Breaking News
Home / පුවත් / ඉතාලියේ අධිවේගී දුම්රිය ආයෝජනය ශ්‍රී ලංකාවට අහිමි වුයේ කෙසේද? Italy’s high-speed rail investment How did Sri Lanka lose?

ඉතාලියේ අධිවේගී දුම්රිය ආයෝජනය ශ්‍රී ලංකාවට අහිමි වුයේ කෙසේද? Italy’s high-speed rail investment How did Sri Lanka lose?

Italy-High-Speed-Train Italy-Train

විදෙස් ආයෝජන ගලා නො ඒම ලංකාවේ ආර්ථික අර්බුදයට එක් හේතුවක්ය යන්න ආර්ථික විද්‍යාඥයන්ගේ මතයයි. එවැනි සංවාදයක් පවතින අවස්ථාවේ අධිවේගී දුම්රිය නිෂ්පාදනය කිරීමේ විදෙස් ආයෝජන ව්‍යාපෘතියකට බාධා කළැයි ආයෝජන මණ්ඩලයට විවේචනයක් එල්ල වී තිබේ.

ආයෝජකයන්ගේ පාර්ශ්වයෙන් කෙරුණු පැමිණිල්ලක් අනුව ජනාධිපතිවරයා ද මේ වනවිට අදාළ සිදුවීමට මැදිහත් වී ඇත. මෙවර සත්‍ය ගවේෂණයෙන් විමර්ශනය වන්නේ එම සිදුවීමේ පසුබිම් කතාවය. 

සිය ව්‍යාපෘතිය ගැන සිලෝන් හයිස්පීඞ් රේල්වේ ලිමිටඞ් සමාගම 2018 මැයි 10 වැනිදා ජනාධිපතිවරයාට කරන ලද පැමිණිල්ලට අනුව මේ කතාව දිව යන්නේ 2016 ඔක්තෝම්බර් 28 වැනිදාටය.

ඔවුන්ගේ පාර්ශ්වයෙන් කතාව කීමට අපි එම ලිඛිත පැමිණිල්ල මූලාශ්‍රය කරගනිමු. දේශීය අධ්‍යක්ෂවරුන් දෙදෙනකුගෙන් යුතු සිලෝන් හයිස්පීඞ් රේල්වේ අධිවේගී දුම්රිය කට්ටල නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති යෝජනාව ආයෝජන මණ්ඩලයට යොමු කළේ එදිනය.

ඉන් පසුව 2016 දෙසැම්බර් 10 වැනිදා ආයෝජකයන්ගේ ආයෝජන එකඟතා ආයෝජන මණ්ඩලයට යොමු කර ඇති අතර එවකට මණ්ඩලයේ සභාපතිවරයාව සිටි උපුල් ජයසූරිය මහතා එහි අධ්‍යක්ෂ විදර්ශන ප්‍රනාන්දු මහතාට උපදෙස් දී ඇත්තේ මේ ගැන සොයා බැලීමට වෙනම කමිටුවක් පත් කිරීමටය.

එහෙත් සභාපතිවරයාගේ උපදෙස් නොතකා හිටපු අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ මහතා මේ පිළිබඳව කටයුතු කිරීමට වගකීම හා බලය ඇත්තේ තමාට යැයි කියමින් මාස තුනකට ආසන්න කාලයක් නාස්ති කළ බව එහි දැක්වේ.

ඉන්පසුව සිය සමාගමේ යුරෝපීය අධ්‍යක්ෂ ඉන්දික අනුරුද්ධ මහතා පාස්කරලිංගම් මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගත්විට මුළු ආයෝජනයෙන් 25% ක් ලංකාවට ගෙනඑන්නේ නම් ආයෝජන ගිණුමක් විවෘත කර දිය හැකි බව පවසා ඇතත් ඊට ආරක්ෂණයක් නොවීමේ පදනම මත ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත.

මේ අතර අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ පෞද්ගලික නියෝජිතයකු තමන් හා දුරකතනයෙන් සම්බන්ධ වී ඇමැතිවරයා පෞද්ගලිකව මුණගැසෙන්නැයි කී බව ද එම ලිපියේ දැක්වේ.

ඉන් පසුව ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක තනි කවුළු ආයෝජන කමිටුවට මෙම ව්‍යාපෘතිය යොමු කෙරුණු නමුත් ව්‍යාපෘතියේ සංකීර්ණ බව කියමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා දිගින් දිගටම බාධා කරද්දී මුදල් අමාතයාංශයේ නියෝජිත ආචාර්ය සමරතුංග මහතා ඊට සහය දෙමින් අදහස් දක්වා ඇතැයි ද එහි සඳහන් වේ.

සිලෝන් හයිස්පීඞ් රේල්වේ සමාගමේ දේශීය කළමනාකාර අධ්‍යක්ෂවරුන් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියෙන් නගන ප්‍රධාන චෝදනාවක් වන්නේ ආයෝජන මණ්ඩලය සිය නිල ක්‍රමවේදයෙන් පිට ගනුදෙනු කිරීමට උත්සාහ කිරීමය.

එම ලිපියේ ඒ බව සඳහන් වන්නේ මෙසේය. ‘මිලාන් සෙන්ට්‍රල් ස්ටේෂන් අසල පිහිටි හෝටලයේදී 2017.09.28 දින අප අධ්‍යක්ෂවරයා දුමින්ද ආරියසිංහ මහතා හා මහින්ද රාමනායක මහතා හමු විය.

එහිදී දුමින්ද ආරියසිංහ මහතා පවසා සිටියේ මෙම ව්‍යාපෘතිය අනුමත කරගැනීමට අවශ්‍ය නම් මහින්ද රාමනායක මහතා පවසන ආකාරයට කටයුතු කරන මෙන් හා නැවත සියලු ලිපි ලේඛන අලුතින් ඔහුට ලබා දෙන මෙන්ය.

එසේ නොවන්නේ නම් ඔවුන්ට මෙම ව්‍යාපෘතිය අනුමත කිරීමට නොහැකි බවය. තවද මෙම හමුවීම කිසිවකුට නොදන්වන ලෙස ද පවසන ලදී. තවත් කරුණක් වූයේ කිසිවිටෙක මෙම ව්‍යාපෘතිය ගැන සාමාන්‍ය දුරකතනයෙන් කතා නොකරන ලෙසය.

ලිපියේ සඳහන් ආකාරයට සිලෝන් හයිස්පීඞ් රේල්වේ කළමනාකාර අධ්‍යක්ෂවරුන් අවධාරණය කරන්නේ විෂය බාර රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා 2017 ඔක්තෝම්බර් 17 වැනිදා ඉතාලියේ මිලානෝහිදී වූ හමුවීමක් ගැනය.

‘ඉතාම වැදගත් කරුණක් නම් එම අවස්ථාවේදීම සුජීව සේනසිංහ මහතාගේ පෞද්ගලික යාළුවකු වන ඉතාලියේ ජීවත් වන දිලිප් වෙදමානික්කම් මහතා  අපගේ ආයෝජකයන්ට හඳුන්වා දෙන ලදී……..

තවත් දින කිහිපයකට පසුව අමාත්‍යවරයාගේ නියෝජිතයා අප ආයෝජකයන් අමතා පෞද්ගලිකව හමුවීමට අවශ්‍ය බව පවසා ඇත. එවිට අප ආයෝජකයන් පවසා ඇත්තේ සිලෝන් හයිස්පීඞ් රේල්වේ සමාගම සමග රැස්වීම සැලසුම් කළ යුතු බවය’

මෙම සිදුවීම්වලින් පසුව ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා හා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ව්‍යාපාර සැලසුම (Business Plan)  ඉල්ලා සිටි බවත් ඉන්පසු පැවති සාකච්ඡාවලදී ආයෝජන ව්‍යාපෘතිය අධෛර්යවත් කරන සිදුවීම් වූ බව ද ජනාධිපතිවරයාට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

තවද ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා මිස ආයෝජකයන් සොයා යෑමට කිසිම වුවමනාවක් තමන්ට නැති බව හිටපු සභාපතිවරයා හා අධ්‍යක්ෂවරයා කී බවත් ඊට අදාළ හඬපට තමන් සතු බවත් එහි සඳහන් වේ.

මෙම ආයෝජකයන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කළ විමර්ශන වාර්තාවක් ඇති බවත් එය නිරීක්ෂණය කර මෙම ව්‍යාපෘතිය රට තුළ ක්‍රියාත්මක කිරීමට මැදිහත් වන ලෙසත් සිලෝන් හයිස්පීඞ් රේල්වේ සමාගම වැඩිදුරටත් එමගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

කවුද මේ සිලෝන් හයිස්පීඞ් රේල්වේස්?

මේ සම්බන්ධයෙන් අප ආයෝජන මණ්ඩලයෙන් කළ විමසීමේදී අධිවේගී දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තොරතුරු පත්‍රිකාවක් අප වෙත යොමු කිරීමට එහි සන්නිවේදන අංශය කටයුතු කළේය.

ඊට අනුව මෙම ව්‍යාපෘතියේ දිග පළල ගැන යම් අදහසක් ඇතිකරගත හැකිය.

නොම්මර 605, නුගපේ, පමුණුගම ලිපිනයේ 2015.04.09 දිනැතිව ලියාපදිංචි කළ සිලෝන් හයිස්පීඞ් රේල්වේ සමාගමේ දේශීය අධ්‍යක්ෂවරු දෙදෙනෙක් වෙති. සමාගම සතුව කොටස් 100 ක් පවතී.

අධිවේගී දුම්රිය කට්ටල් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය- කර්මාන්ත ශාලා 34 ක උපාංග නිෂ්පාදනය කරනු ලබන අතර ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථාන පහකදී එකලස් කරනු ලැබේ.

නිෂ්පාදනය සදහා සියලුම අමුද්‍රව්‍ය මූලික වශයෙන් ආනයනය කරනු ලබන්නේ යුරෝපයෙන් සහ අන් රටවලිනි. සියලුම කොටස් සහ උපාංග ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලබයි.

එකලස් කිරීම සහ අවසන් පරීක්ෂාවට භාජන කිරීම කරනු ලබන්නේ ඒ සඳහාම විශේෂිත වූ දුම් රථ ධාවන පථයකයි.

අවසන් නිෂ්පාදිත දුම්රිය කට්ටල නැවත කොටස්කර ගෝලීය පාරිභෝගිකයන්ට අපනයනය කරයි.

ඊට අමතරව සමාගම දුම්රිය යටිතල පහසුකම් උපාංග, ධාවන පථ, විශේෂිත පාලම්, බිම්ගෙවල්, විදුලි උපකරණ, අන්තර් බැඳීම් සහිත ආරක්ෂිත පද්ධති සහ මාර්ග සංඥා වැනි ක්‍රියාකාරකම්වල නිරත වීමට අදහස් කරයි.

යුරෝ මිලියන 488 ක් වසර 8ක කාලයකදී ප්‍රාග්ධන භාණ්ඩ වෙනුවෙන් ආයෝජනය කරනු ලබන්නේ ආයෝජකයා විසිනි.

ක්‍රියාකාරී ප්‍රාග්ධනය ලෙස යුරෝ බිලියන 2.2 ක් යුරෝපීය සමාගම් විසින් ආයෝජනය කිරීමට(ව්‍යාපෘතිය අවසානයේදී)  යෝජිතයි.

යුරෝ බිලියන 5-7 දක්වා (වසර 7කදී) වැය කිරීමට යෝජිතය. එය දැනට රටේ මුළු අපනයනවලින් 30%ට සමානය. මේ යටතේ කළමනාකරුවන් 280 ක්, ඉංජිනේරුවන් 600 ක්, කාර්මිකයන් 6950 ක්, පුහුණු සේවකයන් 7910 ක්, යන්ත්‍ර ක්‍රියාකරුවන් 3300 ක්, අත් උදවුකරුවන් 1920 ක් හා පුහුණු වන්නන් 1500 ක් ලෙස රැකියා උත්පාදනය වේ.

වසර 12 ක් තුළදී ඇරඹීමට නියමිත බව කියන ව්‍යාපෘතියේදී ආයෝජකයා රජයෙන් බලාපොරොත්තු වන දෑ එහි මෙසේ සඳහන් වේ. දිගුකාලීන බදු ක්‍රමයෙන් බැහැරව ඉඩම් අක්කර 4000 කට වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමට නියමිතය.

එයින් රජයේ ඉඩම් අක්කර 2242ක් කෙරවලපිටිය, මුතුරාජවෙල හා හොරණ ප්‍රදේශයෙන් ද පෞද්ගලික ඉඩම් අක්කර 1823 ක් කරුවලගස්වැව, තණමල්විල, බදගිරිය, රන්න යන ප්‍රදේශවලින් ලබාගැනීමට නියමිතය.

මෙම ඉඩම් ආයෝජන මණ්ඩල පනත යටතේ සහතික ලත් කලාප හැටියට ලබා ගැනීමටද අදහස් කරයි. එහි ප්‍රාග්ධන භාණ්ඩ ලැයිස්තුව මෙසේ දක්වා ඇත.

ප්‍රයිම් මූවර්ස් 220, එක්ස්කැවේටර්ස් 40, ජේ.සී.බී 30, ෆෝක් ලිෆ්ට් 600, බූම් ට්‍රක්ස් 75, ලෑන්ඞ් වෙහිකල්ස් 100, බස් 50, යතුරු පැදි 400, වතුර පොම්ප 1200, වායුසමීකරණ ඒකක 1500, හෙලිකොප්ටර් 4, ආයෝජකයන් සඳහා විශේෂ වාහන 22, නැව් 2, ජංගම දුරකථන 10 000, තට්ටු 36 යේ කාර්යාලයීය ගොඩනැගිලි 3 යි.

මෙහිදී සිලෝන් හයිස්පීඞ් රේල්වේ සමාගම හා ආයෝජන මණ්ඩලය ආයෝජන ව්‍යාපෘතිය ගැන කරුණුමය වශයෙන් අපට යොමු කළ විස්තර බොහෝ දුරට සමානය. මෙහිදී දෙපාර්ශ්වය අතර විවාදය පැන නැගුණේ ආයෝජන ව්‍යාපෘතිය අනුමත කිරීමේ ක්‍රියාවලිය ගැනය.

එහිදී ආයෝජන මණ්ඩලය පාර්ශ්වය දිගටම අවධාරණය කරන්නේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවශ්‍ය විස්තර ප්‍රමාණවත් පරිදි ලබා නොදීම නිසා මෙම ක්‍රියාවලිය දිග්ගැස්සුණු බවයි.

එහෙත් සිලෝන් හයිස්පීඞ් රේල්වේ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍රීමාල් නිකලස් මහතා චෝදනා කළේ ආයෝජන මණ්ඩලය මෙවැනි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියෙන් බැහැරව සිය විදෙස් ආයෝජකයා සමග පෞද්ගලික මට්ටමින් නිලධාරින් හා දේශපාලකයන් ගනුදෙනු කිරීමට යෑමෙන් මෙම බාධාකිරීම් සිදු වූ බවටය.

මෙහි ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන ඇන්ටන් දේශප්‍රිය මහතා පැවැසුවේ ආයෝජන මණ්ඩයේ අධ්‍යක්ෂවරයා සිය ව්‍යාපාර සැලසුම ඉල්ලා සිටීම නිසා තත්ත්වය තවත් අවුල් වූ බවය.

ආයෝජන මණ්ඩලයට ආයෝජන සැලැස්ම මිස ව්‍යාපාර සැලැස්ම ඉල්ලා සිටිය නොහැකි යැයි ද ආරම්භක වශයෙන් සිය ආයෝජන සංකල්පය අනුමත කර ලියාපදිංචි කළේ නම් ව්‍යාපෘතිය මේ වනවිට සැලකිය යුතු දුරක් ගොස් ඇතැයි ද දේශප්‍රිය මහතා කීවේය.

විශේෂයෙන්ම ව්‍යාපෘති ආයෝජනයෙන් අයුතු මූල්‍ය ලාබයක් ලබාගැනීමට රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා උත්සාහ කළ බවට ඔහු චෝදනා කළේය.

එහෙත් මේ සම්බන්ධයෙන් සිලෝන් හයිස්පීඞ් රේල්වේ නගන චෝදනා මුළුමනින්ම බැහැර කරන බව කී රාජ්‍ය ඇමති සුජීව සේරසිංහ මහතා මෙම ආයෝජක කණ්ඩායමේ ව්‍යාපාර ඉතිහාසය දූෂිත බවට ප්‍රතිචෝදනා නැගීය.

තවද ඇන්ටන් දේශප්‍රිය මහතා අවස්ථා තුනකදී දුරකතනයෙන් තමාට මරණ තර්ජන කළ බවත් ඇමැතිවරයා කීවේය. මෙම සමස්ත සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් මරණ තර්ජන කිරීම ගැන කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයටත් පැමිණිලි කළ බවත් කීය.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා මෙම තත්ත්වයට අදාළ සම්පූර්ණ විස්තරය නිරීක්ෂණය කිරීමෙන් පසුව කීවේ, මෙම ආයෝජන ව්‍යාපෘතිය සාපේක්ෂව සැලකූ විට විසල් ආයෝජන යෝජනාවක් බවයි.

උදාහරණයකට ඔහු දැක්වූයේ ඉඩම් අක්කර හාරදහසක් ආයෝජන කටයුතුවලට ඉල්ලා සිටීමයි.

ඒ අනුව මෙවැනි ඉල්ලීමකදී රාජ්‍ය පාර්ශ්වය සවිස්තරාත්මක විමර්ශනයක් කිරීම වැරැදි නොවන නමුත් එය ආයෝජන මණ්ඩල වපසරියේම සිදුකිරීමත් ඊට අදාළ නිලධාරින් ලවාම එය සිදුකිරීමත් වැදගත් බව ආචාර්ය දුනුසිංහ මහතා අවධාරණය කළේය.

මේ අතර ජනාධිපතිවරයාට සිලෝන් රේල්වේ සමාගම යොමුකළ පැමිණිල්ලට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඊට අදාළව අවස්ථා දෙකකදී මේ වනවිට පැමිණිලිකාර පාර්ශ්වය ගෙන්වා වැඩිදුරටත් විස්තර ලබාගැනීමට අල්ලස් කොමිසම කටයුතු කර ඇති අතර ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා කළ පැමිණිල්ලට අදාළව ද පොලිස් පරීක්ෂණයක් සිදුවෙමින් පවතී.

‘මේක තනිකර බොරුවක් ’

ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ 

මේ අය හදන්නේ ජනමාධ්‍ය මගින් බලෙන් අවධානය ගන්නයි. මේ අයගේ ව්‍යාපාර ඉතිහාසයම නරක ණයබර එකක්. මහජන බැංකුවේ නඩුවක් තියෙනවා. මේ සමාගමට සම්බන්ධ හතර දෙනෙකුගේ විස්තර ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ ලැයිස්තුවේ (ක්‍රිබ්) තිබෙනවා. මා එය ඔබට ඉදිරිපත් කරන්නම්.

ජාඇල මහජන බැංකුවට රුපියල් 6 50 659.00 ක ණයක් ගෙවීම් පැහැර හැර ඒවා බොල් ණය ලෙස කපා හැරලා. ඔරියන්ට් පී.එල්.සී එකට රුපියල් 4 97 986.00 ක්. ඒකට එම්.එස්.ඩී 48952 අංකයෙන් උසාවියේ නඩුවක් තිබෙනවා.

නිකලස් ශ්‍රීමාල් රත්නප්‍රියට මීගමුව මහජන බැංකුවේ 4 20352.00 ක මුදලක් පොලිය ද සහිතව ගෙවීම පැහැර හැරලා. ජොසපින් රොද්‍රිගෝ නේෂන් ට්‍රස්ට් බැංකුවට රුපියල් 8 35 000.00 ක් ගෙවලා නෑ.

ඒ වගේම 2009 පෙබරවාරි 26 වැනිදා සොසේජස් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට මෙහි කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍රීමාල් නමැත්තා අයැදුම් කර අනුමැතිය ගත්තත් මාස නවයක් යනතුරුම කිසිදු ආයෝජනයක් කර නෑ.

ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකළ නිසා 2017.10.16 එය අහෝසි කර තිබෙනවා. ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ගිවිසුම් අංක 3969/02/04/2009 යටතේ මේ විස්තර සඳහන් වෙනවා.

එම සොසේජස් කම්හලට මුවාවෙලා තවත් බැංකු ණයක් ගෙන තිබෙනවා. සිලෝන් රේල්වේ කියන සමාගම ඉතාලියට කිසිදු සම්බන්ධයක් නෑ.

ඉතින් මේ වගේ ව්‍යාපාර ඉතිහාසයක් තිබෙන අයෙකු ගැන කතා කිරීමේ තේරුමක් තියෙනවාද? ක්‍රිබ් එකේ අසාදු ලේඛන ගතවීමක් සිදුවෙන්නේ සරලවම කිව්වොත් නිවැරදිව ණය නොගෙවීම නිසයි. බැංකුවක් වුණත් ණයක් දෙන්න කලින් ක්‍රිබ් එක බලනවා.

මේ ඉතිහාසය බැලුවාම මේ අය කවුද කියලා පැහැදිලියි. මම මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. ඉදිරියේදී ඇත්ත නැත්ත තහවුරු වේවි.

2016 අගෝස්තු 27 හා 2017 පෙබරවාරි මාසයේදී මේ ඇන්ටන් නමැත්තා මට දුරකථනයෙන් ඉතාලියේ සිට මරණ තර්ජන කළා. ඒ ගැන මම මිරිහාන පොලිසියට පැමිණිලි කළා. දැන් මේ බොරු චෝදනා ගැන මා නැවතත් මාධ්‍ය හමුවක් පවත්වා හෙළි කළ දිනයේ නැවතත් මරණ තර්ජන කළා.

නලින් බණ්ඩාර රාජ්‍ය ඇමැතිවරයාටත් මොවුන් තර්ජන කර තිබෙනවා. ඒ ගැන කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට මා පැමිණිලි කළා. නුදුරේම මොවුන් කවුදැයි මහජනතාවට දැනගැනීමට හැකිවේවි.

ජනාධිපතිවරයාගෙන් සාධාරණයක් වේ යැයි හිතනවා

සිලෝන් හයිස්පීඞ් රේල්වේ ලිමිටඞ්හි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඇන්ටන් දේශප්‍රිය 

ආයෝජන මණ්ඩලයෙන් එවලා තියෙන අපේ ආයෝජන ව්‍යාපෘතිය ගැන දත්ත වාර්තාවේ බහුතරයක් තොරතුරු නිවැරැදියි. එහි අවසානයේ තිබෙන 2017 දෙසැම්බර් 20 අසම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළාය යන්න බොරු චෝදනාවක්. තොරතුරු දෙන්න අමතර කාලයක් ඉල්ලුවා කියන එකත් වැරදියි. අපි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයට අවශ්‍ය සියලු විස්තර දුන්නා.

ආයෝජන මණ්ඩලයට ව්‍යාපාර සැලසුම් ඉල්ලන්න බෑ. ඒක වැරදියි. එය අවධානය යොමුකළ යුත්තේ ආයෝජන සැලසුම්වලටයි. සන්නිවේදනය නතර කළේ ආයෝජන මණ්ඩලය මිසක් අප නෙවෙයි.

අන්තිමේ බැරිම තැන අපි ව්‍යාපාර සැලසුමත් ඔවුන්ට ලබාදුන්නා. දෙවැනි වතාවට තනි කවුළු ආයෝජන කමිටුවට අපේ ව්‍යාපෘති විස්තර ඉල්ලා සිටියේ

ජනාධිපතිවරයා මෙයට මැදිහත් වූ නිසයි. මේ ප්‍රශ්නයට ජනාධිපතිවරයාගෙන් සාධාරණයක් වේවි යැයි අපි විශ්වාස කරනවා. මේ කියන විදියට අපිට බැංකුවලට වංචා කරලා සැඟවිලා ඉන්න ඕනෑ නම් අපි මේ විදියට ආයෝජනයක් අරගෙන නැවත ලංකාවට ඒවිද? හැංගිලා ඉන්න ඕනෑ නම් මෙහෙම විවෘත ආයෝජනයක් කරන්නේ නෑනේ. බැංකුවලට ගෙවන්නට තිබෙන්නේ සුළු මුදලක්. ඒක නොගෙව්වේ හොරකමකට නෙවෙයි.

ණය මුදල් හා බැඳුණු අනෙකුත් ගනුදෙනු හා ඉඩම්වල ඇති ගැටලු නිසයි. මම රාජ්‍ය බැංකුවකින් පළමු වරට ජංගම ගිණුමක් ආරම්භ කරලා ප්‍රථම තාවකාලික අයිරා මුදල ගත්තේ සාමාන්‍ය පෙළ සිසුවකුව සිටියදියි.

මරණ තර්ජන කතාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. සාමාන්‍ය මනුස්සයෙකුට ඇමැතිවරයකුට තර්ජනය කරන්න පුළුවන්ද? නලින් බණ්ඩාර කියන ඇමැතිවරයාගේ නමත් මම ඇහුවේ එදාමයි.

‘ ආයෝජනවල විනිවිදභාවය වැදගත්’ ’

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ 

මෙම ආයෝජකයාගේ පහුගිය ව්‍යාපාර හා ආයෝජනවලට අදාළ කාර්යසාධනය සම්බන්ධයෙන් විවිධාකාර ගැටලු තිබෙන බව පේනවා. ඔහුගේ මූල්‍ය සක්‍යතා පිළිබඳ ගැටලුව එහිදී මූලිකයි. එම පරිසරයේදී මෙවැනි ආයෝජනයකට ඉඩදීමට ප්‍රථමයෙන් ආයෝජන මණ්ඩලය එහි සාර්ථකභාවය ගැන සවිස්තරාත්මක සොයාබැලීමක් කිරීම යෝග්‍යයයි.

ඔහු අපේක්ෂා කරන ඉඩම් ප්‍රමාණය අක්කර හාරදහස් ගණනක්. ඊට අමතරව ඔහු රජයෙන් අපේක්ෂා කරන පහසුකම් සැලකිල්ලට ගත්විට ආයෝජකයාගේ කාර්යසාධනය සෙවීම වැදගත්.

රජය සතුව පවතින භූමිය හා අනෙකුත් සීමිත සම්පත් අසාර්ථක ආයෝජනයකට යෙදීමෙන් සාර්ථක ව්‍යාපෘතියකට ඇති සම්පත් අපතේ යෑමට ඉඩකඩක් තිබීම ඊට හේතුවයි.

මේ නිසා ආයෝජකයාගේ ව්‍යාපාර සරලසුම හා අනෙකුත් ලියකියැවිලි සොයාබැලීම ආයෝජන මණ්ඩලයේ  නිත්‍යනුකූල වපසරිය තුළ කළ යුතු කාරියක්.

විශේෂයෙන්ම තමන් කරන්නේ විනිවිදභාවයෙන් යුතු ආයෝජනයක් නම් ඵලදායී නම් එවැනි අවස්ථාවක රජය ඉල්ලා සිටින යම් යම් තොරතුරු නිසියාකාරව ලබාදීමට ඔහුට හැකියාව තිබෙනවා.

එසේ තොරතුරු ලබාදීමෙන් ආයෝජන විශ්වාසය වැඩි වෙනවා වගේම සිය ආයෝජනයේ පවතින යම් අඩුපාඩු ගැන නැවත සිතන්නටත් වෙනස්කම් කිරීමටත් ඔහුව යොමු කරනවා. මේක වින් වින් සිටුඒෂන් එකක්.

අනෙක් අතට මෙවැනි ආයෝජනයකදී දේශපාලකයන් සෘජුව තීන්දු ගැනීමට මැදිහත්විය යුතු නෑ. ආයෝජන සම්බන්ධයෙන් පරීක්ෂාවට ඇගැයීමට රාජ්‍ය ආයතනයක් තිබෙනවා.

එය සමන්විතවන්නේ විශේෂඥ දැනුමෙන් යුතු පිරිසකගෙන්. ආයෝජන ප්‍රවර්ධනයේ නාමයෙන් වුවත් දේශපාලකයන් එම සාකච්ඡාවලට සම්බන්ධ වීම සුදුසු නෑ.

දේශපාලකයන්ගෙන් විය යුත්තේ ආයෝජන කටයුතු නිසියාකාරව ඇගැයීමට අදාළ ආයතනයට ඉඩ දී ඊට අවශ්‍ය දේශපාලන නායකත්වය දීමයි.

අනිසි දේශපාලන මැදිහත්වීම්වලින් වෙන්නේ විනිවිදභාවයෙන් කටයුතු කරන ගුණාත්මක බවින් ඉහළ ආයෝජකයන් ලංකාවට පැමිණීමට මැලිවීමයි.

මෑතකදී අප කළ පර්යේෂණයක ප්‍රතිපලයකදී හෙළිවූයේ විදේශ ආයෝජකයන් ලංකාවේ ග්‍රාමීය පෙදෙස්වල ආයෝජනයට මැලිකමක් දැක්වීමයි.

එසේ මැලිකමක් දැක්වීමට මූලික හේතුව වූයේ ප්‍රාදේශීය දේශපාලකයන් ආයෝජකයන්ට කරන අයුතු යෝජනායි.

මුලාශ්‍ර අන්තර්ජාලයෙනි!

About SirilakaNews

Check Also

AAAAA

වයසට යාමේ සංඥා!The Signs of Ageing

“ජීව විද්‍යාත්මකව සැලකුවොත් වයස්ගත වීමට අදාළව කිසි ම යහපත් තත්ත්වයක් මට නම් පේන්නේ නෑ”එලෙස අදහස් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *