම, සූරත්වය, රූපය, පරිත්‍යාගය, ශීලය, ශරීර ශක්තිය හා නීරෝගිකම ආදී කරුණු සම්බන්ධයෙන් ඊර්ෂ්‍යාව ඇතිවන්නේය ඊර්ෂ්‍යාව අපරාධ බහුල වීමට හේතුවකි මිනීමැරුම්, හොරකම්, කෝලහාල, විනාශ කිරීම්, නඩුහබ ආදී බොහෝමයක් අපරාධ සදහා ද වසවිස, හදීහූනියම්, ගුප්ත ගුරුකම් ආදීය සදහා ද ඊර්ෂ්‍යාව මගපෙන්වයි.

කපටිකම හෙවත් සාඨෙය්‍ය නමින් හදුන්වන්නේ දසවැනි චිත්තෝපක්ලේශයයි. එහි ස්වභාවය මෙසේ තේරුම් ගත යුතුය.

තමා තුළ නොමැති ගුණ ධර්ම තමන් තුළ තිබෙන සේ කටයුතු කිරීම, සමහර උපකරණ, බඩු භාණ්ඩවල නොදත් වටිනාකම් මතුකර දැක්වීම, කරන ක‍්‍රියාවේ නියම අදහස නොපෙන්වා වෙනත් අදහසක් සදහා මේවා කරන බව පෙන්වීම ආදී ස්වභාවයන් කෛරාටික ස්වභාවයන්ය.

අනුන් රවටන ස්වභාවය කපටිකමෙහි ඇති නිසා සමහරු මෙය ප‍්‍රඥාව ලෙස වැරදීයට තේරුම් ගනී. මෙය ප‍්‍රඥාව නොව ප‍්‍රඥාවේ ස්වරූපයෙන් සිටින මෝහයයි. අනතුරුව ඉගැන්වෙන චිත්තෝපක්ලේශය මානය නම් වේ. ජාතිය, කුලය,

බලය, කීර්තිය, රූපය ආදී කරුණු මුල් කරගෙන පුද්ගලයන් මනින ස්වභාවය මානය නම් වේ. මානය තුන් ආකාර බව (සෙය්‍ය, සදීස, හීන අපි දන්නෙමු. සෙය්‍ය මානය හා සදීස මානය තුළ ඇත්තේ උඩගුකමය. හීන මානය තුළ උඩගුකම මෙන්ම ලැජ්ජාව ද ඇත.

ලැජ්ජාව උසස් ගුණයක් වන්නේ පව් කිරීමට ලැජ්ජාව මතුවූ විටය. හීන මානය නිසා ඇතිවන ලැජ්ජාව පාපී ධර්මයකි. මානයෙන් පසුව එන චිත්තෝපක්ලේශය අතිමානයයි. එය දාහතර වැනි කාරණාවයි.

අතිමානය, සාමාන්‍ය මානයට වඩා අනර්ථකර ස්වභාවයකි. අනුන් පහත් කොට තමන් උසස් කොට ඇතිකර ගන්නා දැඩි මානය, අතිමානය නම් වේ.

අතිමානය ඇති තැනැත්තාට තමාගේ තත්ත්වය හා අනුන්ගේ තත්ත්වය යන දෙඅංශයම නොවැටහේ. මේ මාන අකිමාන දෙක පිං කිරීමට ද බාධා කරන ධර්මතා දෙකකි.

මේ මානාතිමාන නිසා සමහරු පන්සල්වලට නොයති. ආගමික වතාවත්වලදී අන්‍යයන් හා සමානව කටයුතු නොකරති. බිම ඉඳ ගන්නට අකමැති වෙති. ගමේ පන්සලට නොයා පිට ගම්වල ප‍්‍රසිද්ධ විහාරස්ථාන සොයාගෙන යති.

මීළග චිත්තෝපක්ලේශය මදයයි. මත්පැන් පානය කළ එකකුමෙන් මත් වූ ස්වභාවයකින් පසුවීම මදය ලෙස හදුන්වයි. මත් වූ තැනැත්තා මත හේතු කරගෙන නොකළ යුතු දේ කරයි. කළ යුතු දේ නොකරයි.

මදය උමතු බව ලෙස ද දක්වයි. මදය ඇතිවන හේතු 24ක් විභංග ප‍්‍රකාරණයෙ දක්වා ඇත. ඒ අතරින් ජාති මදය, ආරෝග්‍ය මදය හා යෞවන මදය නිතර ජනයා තුළ ඇතිවන බව පෙනේ.
වත්‍ථුපම සූත‍්‍රයේ උගන්වන අවසාන චිත්තෝපක්ලේශය ප‍්‍රමාදයයි.

යම් කිසි පාවෙන දෙයක් දිය පහරකට වැටුණ විට එම පාවීම නැවැත්තුවේ නැතිවුණොත් දිය පහර ගලනතාක් එම වස්තුව පාවීයයි.

එලෙසම සිතට කාමය ඇතිවී එය සද්ධර්ම ශ‍්‍රවණයෙන්, සත්පුරුෂ ආශ‍්‍රයෙන්,

යෝනිසෝ මනසිකාරයෙන් නැවැත්තුවේ නැතිවුවහොත් සිත ද කාම විෂය තුළ ඇදී ඇදී යයි. එම ස්වභාවයන් ප‍්‍රමාදය යැයි කියයි. තවත් ආකාරයකින් කිවහොත් සසර දුකෙන් නිදහස් වීමට අවශ්‍ය දාන සීල ආදී පුණ්‍යකි‍්‍රයාවක් නොකර දීවා රාත‍්‍රි කම් සැප සොයමින් වෙහෙසෙන්නේද එය ප‍්‍රමාදය ලෙස දැක්වේ.

මේ  චිත්තෝපක්ලේශය දහසය එකින් එක තේරුම් ගත යුතුය. මේවා තුළින් සිත අපිරිසිදුවන බව සිත කිලූටුවන බව තේරුම් අරගෙන දුරින්ම දුරු කළ යුතුය. සිත නමැති වස්ත‍්‍රය කිලූටු කරන මේ උපක්ලේශ හදුනාගෙන ඉන් මිදීමට අප උනන්දු විය යුතුය. එවිට බබළන සිතකින් පිරිසිදු සිතකින් මේ භව ගමන නිමා කොට උතුම් නිවන සාක්‍ෂාත් වන්නේමය.

බෞද්ධ දේශණාවක ඇසුරෙන්  අන්තර්ජාලයේදි හමුවු ලිපියක අනුසාරයකි.

About SirilakaNews

Check Also

_103137691_gettyimages-897731684

වීඩියෝ ක්‍රීඩා දරුවන්ට වැළඳෙන අලුත්ම රෝගය! Video games The newest disease Children are infected.

අපි වැඩිහිටියන්ගේ ඇබ්බැහිවීම් හැටියට වැඩිපුර කතා කරන්නේ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය පිළිබඳවයි. නමුත් ළමුන්, යෞවනය සහ තරුණයන්ගේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *