Breaking News
Home / කලා / අල්හාජ් මොහිදීන් බේග් ගැන ඉළියාස් බේග් කතා කරයි! Ilias Beag talks about Alhaj Mohideen Begg

අල්හාජ් මොහිදීන් බේග් ගැන ඉළියාස් බේග් කතා කරයි! Ilias Beag talks about Alhaj Mohideen Begg

 

Untitled-2

මෙරට ගීත කලාවේ ප්‍රතාපවත් හඬකට හිමිකම් කී අල්හාජ් මොහිදීන් බෙග් එහෙම නැත්නම් බෙග් මාස්ටර් නම් වූ ඒ අසහාය ගායකයාගේ හඬ නොඇසෙන වෙසක් පොහොයක් හෝ අන් පොහොයක් නොමැති තරම්ය. ඒ තරමට බෞද්ධයන් හා බෙග් මාස්ටර් අතර ඇත්තේ ගහට පොත්ත සේ දැඩි බැඳීමකි. දශක හයකට පෙර ඇසුණු ඒ බෞද්ධ ගීත අදත් එලෙසම ඇ‍ෙසන්නේ බෙග් මාස්ටර්ගේ හඬෙහි ඇති අපේකම නිසාය. ඒ නිසාම වෙසක් තෙමඟුල ආරම්භ වී ඇති මේ මොහොතේ කුමන ස්ථානයකට ගියද ඇසෙන්නේ බෙග් මාස්ටර්ගේ හඬය. එතුමන් මෙලොවින් සමුගෙන විසි අට වසරක කාලයක් ගෙවෙමින් තිබියදීත් යළි යළිත් එතුමන් ගැන කතා කරන්නට බොහෝ දේ ඇත. ඒ නිසාම අපට වඩා ඒ ගැන කතා කරන්නට වැඩි හිමිකමක් ඇති ඉලියාස් බෙග් පුතුට කතා කළෙමු.

ඉලියාස් කොහොමද ජීවිතේ ?

වරදක් නැහැ. සුපුරුදු විදියට ජීවිතය ගත කරමින් ඉන්නවා.

මොකද වැඩි ශබ්දයක් නැත්තේ ?

දන්නව නේ එදා ඉඳලා අපි වැඩිය ශබ්ද කරපු අය නෙවෙයි නේ. හැබැයි දැනුත් කහවත්තේ ෂෝ එකකට ඇවිත් ඉන්නේ.

පෝයක් කිට්ටු වෙන කොට  වෙසක් පොහොයට බෙග් හඬ නැතුවම බැහැ නේද ?

ඒකනම් ඇත්ත. මේ ලෝකේ විනාශ වෙලා එක සිංහල මනුස්සයෙක් හරි ඉතිරි වුණොත් එදාටත් අපේ තාත්තගේ ගීත ඇහේවි.

එහෙනම් තාත්තගේ විස්තර ටිකක් කියමු බලන්න ?

අපේ තාත්තා ඉපදුණේ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ සේලම්හිදී. එය හයිද්‍රබාදයට ආසන්න නගරයක්. බෙග් කියන්නේ පර්සියානු බසින් ‘රාජකීයයා‘ යන අරුතයි. අපේ තාත්තා 1918 වසරේ දෙසැම්බර් 05 වැනිදා බෙග් පවුලේ තුන්වැනියා විදියටයි ඉපදිලා තියෙන්නේ. පොඩි කාලයේ ඉඳලා තාත්තට උර්දු ගීත ගායනා කිරීමේ හැකියාව තිබිලා තියෙනවා. ඒ වගේම තාත්තගේ ගෙවල් වටපිටාවෙත් හොඳ සංගීත පරිසරක් තමයි තිබිලා තියෙන්නේ. අනෙක් කාරණය තමයි තාත්තා මොහොමඩ් ගවුස් සංගීතවේදියා හමුවෙන්න නිතර ගිහින් තිබෙනවා. මේ දෙන්නා එකට පැදුරු සාජ්ජවලදී ගීත ගායනා කරලා තිබෙනවා.

එතකොට භාරතයේ උපන්න මොහිදීන් බෙග් ලංකාවට එන්නේ ඇයි ?

අපේ තාත්තගේ වැඩිමල් සහෝදරයා වන අසීස් බෙග් වැඩ කළේ හාබර් පොලීසියේ. එතුමා හදිසියේ මිය ගියා. ඒ අවමංගල්‍ය උත්සවයට බෙග් පවුලේ සියලුම දෙනාට එන්න බ්‍රිතාන්‍ය රජයෙන් අවසර ලැබුණා. එලෙස ආපු අනෙක් අය ගියත් තාත්තා නැවතිලා තියෙනවා.

ඒ මොකද ?

අපේ සීයා වැඩ කරමින් ඉඳලා තියෙන්නේ ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ. අපේ තාත්තා දෙතුන් වතාවක් ඉන්දියාවට ගිහින් ඇවිත් 1934 වසරේදී ස්ථිරව ලංකාවේ පදිංචියට ඇවිත් ලංකා පොලිස් සේවයට එක්වුණා.

ගීත ගායනය ආරම්භ කරන්නේ කොහොමද ?

මුල්ම සිංහල ගීතය පටිගත කරන්නේ අවුරුදු 18 දී. එහි සංගීතය කරල තියෙන්නේ ගවුස් මාස්ටර්. ඒ තමයි ‘කරුණා මුහුදේ නාමු ගිලීලා‘ ගීතය. ලියලා තියෙන්නේ යූ. ඩී පෙරේරා. මොහන් නම් හින්දි චිත්‍රපටයේ එන ‘තුම්හෙ මුජුකො ප්‍රේම සිතායා‘ නම් ගීය අනුව ලියලා තිබෙන්නේ. මේ ගීතයට කේ. කේ. රාජලක්ෂ්මි ගායනයෙන් සහය ලබා දී තිබෙනවා. ඒ ගීතය ඇතුළත් කොලොම්බියා තැටි දහසක් පමණ ඒ අවධියේ අලෙවි වෙලා තිබෙනවා. මුල්ම පසුබිම් ගායනය ආරම්භ කරලා තිබෙන්නේ අශෝකමාලා චිත්‍රපටයෙන්. ඒ පටන් ගැන්ම චිත්‍රපට හාරසිය පනහකට පමණ ගීත ගායනා කරලා තියෙනවා.

බෙග් මාස්ටර්ට භාෂා ගණනකින් ගීත ගායනා කරන්න පුළුවන් නේද ?

සිංහල, දෙමළ, උර්දු සහ හින්දි භාෂාවලින් විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු ලෙස ගුවන්විදුලියේ ශ්‍රේණිගත වෙලා සිටියා.

පාකිස්ථානයේ එවකට සිටී ජනාධිපති සියා උල් හක් මහතා බෙග් මාස්ටර්ට පාකිස්ථානයට එන්න කියල ආරාධනා කරනවා නේද ?

1987 වසරේ දී පාකිස්ථාන ජනාධිපතිවරයා ලංකාවට ආව. ඒ වේලාවේ ජනාධිපති මැඳුරේ දී ගීත ගායනා කරන්න ජනාධිපති ප්‍රේමදාස මහත්තයා තාත්තට ආරාධනා කරල තිබුණා. තාත්තා එහිදි උර්දු බසින් ගීත ගායනා කළා. තාත්තගේ දක්ෂතා දැක්ක පාකිස්ථාන ජනාධිපතිවරයා ඒ රටේ සංචාරය කරන්න ආරාධනා කළා. ඒ අනුව මාසයක පමණ කාලයක් එහි සංචාරය කරන්න පුළුවන්කම ලැබුණා.

මුස්ලිම් ජාතිකයකු වුණත් බෙග් මාස්ටර් බෞද්ධ ගීත කියනවට වීරෝධයක් ආවේ නැද්ද ?

අපේ තාත්තා මුස්ලිම් ජාතිකයෙක් වුණත් වැරැදි දෙයක් කිව්වේ නැහැ නේ. බුද්ධං සරණං ගච්ඡාමි කියන දේ වැරැද්දක් තියෙනව ද , 1956 වසරේ දී අංගුලිමාල චිත්‍රපටයට කරුණාරත්න අබේසේකර මහත්මය තමයි මේ ගීතය ලිව්වේ. සංගීතය කළේ ධක්ෂිණ මූර්ති. නිෂ්පාදන කටයුතු කළේ ක්‍රිස්තියානි පුද්ගලයෙක්. ඒ ගීතය සඳහා ජාතීන් සිව් දෙනෙක් එකතු වෙලා තිබෙනවා. ඒ වගේ සමගියක්, එකමුතුකමක් අපි හැමෝම අතර අතීතයේ තිබුණා. අපේ තාත්ත ගායනා කළ ගීතවලින් සියයට පනහක් පමණ ලිව්වේ කරුණාරත්න අබේසේකර මහතා.

එතකොට ඉලියාස්ට සහෝදර සහෝදරියෝ කී දෙනෙක් ඉන්නව ද ?

මාත් එක්කම සහෝදර සහෝදරියෝ අට දෙනෙක් ඉන්නවා. මමයි, අයියා ඉෂාක් , නංගි මොයිනා බෙගම් විතරයි ගීත ගායනා කරන්නේ. සහෝදරියෝ දෙන්නෙක් හා එක් සහෝදරියක් මෙලොවින් සමුගත්තා. තවත් එක් සහෝදරයෙක් ලේක්හවුස් හි සේවය කරනවා.

රටක් වසඟ කළ හඬක් හිමි බෙග් මාස්ටර්ගේ පුතා වීම ගැන මොකද හිතෙන්නේ ?

ඔහුගේ පුතා වෙන්න ආත්ම ගාණක් මම පිං කරලා තිබෙන්න ඇති. අද මේ සමාජයෙන් ලැබෙන හැම ගෞරවයක්ම ලැබෙන්නේ තාත්ත නිසා. ඒ වගේම තාත්ත නිසා සිංහල, හින්දි, දමිළ වගේම උර්දු භාෂාව පවා මට ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි එතුමගේ අඩිපාරේ යමින් ගීත ගායනා කරන්න මට හැකියාව ලැබුණා.

ඉලියාස් තාත්තගේ ගීත විතරද කියන්නේ ?

නැහැ සංගීත සංදර්ශනයකට ගියාම තාත්තගේ ගීත තමයි ඉල්ලන්නේ. හැබැයි මේ වෙනකොට මගේම ගීත 08 කරලා තියෙනවා.

අන්තර්ජාලය අසුරෙනි.

About SirilakaNews

Check Also

271b830344

ඒක් දෝ තීන් සමග ජෑක්ලින් ෆඩිනන්ස් ශ්‍රී ලාංකික ඇය ඉන්දියාවේ ජනප්‍රියයි! Ek Do Teen with Jenkins Fredinens Sri Lankan she is popular in India

198 දශකයේ අතිශය ජනප්‍රිය වූ බොලිවුඩ් ගීතයක් නවක නළු නිළියන් යොදා ගනිමින් ‘යූ ටියුබ්’ හරහා නැවත එළි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *