Breaking News
Home / පුවත් / යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනාගේ ඝාතනයේ පොලිස් වාර්තා අසත්‍යයි! මරණ පරීක්ෂක වාර්තා කියයි Police reports on the murder of two Jaffna University students are false,Post mortem reports

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනාගේ ඝාතනයේ පොලිස් වාර්තා අසත්‍යයි! මරණ පරීක්ෂක වාර්තා කියයි Police reports on the murder of two Jaffna University students are false,Post mortem reports

killing-of-two-Jaffna-University-undergraduates-in-Jaffna-Kokuvil-

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනකු මීට වසර තුනකට පෙර පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කළ අවස්ථාවේ පොලිසිය මඟින් කළ සියලුම ප්‍රකාශ බොරු බව මරණ පරීක්‍ෂණ වාර්තා හා රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාවලින් හෙළිවී තිබේ.

මේ සිද්ධිය වූ වහාම පොලිසිය කියා සිටියේ රිය අනතුරකින් තරුණයන් දෙදෙනා මියගිය බවයි.

නමුත් අසල නිවෙස්වල උදවිය තමන්ට වෙඩි ශබ්ද ඇසුණු බවට කළ ප්‍රකාශ නිසා දෙමළ ජාතික සන්ධානයේ නායකයෝ පොලිසිය කළ ප්‍රකාශ පිළිගැනීමට අකැමැති වූ අතර තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී ඔවුන් දෙදෙනාගේ සිරුරුවල තිබී උණ්ඩ කීපයක් හමුවීම නිසා තරුණයන් මියගියේ වෙඩි තැබීමෙන් බවට සහතික විය.

පොලිස් වෙඩි පහරින් මියගිය යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනා වෙඩි වැදීම සිදුවන අවස්ථාවේ මත්පැන් පානය කර සිටි බවට පොලිසිය කළ චෝදනාවද අසත්‍ය බව ඔවුන්ගේ මරණ පරීක්‍ෂණ වාර්තාව හා රස පරීක්‍ෂකවරයාගේ වාර්තාවෙන් හෙළිවී තිබේ.

සාදයකට ගොස් යාපනය – චුන්නාකම් මාර්ගයේ එමින් සිටියදී යාපනය කොකුවිල්හි කුලප්පිට්ටිහිදී මෙම වෙඩි තැබීම සිදුවූයේ 2015 ඔක්තෝබර් 20 වැනිදාය. පොලිසිය ඔක්තෝබර් 21 වැනිදා දවල් 1ට නිවේදනය කළේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැදීමෙන් මෙම අනතුර සිදුවූ බවයි.

ඉන් පසු මතුවූ විරෝධයෙන් පසු පරීක්‍ෂණ සඳහා රහස් පොලිසිය කැඳවූ අතර යාපනය රෝහලේදී පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්විණි. වෙඩි තැබීමට සැකපිට රහස් පොලිසිය විසින් පොලිසියේ පස්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

යතුරුපැදිය ධාවනය කළ සුලක්‍ෂන් සිසුවා අණ නොතකා ගියැයි සහ බීමතින් ගියැයි පොලිසිය කී නිසා ඔහුට හිමි රක්‍ෂණයක ප්‍රතිලාභද නොලැබිණි. කෙසේ වෙතත් වෙඩි වැදීම සිදුව ඇත්තේ යතුරුපැදිය ධාවනය කළ සුලක්‍ෂන් සිසුවාට බව මෙම මරණ පරීක්‍ෂණ වාර්තාව අනුව හෙළිදරව් වෙයි.

24 හැවිරිදි විජයකුමාර් සුලක්‍ෂන් යාපනය විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ ඉගෙනුම ලබමින් සිටියේය. ඔහුගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා ඇත්තේ වෛද්‍ය යූ. මයුරදන් මහතාය. මරණය සිදුවන අවස්ථාවේ සුදු පැහැති ටීෂර්ටයකින් සහ කළු පැහැති තද නිල් පැහැති කොට කලිසමකින් සුලක්‍ෂන් සිසුවා සැරසී සිට ඇති අතර ඔහුගේ එම ඇඳුම් ලේවලින් බරිත වී තිබී ඇත. සිසුවාගේ ආමාශයේ ජීර්ණය නොවූ ආහාර ග්‍රෑම් 750ක් පමණ තිබුණු බවත්, මත්පැන් දක්නට නොලැබුණු බවත් පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් වේ.

සිසුන් දෙදෙනා යතුරුපැදිය නොනවත්වා ධාවනය කරද්දී වෙඩි තැබී යැයි පොලිසිය කීවද පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත්තේ යතුරුපැදිය පැදවූ සුලක්‍ෂන් සිසුවාගේ තන පඩුව අසලින් උණ්ඩය ඇතුළු වී ඇති බවයි. උණ්ඩය ඇතුළු වූ ස්ථානයේ සෙන්ටි මීටරයක පමණ වට ප්‍රමාණයකින් යුත් සිදුරක් තිබී ඇත. ශරීරයේ විවිධ ස්ථානවල කැපුම් තුවාල තුනක්, සීරීම් තුවාල 14ක් සහ අස්ථි බිඳීම් දෙකක්ද පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හඳුනාගෙන තිබේ.

මෙම සිද්ධියෙන් මියගිය නඩරාජා කජන් නම් 24 හැවිරිදි අනෙක් සිසුවාගේ මරණ පරීක්‍ෂණයද සිදු කරනු ලැබ ඇත්තේ වෛද්‍ය යූ. මයුරදන් මහතාය. එම සිසුවා යාපනය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හදාරමින් සිටියේය. මරණයට පත්වන අවස්ථාවේ සිසුවා යාපනය විශ්වවිද්‍යාලයේ නීති ශිෂ්‍ය සංගමයේ කළු පැහැති ටීෂර්ටයක් සහ කළු කොට කලිසමක් ඇඳ සිට ඇත.

විවිධ ප්‍රමාණයේ කැපුම් තුවාල හතක්, සීරීම් තුවාල සහ අස්ථි බිඳුම්ද ඔහුගේ මරණ පරීක්‍ෂණයේදී හඳුනාගෙන තිබේ. පපුවට මෙන්ම සිසුවාගේ මොළයටද තුවාල සිදුවී තිබේ. මෙම සිසුවාගේ ආමාශයේ ජීර්ණය නොවූ ආහාර ග්‍රෑම් 600ක් පමණ තිබී ඇති අතර ඔහුගෙන්ද මත්පැන් ගඳ වහනය වී නැත.

තියුණු නොවූ වැදීමකින් පපුවට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් නඩරාජා කජන් සිසුවා මියගොස් ඇති බවත්, රයිෆල් ගිනි අවියකින් පිටවූ උණ්ඩයකින් පපුවේ ප්‍රධාන රුධිර නාලවලට හානිවීම නිසා සිදුවූ රුධිර වහනයෙන් විජයකුමාර් සුලක්‍ෂන් සිසුවා මියගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් වේ.

About SirilakaNews

Check Also

turbine_and_counter_weight_photo_by_first_hydro_company

මෙරටට ගෙන්වීමට යෝජනා වී තිබෙන ස්වාභාවික ද්‍රවවායු බලාගාර ත්‍රිත්වයක් පිළිබඳ ඉන්ජිනේරු විරෝධය! A trio of hydropower plants objected to engineering.

මෙරටට ගෙන්වීමට යෝජනා වී තිබෙන ස්වාභාවික ද්‍රවවායු (ඹ්ව්ට්) බලාගාර ත්‍රිත්වයක් පිළිබඳ ඉන්ජිනේරු සංගමය අවධානයෙන් පසුවන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *