Breaking News
Home / නිදහස් පන්හිද / රණවිරුවෙකු මරාදැමීම! Killing a war hero.

රණවිරුවෙකු මරාදැමීම! Killing a war hero.

kiling

ඒ 1992… හරියටම කිව්වොත් දිනය අගෝස්තු අටවැනිදායි……

ෆයිනල් කවුන්ට් ඩවුන් මෙහෙයුමට පැය 38ක් තිබියදී යාපනය කයිට්ස්හි අරාලි තුඩුවේදී පුපුරා ගිය පීඩන බෝම්බයත් සමඟ මෙරට යුද හමුදාව සලිත වී යන පුවතක් අසන්නට ලැබෙන්නේය.

ඒ යුද හමුදාවේ සිටි විශිෂ්ට සෙන්පතියකු වූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ඇතුළු රණවිරුවන්ගේ මරණයයි. එම සිදුවීමෙන් යුද හමුදාව පමණක් නොව රටට ආදරය කළ දේශප්‍රේමී ජනතාවගේද ඇසට කඳුළක් උපන්නේය.

අත දරුවාගේ සිට මහල්ලා දක්වා මේ රටේ මිනිසුන් බල්ලන් බළලුන් සේ තැන තැන මරා දමමින් මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කළ ජන ඝාතකයකුගේ කතාවට තිතක් තැබීමට සිටි සෙන්පතියකු අහිමි වී යෑම නිසාවෙන් හටගත් ශෝකයටත් වඩා සිය ජීවිතයේ වැඩිමනත් මාතෘභූමිය හා ජනතාව වෙනුවෙන් උතුරේ ක්‍රියාන්විතවලට ඔහු කළ කැප කිරීම නිසාවෙන් හටගත් ශෝකයෙන් ජනතාව වෙළී ගියහ.

ජාතියක් ලෙස ලාංකිකයන් කොබ්බෑකඩුව සමඟ එදා උතුරේදී මියගිය රණවිරුවන්ගේ මරණය ස්මරණය කරමින් ශෝක වෙද්දී එකී ශෝකය දෙගුණ කළ පුවතක් නැඟෙනහිරින් අසන්නට ලැබෙන්නේය.

මේ 2018 වසරයි…….. හරියටම කිව්වොත් දිනය අගෝස්තු අටවැනිදායි……..
යුද හමුදාව තුළ අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කරන සන්නද්ධ හමුදා බුද්ධි බළකායේ සියලු රෙජිමේන්තු සසල කරමින් මේ පුවත සැල වන්නේය. පළමුවැනි සන්නද්ධ හමුදා බුද්ධි බළකායේ දෙවැනි අණ දෙන නිලධාරියා ලෙස මීට මාස හයකට පෙර කටයුතු කළ මේජර් ඩික්ෂන් රාජමන්ත්‍රිට 1998 වසරේ සිදුවූ සිදු වීමකට අදාළව මරණ දඬුවම හිමි වීම ඒ පුවතයි. සන්නද්ධ හමුදා බුද්ධි බළකා ඉතිහාසයේ සක්‍රිය සේවයේ යෙදී සිටියදී මරණ දඬුවම හිමි වන ඉහළම නිලධාරියා ලෙසට මේජර් රාජමන්ත්‍රි මේ අනුව බුද්ධි බළකා ඉතිහාසයට එක් වන්නේය. ඒ තමන් අත්අඩංගුවේ සිටි කොටි සැකකරුවකුගේ මරණය සම්බන්ධයෙනි.

ත්‍රිකුණාමලය-අනුරාධපුර මංසන්ධිය ආසන්නයේ නිවෙසක ජීවත් වෙමින් තිස්ස මහ විදුහලේ මූලික අධ්‍යාපනය හදාරන මේජර් රාජමන්ත්‍රි තිස්ස විදුහලටත් ත්‍රිකුණාමලයටත් ආයුබෝවන් කියා පවුලේ සියල්ලන්ම සමඟ පිට වන්නේ 1987 වසරේදීය. ඒ කොටින්ගේ සැහැසි ක්‍රියාවන් එන්න එන්නම දරුණු වෙමින් පැවැතියදීය. සහෝදර සහෝදරියන් තිදෙනකුගේ පවුලේ වැඩිමලා වන ඩික්ෂන් රාජමන්ත්‍රි මෙන්ම සොහොයුරාද හමුදාවට එක් වන්නේ වෘත්තීයමය රාජකාරියකට වඩා එදා රට තුළ පැවැති අවශ්‍යතාව මනාව තේරුම් ගනිමිනි. චතුර ලෙස දෙමළ භාෂාව හැසිරවීමේ රුසියකු වූ රාජමන්ත්‍රි පළමුවැනි සන්නද්ධ හමුදා බුද්ධි බළකායට අනුයුක්තව උතුරේ සේවය කරමින් සිටියේය. දෙවැනි ඊළාම් යුද සමයේදී කොටින්ගේ ඉලක්ක විනාශ කිරීමට අවශ්‍ය දායකත්වය සපයමින් යාපනය, මන්නාරම, වැලිඔය හා මුලතිව් වැනි ප්‍රදේශවල මෙන්ම ඕමන්ත යුද හමුදා මුරපොළේද විශේෂ රාජකාරි කටයුතුවලද නිරතව සිටියේ ත්‍රස්තවාදී ඉලක්ක සොයා සිය බුද්ධි මෙහෙයුම් දියත් කරමිනි.

මෙරට යුද්ධය දරුණු ලෙස පැවැති 1990 දශකයේදී හමුදාවේ මුලතිව්, අලිමංකඩ, ඔඩ්ඩුසුඩාන් වැනි දැවැන්ත කඳවුරු බිඳවැටෙමින් අත්අඩංගුවට පත්වූ යුද සෙබළුන් අමු අමුවේ කොටින් විසින් ඝාතනය කරනු ලබමින් සිටියදී නිවාඩු නොලබා උතුරේ රැඳී සිටිමින් සිය බුද්ධිමය දායකත්වය රට වෙනුවෙන් ලබා දෙන්නට මේජර් රාජමන්ත්‍රි කටයුතු කළේය.
ජයසිකුරු ක්‍රියාන්විතය සිදු වෙමින් පැවැතියදී ඊට ඇවැසි බුද්ධිමය තොරතුරු ලබා දෙමින් සෙසු නිලධාරීන් හා එක්ව කොටින් මැඬලමින් කොටි බළකොටු තුළට ප්‍රහාර එල්ල කිරීමට සිය සක්‍රිය දායකත්වය දුන් මේ නිලධාරියා තමන්ට මහත් හිසරදයක් බව කොටි නායකත්වය දැන සිටියේය. එම නිසා ඔහු ඝාතනය කරන්නට අවස්ථා කිහිපයකම ඉව ඇල්ලුවේය. ඒ සඳහා විවිධ උපක්‍රමද යෙදවූයේය. පෞද්ගලික තොරතුරුකරුවන් හරහා වඩා වැදගත් බුද්ධි තොරතුරු ලබා දෙමින් විශ්වාසය යම් තරමකට ඇති කර ඔහුව හමුදාවේ බලය පැවැති සීමාවන්ගෙන් පිටතට ගෙන්වා ගැනීමට කොටි චරපුරුෂ සේවය නොයෙක් වර උත්සාහ දැරුවේය. සිය ජීවිතයට කොතෙක් තර්ජන තිබුණද දකුණට ස්ථාන මාරු නොඉල්ලූ ඔහු දිවා රෑ නොබලා සිය රාජකාරිය දේව කාරියක් සේ ඉටු කරන්නට සැම විටම කටයුතු කළ බව ඔහු හා සේවය කළ බුද්ධි නිලධාරීහු කියති. සිය හමුදා ජීවිතයේ වසරක් හෝ දෙකක් හැරෙන්නට වැඩිමනක්ම උතුරේ සේවය කරන්නට මේජර් රාජමන්ත්‍රි කටයුතු කළේය. යුද්ධයේදී ඔහු දැක්වූ දක්ෂතා නිසාවෙන් වරෙක රණශූර පදක්කමින්ද පිදුම් ලැබීය.

කොටි ත්‍රස්තයන්ගේ රහස් මෙහෙයුම් හා ජාත්‍යන්තර වශයෙන් ලැබෙන සැපයුම් මාර්ග සොයා ගැනීමට සුවිශේෂී රාජකාරියක නිරත වූ නිලධාරියකු ලෙස ප්‍රකට රාජමන්ත්‍රි සිවුවැනි ඊළාම් යුද සමයේදී මුලතිව් අල්ලා ගැනීම සඳහා වැලිඔය සිට ඇරැඹි ක්‍රියාන්විතයේ 59 වැනි සේනාංකයේ සන්නද්ධ බුද්ධි නිලධාරියා ලෙස කොටින්ගේ හදවත වැනි වූ වන් ෆෝ බේස් කඳවුරේ කොටි මෙහෙයුම් අඩාල කරන්නට සුවිශේෂී මෙහෙයුමක් කළේය.
ඔහුගේ හමුදා දිවියේ අවාසනාවන්තම දිනය උදා වන්නේ 1998 වසරේ සැප්තැම්බර් මාසයේය. 51 වැනි සේනාංකයට අයත් යාපනය 512 බළසේනා මූලස්ථානයේ රැඳී සිටිමින් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා විමර්ශනය කරමින් ත්‍රස්ත ක්‍රියා අඩපණ කරන්නට කොටි චරපුරුෂ ජාලයට එරෙහිව සිය බුද්ධි මෙහෙයුම් දියත් කරමින් සිටියදීය.

නමුත් අවාසනාවට සියල්ල උඩු යටිකුරු වන්නේ සැප්තැම්බර් 10 වැනිදා යාපනය වට්ටවාන් පාරේ අංක 53/3 ලිපිනයේ පදිංචි ඥානසිංහම් ඇන්ටන් ගුණසිංහම් නමැත්තා ත්‍රස්තවාදී සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන ඔහුගේ භාරයේ සිටියදී මියයෑම හේතුවෙනි. ප්‍රදේශයේ හමුදා වාහන හා මුර සංචාර ඉලක්ක කරමින් සිදු කෙරෙන ක්ලේමෝ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කළ හමුදා බුද්ධි බළකාය සැකපිට මෙම මියගිය පුද්ගලයා රැගෙන විත් තිබුණේ ඒ සම්බන්ධ‍ෙ යන් ඔහුගෙන් ප්‍රශ්න කරන්නටය.

අවසානයේ සැකකරු මියගියේ මේජර් රාජමන්ත්‍රි, සැරයන් ප්‍රියන්ත රාජකරුණා පමණක් නොව කර්නල් රොනි බර්තලමියුස්වද අත්අඩංගුවේ සිටි මෙම සැකකරුගේ මරණයට වගඋත්තරකරුවන් කරවමිනි.

මේ මරණය සම්බන්ධයෙන් රාජමන්ත්‍රි ඇතුළු බුද්ධි නිලධාරීන්ට එරෙහිව කෝපායි පොලිසිය යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවැරීය. අනතුරුව නඩුවේ සැකකරුවන් වූ මෙම බුද්ධි නිලධාරීන් එවකට පැවැති වටපිටාව මත සිදු කළ අභියාචනයක් අනුව නඩුව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග කෙරිණි. එම කාලය තුළ අත්අඩංගුවට පත්වූ රාජමන්ත්‍රි ඇතුළු පිරිස කලක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට පසුව ඇප මත පැමිණ රට වෙනුවෙන් සිය සේවය ඉටු කරමින් සිටියේය.

ත්‍රස්තවාදී සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගත් ගුණසිංහම්ගේ මරණය පිළිබඳව කෝපායි පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ සැකකරු ගොඩනැඟිල්ලක ඉහළ මාලයේ සිට පැන දිවි නසාගත් බවට ප්‍රකාශ වුවද මියගිය අයගේ සිරුරේ පහරදීමෙන් ලද තුවාල දක්නට තිබුණු බව වෛද්‍ය වාර්තාවේ සඳහන් වන බවයි.

පසුව නීතිපතිවරයා විසින් චූදිත බුද්ධි නිලධාරීන්ට එරෙහිව අධි චෝදනා ගොනු කරනු ලැබීමත් සමඟ යළිත් මෙම නඩුව යාපනය මහාධිකරණය වෙත යොමු කෙරිණි. අනතුරුව චූදිත බුද්ධි නිලධාරීන් මෙම නඩුව වෙනත් මහාධිකරණයක විභාගයට ගන්නැයි කළ ඉල්ලීම මත ත්‍රිකුණාමලය මහාධිකරණයේදී නඩුව විභාගයට ගැනිණි.

දීර්ඝ කාලයක් පුරාවට මෙම නඩුව විභාග වූ අතර අවසානයේ චූදිතයන් තිදෙනාගෙන් දෙදෙනකුට මරණ දඬුවම නියම කරමින් ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා විවෘත අධිකරණයේ කියා සිටියේ දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය අනුව මිනීමැරීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කරනු ලැබ ඇති බවයි.

ඒ අනුව මෙම මරණයට සැකපිට චෝදනා ලැබූ හමුදා බුද්ධි නිලධාරි කර්නල් රොනි බර්තලමියුස් සියලු චෝදනාවලින් නි‍ෙදාස් කොට නිදහස් කළ අතර සෙසු බුද්ධි නිලධාරීන් දෙදෙනා වන මේජර් ඩික්සන් රාජමන්ත්‍රි හා සැරයන් ප්‍රියන්ත රාජකරුණාට මරණ දඬුවම හිමි වූයේය.

වසර 22ක සේවා කාලයකින් මොහු 2018 වර්ෂයේ ඔක්තෝබර් මස විශ්‍රාම යෑමට නියමිත අතර ඔහු දෙදරු පියෙකි. තවද වැඩිමහල් දරුවා මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අ.පො.ස. සා/පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව ඇත. දරුවන්ගේ හා පවුලේ ඉදිරි අනාගතය වෙනුවෙන් රුපියල් ලක්ෂ 14ක පමණ මුදලක් වාණිජ බැංකු හා මූල්‍ය ආයතන වෙතින් ලබාගෙන ඇත.

එදා කොටි ත්‍රස්තයන්ගෙන් බේරී සිය උපන් බිම වන ත්‍රිකුණාමලය හැර යන මේජර් රාජමන්ත්‍රි නම් මේ කීර්තිමත් බුද්ධි නිලධාරියාට යුද සමයේ සිදුවූ වරදක් හේතුවෙන් යාපනය, අනුරාධපුර හා ත්‍රිකුණාමලය යන අධිකරණ ත්‍රිත්වය තුළ දිගු කලක් පුරා පැවැති නඩු විභාගයකින් පසුව අවසානයේ මරණ දඬුවම හිමි වූයේය.

එහි දෛවෝපගත සිද්ධියක් වන්නේ එකී මරණ දඬුවමේ නියෝගය සිය උපන් ගමේ පිහිටි ත්‍රිකුණාමලය මහාධිකරණයෙන්ම හිමි වීමය. තවත් විශේෂත්වයක් වන්නේ එම ආන්දෝලනාත්මක නඩු තීන්දු රැසක් ලබා දෙමින් ජනතාව අතර ප්‍රකට විනිසුරුවරයකු වූ ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු වන එම්. ඉලංචේලියන් මහතා විසින් ලබාදීමය.

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

උපන් දිනේට කේක් කපන්න තාත්තා එනකල් වූටි දුව බලාගෙන හිටියා

මරණ දණ්ඩනය නියම වී සිටින යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මේජර් ඩික්සන් රාජමන්ත්‍රි මහතාගේ බිරිය වන ගීතාංජලී ගුණතිලක මහත්මිය සමඟ කතාබහක යෙදීමට ‘මව්බිම’ට හැකි විය.

සෝසුසුම් මැද මේ ඇය තම සැමියා ගැන කී කතාවය.

“මගේ මහත්තයාගේ මුල් ගම ත්‍රිකුණාමලය. එයාගේ තාත්තාත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ රණවිරුවෙක්. ඔහුගේ නම නෙල්සන් රාජමන්ත්‍රි. මගේ මහත්තයාගේ මවගේ නම මිගෙල් චාලට් පෙරේරා. ඔහුගේ මව විතරයි දැනට ජීවතුන් අතර ඉන්නේ. මහත්තයා තමයි ගෙදර වැඩිමලා. එයාට තව මල්ලි කෙනකුයි, නංගි කෙනකුයි ඉන්නවා. එයාගේ මල්ලීත් ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වරයෙක්.

මහත්තයාගේ පවුලේ අයට ඒ කාලේ හොඳට සල්ලි තිබිලා තියෙනවා. එයාලාගෙ ගෙවල් තිබිලා තියෙන්නේ ත්‍රිකුණාමලයේ අනුරාධපුර හන්දියේ. ඒ කාලේ ඔවුන්ට ලොකු ගැරිජ් එකකුත් තිබිලා තියෙනවා. 1989 කලබලත් එක්ක එයාලාට ඒ පළාත අත්හැරලා එන්න සිද්ධ වෙනවා. ඔවුන් එන්නේ මාවනැල්ලට. මහත්තයාගේ ඉස්කෝලේ තමයි ත්‍රිකුණාමලය තිස්ස විද්‍යාලය.

එයා 1993 කැඩෙට් නිලධාරියකු විදියට ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳෙනවා. එයා මට දුරින් නෑදෑයෝ වෙනවා. ඒ හරහා අපි දැන හඳුන ගන්නවා. ඒ සම්බන්ධය ආදරයක් දක්වා වර්ධනය වෙනවා. එයා යුද හමුදාවට බැඳුණු වසරේම තමයි අපි දෙන්නත් හමුවුණේ.
මගේ මහත්තයා බියගුල්ලෙක් නෙවෙයි. යුද්දේ ඉවර වෙනවා කියලා ඒ කාලේ මට නිතරම කියනවා. යුද්දේ නිසා එයා වැඩිපුර ගෙදර හිටිය කෙනකුත් නෙවේ. ඒ නිසා අපි විවාහ වුණේ 2005 ඔක්තෝබර් 30. මොකද ඊට කලින් දවසේ එයාගේ උපන් දිනය යෙදිලා තිබුණේ. එයාට වුවමනා වෙලා තිබුණා උපන් දිනේ දවසටම බඳින්න.

යුද්දෙ නිසා අපිට විවාහය ගන්න පරක්කු වුණා. අපි විවාහ වෙද්දි මට අවුරුදු තිහක්. මං එයාට නිතරම කියනවා විශ්‍රාම ගියාම නම් ගෙදරින් හෙල්ලෙන්නවත් එපා කියලා. එයාගේ රාජකාරි නිසා එයා නිවාඩු එනවා හරි අඩුයි.

විවාහ මංගල්‍යයටත් එයා ආවේ දවස් අටකට නිවාඩු දාලා. යුද්දේ තිබ්බ කාලේ එයා මට රස්සාවක් කරන්න දුන්නෙත් නැහැ. ඒ මට ගෙදරට වෙලා ඉන්න.

කියලා. එයාගේ රාජකාරිත් එක්ක එයා අපිට එල්.ටී.ටී.ඊ.යෙන් කරදරයක් වෙයි කියලා බය වෙලා හිටියේ.

එයා අදටත් ගෙදර නිදාගෙන ඉන්න කොට රතිඤ්ඤා සද්දයක් ඇහුණත් ඉණ අල්ලලා බලනවා. ඒ තුවක්කුව තියෙනවාද කියලා. ඒ මුළු ජීවිතයම ඔහු යුද්ධයට කැප කළ නිසයි අදටත් ඔහුව නින්දෙන් එහෙම වෙන්නේ.

නිවාඩුවට ගෙදර එද්දී එයා එයාගේ රාජකාරි පිස්තෝලය අරන් එනවා. ඒක එයා තියා ගන්නේ කොට්ටේ යට. එතකොට මටත් බයයි.

අපිට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. තිදෙනාම ගැහැනු දරුවන්. ලොක්කාගේ නම අමින්දතා උත්කර්ශි රාජමන්ත්‍රි (12) දෙවැනියා ශලනි සෙනායා රාජමන්ත්‍රි (9) ලොකු දුව ඉගෙන ගන්නේ මහනුවර විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේ. දෙවැනි දුව ඉගෙන ගන්නේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ.

බාලම දුවට දැන් අවුරුදු හතරයි. ඇයගේ නම ඉසලි සෙසන්සා.

දෙවැනි දුවගේ උපන් දිනේ තිබ්බේ ඉකුත් 10 වැනිදා. එදා එයා මගෙන් අහනවා කේක් කපන්න තාත්තා ගෙදර එනවාද කියලා.

එයාලගේ තාත්තාට වෙච්ච දේ ගැන දන්නේ තාම ලොකු දුව විතරයි. පොඩි දෙන්නාට කියලා නැහැ.

එයාගේ උපන් දිනේට කපන්න කියලා කේක් එකක් මහත්තයාගේ යාළුවො එව්වා.
පොඩි දුව සමහර දවස්වලට අහනවා අපට තාත්තා කෙනෙක් නැද්ද කියලා. යුද්දෙ ඉවර වුණත් මහත්තයා ගෙදර එන්නේ හරි අඩුවෙන්. එයාගෙ රාජකාරි එක්ක එයාට ළමයි එක්ක ඉන්න වෙලාවක් තිබ්බේ නැහැ.

මහත්තයා අවසන් වරට රාජකාරි කළේ මහනුවරයි. ඊට කලින් ඔහු රාජකාරි කළේ වවුනියාවේ ක¼දවුරක. ඔහු එහි දෙවන අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කළා.

මේ වසරේ ඇති වුණු මහනුවර ගැටුමත් එක්ක මහත්තයාව මහනුවර ක¼දවුරකට කැඳෙව්වා.

අපි දැන් පදිංචිවෙලා ඉන්නේ ගඩලාදෙණියේ. අපි තාම ගේ‍ෙදාර වැඩවත් ඉවර කරලා නැහැ. ණය වෙලා තමයි ගේ හදන්නේ. මම දැන් පාසල් ගුරුවරියක්. දෙනුවර,ගෝනායික සිංහල දෙමළ විද්‍යාලයේ මම ඉංග්‍රීසි භාෂාවයි, විද්‍යාවයි උගන්වනවා.

අපි දැන් අසරණ වෙලා ඉන්නේ. ළමයි අහනවා තාත්තා කවද්ද එන්නේ කියලා.

අන්තර්ජාලය ඇසුරෙනි!

About SirilakaNews

Check Also

Untitled-1

වාණිජ ණය ප්‍රයෝජනවත් නොවුණු තැන ජනතාවගේ බදු බර! The tax burden on the people where commercial loans were not useful

නව දේශීය ආදායම් බදු පනත ක්‍රියාත්මක වීමත් සමඟ ලබන බදු අය කර ගැනීමේ ක්‍රියාවලියේ විශාල ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *