Breaking News
Home / කලා / කාන්තා විමුක්තියේ නව විග්‍රාහය හින්දි සිනමාවේ රාසි New Scream of Women’s Liberation Rachy in Hindi Cinema

කාන්තා විමුක්තියේ නව විග්‍රාහය හින්දි සිනමාවේ රාසි New Scream of Women’s Liberation Rachy in Hindi Cinema

ras-4-2ras-4-1

බොලිවුඩය උඩුයටිකුරු කරමින් කාන්තාව කේන්ද්‍ර කර ගත්, කාන්තාවන් අධ්‍යක්ෂණය කරන සිනමා පට අන් කවර කාලයකටත් වඩා ප්‍රේක්ෂක, විචාරක මනාපයට, අවධානයට යොමුවී ඇත.

‘රාසි’ ඊට අලුත් ම නිදර්ශනයයි. ‘රාසි’ යන හින්දි වදනේ අරුත ‘එකඟතාව’ යි. තිරගතවූ දිනයේ සිට ප්‍රේක්ෂකයන් ඊට කෙතරම් එකඟතාවක් පළ කර තිබේදැයි කිවහොත් මේ වසරේ පස් මසක කාලයකදී පද්මාවත්, බාගී, රෙයිඩ්, පෑඩ් මෑන්, ළඟට සති අන්තයේදී වැඩිම ආදායමක් ලද සිනමාපටය වී ඇත්තේ ‘රාසි’ ය.

මැයි 11 වැනිදා සිට තිරගත වන ‘රාසි’ පළමු සති අන්තයේදී කෝටි 15 කට වැඩි ආදායමක් ලැබීය. සැවොම පවසන්නේ ආලියා බාත්ගේ සුපිරි තරු බලයෙන් සිනමා පටය මෙතරම් ජව සම්පන්න වී ඇති බවයි. ඊට මෙග්නා ගුල් සාර්ගේ අධ්‍යක්ෂණයේ ආලෝකයත් අඩුවක් නැතිව ලැබී තිබේ.

කාශ්මීරයේ යොවුන් ‘සේමත්’ගේ සීයා මෙන් ම පියා ද ඉන්දියානු නිදහස් සටනේ කොටස්කරුවන්ය. පිළිකාවක් වැලඳී මරණයේ අබිමුවේ සිටින ඇයගේ පියා දියණියගෙන් කරන අවසන් ඉල්ලීම වන්නේ පවුලේ අය සාම්ප්‍රදායිකව උරුම කර ගත් රට රැකීමේ සම්ප්‍රදාය ඇයට ද ඉදිරියට ගෙන යන ලෙසය.

අධ්‍යාපනය ලැබීමෙන් පසු සේමත් පකිස්තානු හමුදාවේ බ්‍රිගේඩර්වරයකුගේ පුතකු සමඟ විවාහ වන්නීය. පසුව සේමත්ගේ සැමියා මේජර් ජෙනරාල්වරයකු බවට පත්වේ.

විවාහයට පෙර සේමත් ඉන්දියානු රහස් ඔත්තු සේවයේ සාමාජිකාවක් ලෙස පුහුණුව ලබන්නීය. අවාසනාවකට ඒ 1971 වසරේ ඉන්දියානු – පකිස්තානු යුද ඇවිළෙන කාල වකවානුවකි.

විවාහයෙන් පසු සේමත් පකිස්ථානයට යන අතර නොරටක නව පවුල් සංස්ථාවකට හැඩ ගැසෙන්නට ඔවුනගේ විශ්වාසය දිනා ගැනීමට උත්සාහ ගන්නීය. සැමියා ඉක්බාල්ට ද හදවතින් ම සෙනෙහස දක්වන ඇය ඒ අතරේම ඉන්දියාවට එරෙහිව ඇති තොරතුරු ද එක්රැස් කරයි.

සේමත් තම මවුබිමට රහස් ලබා දෙයි. එහෙත් ඇයට දිගින් දිගට ම මේ කාර්යය කිරීමට ඉඩ නොලැබේ. ඇය ඔත්තු සේවිකාවක බව හෙළි වන අතර ඇය දිවි බේරාගෙන ඉන්දියාවට පැමිණෙන්නේ අනූනවයෙනි.

ඉන්දියාවට පැමිණි පසු තමන් ‍ඉක්බාල් නිසා ගැබ්ගෙන ඇති බව සේමත් දැන ගනී. ඉන්පසු ඇයගේ තීරණය කුමක්වේවිද? පරම්පරාගතව පවතින ඉන්දියාවට සේවය කිරීමේ චාරිත්‍රානුකූල උරුමය ඊළඟ පරපුර දක්වාත් පවත්වාගෙන යාමට ඇයට හැකිවේවිද? ‘රාසි’ අවසානය ඊට පිළිතුරු සපයයි.

සේමත් යනු භාරත මාතාවගේ සැබෑම දියණියකි. ඇයගේ වීර වෘතාන්තය හරීන්දර් සික්කා විසින් ‘කෝලිං සෙමත්’ ලෙස නවකතාවකට ගෙන එන ලදී. මේ එහි සිනමා සම්ප්‍රාප්තියයි. වීර කාන්තා චරිතය රැගත් සිනමා පටය අධ්‍යක්ෂණය කළේ ද කාන්තාවක්මය. ඇය හතළිස් හතර හැවිරිදි මෙග්නා ගුල්සාර්ය.

ඇය ගීත රචක ගුල්සාර් සහ හැත්තෑව දශකයේ ජනප්‍රිය නිළියක වූ රාඛී ගේ එකම දියණියයි. කිවිඳියක, ලේඛිකාවක ලෙස ද ප්‍රකට මෙග්නා, ෆිලාල්, ජස්ට් මැරීඩ්, දුක් කහානි යාන්, තල්වාර් සිනමා පටවල අධ්‍යක්ෂවරියයි. ඇයගේ සිනමා පට බොහොමයක මෙන්ම මෙහිද ගී පද රචනා කර ඇත්තේ පියා, ගුල්සාර් විසිනි.

සිනමාපටය විජයග්‍රාහී ලෙස ආදායම් වාර්තා පිහිටවූවද සෙමත්ගේ ජීවිතයට මෙන්ම සිනමා පටයට ද බාධා රැසක් ජය ගැනීමට සිදුවිය. පාතියලා ප්‍රදේශයේ රූගත කිරීම් කරන විට දේව බාබා රාම් රහීම් විසින් තරුණියක දූෂ්‍ය කිරීමට එරෙහිව විරෝධතා පෙළපාළි පැවැත්විණි. එනිසා රූගත කිරීමේ සැලසුම් වරින් වර වෙනස් කිරීමට සිදුවිය.

සත්‍ය සේමත්ට තම ජීවිත කතාව සෙලියුලොයිඩ් පටයේ ජීවමාන වනවා දක්නට වාසනාව ලැබුණේ නැත. ඇය සිනමාපටය තිරගතවීමට හරියට ම මාසයකට පෙර ජීවිතයෙන් සමුගත්තාය.

ලුතිනන් කමාන්ඩර්වරයකු වූ හරින්දර්, සේමත් ගේ ජීවිත කතාව ලිවීමට සිතුවද එය එතරම් පහසු කටයුත්තක් නොවීය.

හරීන්ද ඇයගේ නිවෙසට ගොස් උදේ දහයේ සිට සවස පහවන තුරුම වතුර බෝතලයක් පමණක් අතැතිව ඉදිරිපස අසුන්ගෙන සිටියේය. අවසන ඇයට තම කතාව ටිකින් ටික හෙළි කිරීමට සිදුවිය. හරීන්ද පකිස්ථානයට ගොස් ඇයගේ මාමණ්ඩිය මුණ ගැසිණි. තොරතුරු එක් රැස් කිරීමට ඔහුට අට වසරක් ගත විය.

මින් පෙර ක්ෂේත්‍රයේ කීපදෙනෙකුම ‘කෝලිං සේමත්’ නවකතාව සිනමාවට නැඟීමට ඉල්ලා සිටියද හරීන්ද ඒවා ප්‍රතික්ෂේප කරන ලදී. ගීත රචක, අධ්‍යක්ෂ ගුල්සාර් (මෙග්නාගේ පියා) කෘතිය ඉල්ලූ විට ඊට එකඟ වී ඇත්තේ ඔහු ගුල්සාර්ගේ කෝෂිප් (1972) සිනමා පටයේත් ගී පදවැල්වලත් රසිකයකු වූ නිසයි.

සේමත් චරිතයට මෙග්නාගේ මුල්ම තේරීම ආලියා විය. ඒ ඇය නව පරපුරේ අති දක්ෂ රංග වේදිනියක ලෙස මුද්‍රාව තබා ඇති නිසයි. හරීන්දට අක්ෂේ කුමාර් සම්බන්ධ කිරීමට වුවමනා තිබුණද දින ගැටලුවක් නිසා එය ඉටු නොවිණි.

ආලියා, සේමත් පිළිබඳව හරීන්දගෙන් මිලියන දහසක පමණ ගැටලු විමසා ඇත. ඇයට ඔහු සෙමත් ගේ පෙනුම, හැසිරීම, මාපියන් සමඟ තිබූ සබඳතාව, පියාට බැඳී සෙනෙහස ගැන සවිස්තර තොරතුරු සම්පාදනය කර තිබේ.

හරීන්ද මුලින් සේමත්ගේ වයස්ගත චරිතයට හොලිවුඩයේ ඇන්ජලිනා ජොලීගේ නම ද යෝජනා කළේය. අවසානයේදී ආලියා යොවුන් වියේ සිට වියපත් වීම දක්වාම සේමත‍්ගේ චරිතයට නිරූපණය කරන්නීය. මේ සිනමා පටය ආලියාට අනෙක් සිනමා පටවලට ද වඩා සුවිශේෂී වන්නේ සැබෑ ජීවිතයේ මව සෝනි රස්දාන් තිරයේ මව ලෙස ප්‍රථම වරට රඟන නිසයි.

සිනමා පටයේ ඉක්බාල් සයිඩ් ලෙස විකී කෞශාල් ද හිද්යත් ඛාන් ලෙස රජිත් කපූර් ද, බ්‍රිගේඩියර් සයිඩ් ලෙස ශිෂිර් ෂර්මා ද, ඛලීඩ් මීර් ලෙස ජයිදීප් අලවාත් ද ප්‍රධාන චරිත නිරූපණය කරති.

මෙහි ගීත හතරක් ඇතුළත් අතර සිනමා පටය මිනිත්තු 138 කාලයක් පුරා තිරයේ දිග හැරේ. ඉහළ ම ප්‍රේක්ෂක, විචාරක, පැසසුම් ලබමින් රහස් ඔත්තු සේවයේ ‘සේමත්’ ඉන්දියානු රුපියල් කෝටි සියයේ ජය කණුවට ඉක්මනින් ම ළඟා වනු ඇත.

About SirilakaNews

Check Also

z_p-25-Lester-1

අග්‍රගන්‍ය සිනමාකරුවකු වූ අචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් දෑයින් සමුගනී! Prof. Lester James Peiris, a brilliant film-maker, passed away.

ලේඛකයකු ලෙස සිය ජීවන වෘත්තිය ආරම්භ කර ලොව අග්‍රගන්‍ය සිනමාකරුවකු වූ අචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *