Breaking News
Home / දේශපාලන / අගමැති පත් කිරිමේ ව්‍යවස්ථා ගැටළුව! The constitutional question of appointing the Prime Minister!

අගමැති පත් කිරිමේ ව්‍යවස්ථා ගැටළුව! The constitutional question of appointing the Prime Minister!

mahinda-rajapaksa-with-ranil-wickremasinghe Mahinda-Ranil-and-Maithri

පසුගිය කාලයේ පැවති ආර්ථික ගැටලු හා සංවර්ධන ක්‍රියාවලිය සම්බන්ධ ප්‍රශ්න හමුවේ ශ්‍රී ලංකාවට අලුතින් අගමැතිවරයෙකු ලෙස මහින්ද රාජපක්ෂ පත්කිරීම නව වෙනසක් ඇති කිරීම සඳහා මුලපිරීමක් ලෙස ඇතැම් අය අදහස් දක්වා ඇත. කෙසේ වෙතත් මෙම වෙනස සිදු කළ ආකාරය ගැන බොහෝ අයට තවම පවතින්නේ අවිනිශ්චිත භාවයකි.

නීති වගන්ති ගැන ගැඹුරු අවබෝධයක් නැති සාමාන්‍ය ජනතාවට ‘ව්‍යවස්ථානුකූල ගැටලුව’ තවමත් ප්‍රහේලිකාවකි.

මෙම තත්වය මත දැනටමත් ගැටලූ කිහිපයක් මතුව තිබේ. අගමැතිවරුන් දෙදෙනෙකු සිටීම මත
නීත්‍යානුකූල භාවය පිළිබද සැකය, අමාත්‍ය මණ්ඩලය හෝ ලේකම් වරු පත් කිරීම නීතියට අනුකූලද ඔවුන් දෙන නියෝග ක්‍රියාත්මක කිරීම අනාගතයේ රාජ්‍ය නිලධාරීන්ට ගැටලු මතුකරාවිද යන සැකය එහිදී ප්‍රධානවේ.

අගමැතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් පවතින නීතිය පැහැදිලි කරන්නට මාධ්‍ය ඉදිරියට එන නීතීඥයින් තම තමන්ගේ දේශපාලන පක්ෂපාතීත්වය අනුව එම වගන්ති අර්ථ දක්වන නිසා සමහරු හරි කීමත් සමහරු වැරදි කීමත් දක්නට ලැබේ. මේ නිසා ඇත්තටම හරි මොකක්ද යන්න ජනතාවට තවම පැහැදිලි නැත.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ ගැන තිබූ විධිවිධාන යහපාලන රජය 2/3 බහුතරයෙන් සම්මත කරගත් 19 වන සංශෝධනයෙන් පසු විශාල වෙනස්කමකට ලක්කරගෙන තිබූ නිසා නව නීති රීති ගැන පැරණි නීතිය දන්නා විවිධ පාර්ශවයන් පළ කරන මත අතර පටලැවිල්ලක්ද පවතී.

ඒ අතර ඊයේ ජීඑල් පීරිස් මන්ත්‍රීවරයා පෙන්වාදුන් පරිදි 19 සංශෝධනයේ සිංහල හා ඉංග්‍රීසි පිටපත්වල පවතින වෙනස්කමක් නිසාද පටලැවිල්ලක් මතුව ඇත.
ඒ ඒ භාෂාවෙන් වූ පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, බලපැවැත්විය යුත්තේ කවර පාඨය ද යන්න පාර්ලිමේන්තුව විසින් යම් නීතියක් පනවන අවස්ථාවේ දී තීරණය කළ යුතුය. යනුවෙන් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 16 වන ව්‍යවස්ථා සංශෝධනයෙන්  සදහන් වන නමුත් 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සදහන්ව නැත.

නව අගමැතිවරයෙක් පත් කිරීම පිළිබද  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ   ‘ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.” යනුවෙනි.
අගමැතිවරයා ඉවත් කිරීම පිලිබදව කිසිදු ප‍්‍රතිපාදනයක් වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇතුලත්ව නැත.

නමුත් අගමැතිධූරය හිස්වීම පිළිබදව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46(2) ව්‍යවස්ථාවේ දක්වා ඇත. ඒ අනුව අගමැති ධූරය හිස්වන ආකාර 3ක් දැක්වේ.
ඉල්ලා අස්වීම, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු නොවීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම අවසන් වීම ඒ තුනයි.

කෙසේ වෙතත් 48(1) ව්‍යවස්ථාවේ අගමැතිවරයා ඉවත් කිරීම පිළිබදව වන සදහනක් ඇති බවට නීති තර්කයක් තිබේ..
නමුත් එය වෙන්වී ඇත්තේ  ‘අමාත්‍ය මණ්ඩලය විසිරීම’ සම්බන්ධයෙන් විනා අගමැතිවරයාගේ ධූරය කාලය සම්බන්ධයෙන් නොවන බව එහි ලූහුඩු මාතෘකාවෙන් කර ඇත.

අමාත්‍ය මණ්ඩයේ පැවැත්ම අවසන්වීම සිදුවන අවස්ථාවන් 48(2) ව්‍යවස්ථාවේ දක්වා ඇත. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම අවසන් වන්නේ
පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ ප‍්‍රතික්ෂේප කළ විටක ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් සම්මත කළ විටෙකය.
මේ අනුව පැහැදිලි වන්නේ 2018 ඔක්තෝබර් 26 වන දින වන විට අමාත්‍ය මණ්ඩලය විසුරුවා නැති බැවින් අගමැතිවරයා ගේ ධුරය හිස්ව නැති බවයි.

පොදු ජනඑක්සත් පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් කැබිනට් මණ්ඩලය විසිරෙන්නේද? යන ගැටලුව ගැන නීතිඥයින් කරුණු දක්වා ඇත.

නීතීඥ සංගමය පැවැත්වූ ප්‍රවෘත්ති සංකච්ඡාවේදීද පෙන්වා දුන් පරිදි රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්වන්නේ ජාතික ආණ්ඩුවේ නොවේ. ජාතික ආණ්ඩුව පිහිටුවන පාර්ලිමේන්තු යෝජනාව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ගෙනඑන්නේ 2015 සැප්තැම්බර් මස 2 වන දින වන අතර ඔහු අගමැති ලෙස පත්වන්නේ 2015 අගොස්තු මාසයේය. එම මාසයේම අමාත්‍යවරුන් කිහිප දෙනෙක් දිවුරුම් දෙන ලදී.

ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ රනිල් අගමැති ලෙස පත්කර කලකට පසුය. ඒ අනුව ජාතික ආන්ඩුව විසුරුවාහැරීම සමග රනිල්ගේ පත්වීම අහෝසි නොවේ.
2015 සැප්තැම්බර් 2 වන දින ජාතික ආන්ඩු යෝජනාවෙන් පොදුජන එක්සත් පෙරමුණ ඉවත් වූ විට සිදුවන්නේ ආණ්ඩුව 2015 සැප්තැම්බර් මස 2 වන දින යෝජනාවට පෙර තිබූ තත්වයට පත් වීම මිස විසිරීම නොවන බව නීතීඥ තර්කයයි.

රනිල් ‘පිං අගමැති’ ලෙස පත්වූ බවට කතා පැතිරුණ 2015 ජනාවාරි 9 වනදා සිදුවීම මේ හා සමානද යන්න ගැනත් නීතීඥ අදහස් මතුව තිබේ.
2015 ජනවාරි 9 වනදා වන විට මෙරට ක‍්‍රියාත්මක වූයේ 18 වන සංශෝධනය දක්වා සංශෝධන මගින් සංශෝධනය වූ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවයි එහි අගමැතිවරයාගේ ධුරය අවසන් වන ආකාර 3ක් ඇත.

ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීම, ඉල්ලා අස්වීම, පාර්ලිමේන්තු මන්ත‍්‍රි ධුරය අවසන් වීම හා අමාත්‍ය මංඩලයේ පැවැත්ම අවසන් වීම
(එතෙක් පැවති ව්‍යවස්ථාවේ 47 වන ව්‍යවස්ථාව) එම පත්කිරීම සිදුව ඇත්තේ ඒ අනුවය.

නමුත් වර්තමානයේ භාවිතා වන්නේ 19 වන සංශෝධනයෙන් සංශෝධනය වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. එහි එවැනි ප‍්‍රතිපාදනයක් නොමැත.
එසේම 2015 ජනවාරි මාසයේදී හිටපු අගමැති ඉවත් කර නව අගමැති පත් කරන්නේ එය ජනාධිපතිවරණයේ මැතිවරණ පොරොන්දුවක් පරිදිය.

එබැවින් ඒ සදහා ජනතා අනුමැතියක්ද පවතී. එසේම 2015 ජනවාරි 20 වන දින පාර්ලිමේන්තුව රැස්වූ අතර එහිදී මෙම අගමැති ධූරය කිසිවෙකු විසින් අභියෝගයට ලක් කලේ නැත. ඒ වෙනුවට නිමල් සිරිපාල සිල්වා මහතා විපක්‍ෂ නායක ලෙස පත් කිරීම එහිදී සිදුවිය.

අගමැති ඉවත් කිරීම සදහා අර්ථ නිරූපන ආඥා පනතේ ප‍්‍රතිපාදන භාවිතා කල හැකිද? යනුවෙන්ද ගැටලුවක් පවති.
අර්ථ නිරූපන ආඥා පනතේ 14(ඊ) වන වගන්තිය දක්වන්නේ යම් නිලධාරියකු පත්කල තැනැත්තාට ට ඔහුව ඉවත් කිරීමේ බලය පැවරෙන බවයි. නමුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පත්කිරීම් සම්බන්ධයෙන් මෙම වගන්තිය භාවිතා කල නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු මගින් පිළිගෙන ඇත.

(එක් තීන්දුවක් නම් අතපත්තු එදිරිව මහජන බැංකුව(1997(1) ශ‍්‍රීලංකා නීතිවාර්තා 208)
එසේම එකී පනතේ සදහන් වන්නේ  ර්‍ණනිලධාරියෙකු” ඉවත් කිරීමක් සම්බන්ධයෙනි. අගමැතිධුරය නිලධාරියකු නොවේ.(නීතිමය තර්කයකි) අගමැතිවරයා රජයේ නිලධාරියකු යන්නට අයත් නොවන බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 170 ව්‍යවස්ථාවේ සදහන් වේ.

මෙම ගැටලූව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසදාගත හැකි ද? යන්න පිලිබඳ පසුගියදා නීතීඥ සංගමය පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් මතුවිය.
මේ පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි අවස්ථා කිහිපයක් ඇති බව එහිදී පෙන්වා දෙන ලදි. එනම් මූලික අයිතිවාසිකම් නඩුවක් හෝ ජනාධිපතිවරයා විසින් අධිකරණයේ මතය විමසීමක් වශයෙනි.

සමහර විට අභියාචනාධිකරණයේ රිට් ආඥාවක් ඉල්ලිය හැකිවුවත් මෙහි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අර්ථ නිරූපනයක් පවතින බැවින් එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුවනු ඇත. එවැනි අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදිය හැකි තීරණ 3කි.

1. අගමැති ඉවත් කිරීම හා නව අගමැති පත් කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එකග බවට තීරණය කිරීම
2. අගමැති ඉවත් කිරීම හා නව අගමැති පත් කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කිරීම
3.පෙත්සම නිශ්ප‍්‍රභා කිරීම
මෙම තීරණ 3න් කුමන තීරණය දෙනු ලැබූවද  ආණ්ඩුවේ පැවැත්ම තීරණය වන්නේ ආසන්තම දින පැවැත්වෙන පාර්ලිමේන්තුවේදී වන අතර එහිදී බහුතර බලය පෙන්විය හැකි පුද්ගලයාට අගමැතිධුරය ලබාදිය යුතුය.
පහත දැක්වෙන්නේ 48(1) සිංහල හා ඉංග්‍රීසි වගන්තිය.

 

About SirilakaNews

Check Also

Untitled-1pro

ශිෂ්ඨ දේශපාලනයට නොගැළපෙන දේශපාලන ක්‍රියාවලියකට රනිල් වික්‍රමසිංහ මහතා අවතීර්ණය වුණා!ජනාධිපතිතුමා කියයි. Ranil Wickremesinghe entered into a political process that does not suit civilized politics.The President says

රට තුළ ඇතිවූ දේශපාලන, ආර්ථික අර්බුදයත්, තමාව ඝාතනය කිරීමේ ප්‍රබල කුමන්ත්‍රණයක කරුණු හෙළිදරව් වීමත් හේතුවෙන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *