Breaking News
Home / පුවත් / මහා සයුරේ ගිල්වා දැමු කොටි නැව සහ ජනාධිපතිවරුන්ගේ රථ! The tiger Ship and presidents cars that were immersed in the ocean

මහා සයුරේ ගිල්වා දැමු කොටි නැව සහ ජනාධිපතිවරුන්ගේ රථ! The tiger Ship and presidents cars that were immersed in the ocean

   

 

 

 

 

 

 

යුද සමයේදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු භාවිත කළ අධික වටිනාකමකින් යුත් වෙඩි නොවදින සුඛෝපභෝගී මෝටර් රථ 8ක් සමඟ යුද සමයේ සිට වසර 10ක් නාවික හමුදාවේ භාණ්ඩ ප්‍රවාහනයට යොදාගත් වෙලින් නෞකාව දිවයිනේ බටහිර මුහුදු ප්‍රදේශයේ මීගමුවට ආසන්න ගැඹුරු මුහුදේදී ගිල්වා විනාශ කිරීම වෙනස් කතාවකි. පැවති යුද වාතාවරණය තුළදී හිටපු ජනාධිපතිවරුන් වන ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරණතුංග සහ මහින්ද රාජපක්ෂ මහත්ම මහත්මීන් මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් මහතා භාවිත කළ වාහනවලින් කොටසක් මුහුදේ ගිල්වා විනාශයට පත් කළේ ඉකුත් 26 වැනි සඳුදාය.

ජනාධිපති භාවිතයෙන් ඉවත් කළ සුඛෝපභෝගී රථ විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව නිර්මාණය වූ ඒවාය. ඒවා භාවිතයෙන් ඉවත් කළද වෙන්දේසි නොකොට වෙනත් පාර්ශවයකට පත්වීම වළක්වා මුහුදේ ගිල්වීම ආරක්ෂිත උපක්‍රමයකි. එමෙන්ම වෙලින් නෞකාව වෙන්දේසි කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දෙවරක් ටෙන්ඩර් කැඳවුවද ඊට හිමිව තිබූ ලංසුව අවම වීම නිසා ඉහත මෝටර් රථ සමඟ ගිල්වා දැමීමට පියවර ගෙන තිබුණි.

සන්නිවේදන උපකරණ, එන්ජිම, විද්‍යුත් උපකරණ සමඟ ඉන්ධන ටැංකිය වැනි මුහුදට අහිතකර සියල්ල ඉවත් කර ගිල්වා දැමූ වෙලින් නෞකාව නාවික හමුදාවේ අපූරු සළකුණකි. එය මීට දස වසරකට පැරැණි කතාවකි. එවකට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර නෞකාවේ අණදෙන නිලධාරීවරයා වශයෙන් වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා කටයුතු කළේය. 2008 ජනවාරි 21 වැනිදා සයුර නෞකාව නැගෙනහිර වෙරළ තීරයේ පොතුවිල්වලට ඈත මුහුදේ ආරක්ෂණ රාජකාරියේ නිරතව සිටියේය. අවට රැඳී සිටි ධීවරයන් සයුර නෞකාවට දන්වා තිබුණේ නාඳුනන නෞකාවක් පාවෙමින් තිබෙන බවය. නාවික හමුදා මූලස්ථානයේ ඉහළ නිලධාරීන්ට තොරතුරු දන්වා ලැබුණු උපදෙස් අනුව සයුර නෞකාව මගින් පෙර කී නෞකාව ඇමතුවේය. එම නෞකාවේ කාර්යමණ්ඩලය පවසා තිබුණේ නැවේ හිමිකරු තමන් ඇතුළු පිරිසට වැටුප් නොගෙවා ඇති බවත් මෙතැන් සිට නැව අත්හැර දමා මුහුදට පැන දිවි නසාගන්නා බවත්ය. ඉන් මොහොතකට පසුව එහි ඉන්දුනීසියානු ජාතික නැවියන් 8 දෙනා මුහුදට පැන තිබුණි. අනතුරුව නාවික හමුදාවේ නිලධාරීන් ඔවුන් ආරක්ෂිතව මුදාගෙන නෞකාව සිය භාරයට ගෙන කොළඹ රංගල නාවිකවරයා වෙත රුගෙනවිත් තිබුණි. නැව පිළිබඳව වැඩිදුර අනාවරණය වී තිබුණේ එහි භාණ්ඩ ප්‍රවාහනය සිදුකරන අතර ජාත්‍යන්තර ගැඹුරු මුහුදේ විවිධ ජාවාරම් වලට ද සම්බන්ධ වී ඇති බවය.

මෙම නෞකාව A – 521 යාත්‍රාව මගින් කොළඹට ඇදගෙන පැමිණ තිබූ අතර නිත්‍යනුකූල පියවරක් අනුගමනය කිරීමෙන් පසුව නාවික හමුදාවේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදවාගෙන තිබිණි. එම නැව ඉන්දුනීසියාවට අයත් එකකි. එය නාවික හමුදාව සතු දියඹේ ඇති නැව් වෙත නාවික වරාය සිට භාණ්ඩ ප්‍රවාහන කිරීමේ ආධාරක නැවක් ලෙස යොදවනු ලැබීය. මෙසේ කාලයක් භාවිතයේ පැවතියේ හැකි උපරිම මට්ටමෙන් වරින් වර සිදුකළ අලුත්වැඩියා කටයුතු සමඟය. එහෙත් තවදුරටත් භාවිතයේ තබා ගැනීමට නොහැකි තරම් දෝෂ සහ අලුත්වැඩියාව සඳහා වන පිරිවැය ඉහළ යාමත් හේතුවෙන් නෞකාව භාවිතයෙන් ඉවත් කිරීමට නාවික හමුදාව තීරණය කළේය. ඒ සඳහා මූලික කාරණා අතර එන්ජිම දුර්වල වීම, බඳ මළ කෑම, යකඩ දිරාපත්වීම සහ නැවත භාවිතයට තීන්ත ආලේප කිරීමට අධික පිරිවැයක් යෙදීමට සිදුවීම වැනි හේතූන්ය.

මේ තත්ත්වය මත නාවික හමුදාව පළමුව තීරණය කර තිබුණේ නෞකාව අබලි යකඩ සඳහා අලෙවි කිරීමය. ඒ සඳහා 2015 සහ 2017 වර්ෂවලදී දෙවතාවක් ටෙන්ඩර් කැඳවීමට පියවර ගෙන තිබුණි. නමුත් ඉල්ලුම්කරැවන් ඉදිරිපත් කර තිබුණේ අවම ලංසුවකි. එම මුදල් ප්‍රමාණය යකඩ කැපීම සඳහා යොදාගන්නා ඔක්සි අසිටලීන් ගින්දර සඳහා වන වියදමට හෝ ප්‍රමාණවත් නොවීය.

මේ හේතු නිසා ආරක්ෂක අමාත්‍යංශයට තොරතුරු දන්වා අවසරදය ද ලැබුණු පසු ඉහත පියවර සම්බන්ධයෙන් 2017-11-08 දින නාවික හමුදාව විසින් ආරක්ෂක අමාත්‍යංශයට සහ සමුද්‍රීය පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය ද දැනුම්වත් කර තිබුණි. මේ සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබුණේ දෙසැම්බර් 21 වැනිදාය.

මෙවැනි පියවරක් අනුගමනය සඳහා නාවික හමුදාව ක්‍රියාකර ඇත්තේ වර්තමානයේ සිදුවෙමින් පවතින කොරල්පර විනාශයට සහ මත්ස්‍ය සම්පත අඩුවීමේ ප්‍රවණතාවය අවම කර ගැනීමේ පියවරක් වශයෙනි. නාවික හමුදාව පෙන්වා දෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කොරල් පර විනාශ වෙමින් තිබෙන බවය. ජලය උණුසුම් වීමත් ඊට හේතුවක්ව තිබේ. මේ ගිල්වූ නැව ඔස්සේ ඉදිවෙන කෘතීම කොරල් පරය මත්ස්‍ය බෝවීම ව්‍යාප්තියට කදිම තෝතැන්නකි. එය අපූරු සංචාරක කලාපයක් වශයෙන් ව්‍යාප්ත කිරීමට ද නියමිතය. මේ අදහස ඇතිව මීගමුව ප්‍රදේශය තෝරාගෙන තිබුණේ දැනටමත් බහුලව සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක වන නිසාය. ඒ අනුව මීගමුව මුහුදු තීරයට මුහුදු සැතපුම් හතරක් පමණ ඈත ගැඹුරැ මුහුදේ නෞකාව සමඟ සුඛෝපභෝගී මෝටර් රථ ගිල්වීමට තීරණය විය. එහිදී නෞකාවේ ඉහළ කොටස ඉවත් කර සෙසු වටිනා කොටස් සියල්ල ගලවා මෝටර් රථවල සන්නිවේදන උපකරණ ඇතුලු ද්‍රව්‍ය ඉවත්කර ඒවායේ බඳ කොටස් නැව් තට්ටුවට තබා පෑස්සුම් කර තිබුණේ නැවත ගැලවීමට නොහැකි ලෙසය.

නෞකාවේ එන්ජින් දෙක නාවික පුහුණු මධ්‍යස්ථානය වෙත යොමුකර භාවිතයට ගතහැකි සියලු කොටස් නාවික පරිහරණය වෙත ලබා ගෙන ඇති අතර ඉහළ කොටස ප්‍රදර්ශනය සඳහා වෙන්කර තැබිණි. අනතුරුව නැව බඳ කොටසේ සුදුසු අයුරෙන් කවුලු සකස් කර තාවකාලිකව වසනු ලැබීය. එසේ සිදු කළේ සංචාරක කිමිදුම්කරුවන්ට ඒවා තුළින් පිහිනා යාමට හැකි පරිදිය. මෙසේ සැකසූ නෞකාව දිගින් මීටර් 60.43ක් සහ පළලින් මීටර් 10.30කින් යුක්තය. මේ කටයුතු සඳහා බටහිර නාවික විධානය එහි බාර ආඥාපති, නාවික කිමිදුම් ආඥාපති, විධාන ඉන්ජිනේරු නිලධාරී කාර්යමණ්ඩලය ඇතුළු කිමිදුම් නිලධාරීහු සම්බන්ධ වූහ. මේ සඳහා මාස කීපයක සැලසුම් සහගත මෙහෙයුමක් සිදු කෙරුණු අතර කලින් තෝරාගත් මුහුදු පරිශ්‍රය තුළ නැංගුරම් දැමූ නැව් දෙකක් සූදානමින් සිටියේය. මේ අතර කොළඹ වරාය පරිශ්‍රයේ නවතා තිබූ වෙලින් නෞකාව ටග් යාත්‍රාවක් මගින් තල්ලු කරගෙන අදාළ ස්ථානය වෙත රැගෙන ගියේය. මේ කටයුතු සූදානම් කෙරැණේ ඉකුත් 26 වැනිදා අලුයම සිටය. එදින කොළඹ වරාය පරිශ්‍රයේ සිට පෙරවරු 5.30ට ආරම්භ කළ කටයුතුවලින් පසුව 6.30ට නැව රුගෙන යාම ආරම්භ කෙරිණි. 11.00 පමණ වනවිට අදාළ ස්ථානයට රැගෙන ආ නැව පෙර සඳහන් කළ කවුළු විවෘත කර ජලය ඇතුළට ගලන අතරතුර ආසන්නයේ රඳවා තැබූ නැවේ නාවික සෙබළු මෝටර් ආධාරයෙන් ජලයෙන් නෞකාව පුරවා දැමුවේය. අදාළ ස්ථානය ගැඹුරැ මුහුද බැවින් සෙසු නාවික යාත්‍රාවල ගමනාගමනයට ඉන් බාධාවක් නැත.

මේ මෙහෙයුම් සඳහා නාවික සෙබළුන් ඇතුළු කාර්යමණ්ඩලය 60 දෙනකු දායක වූ බව නාවික හමුදාව සඳහන් කරයි. මේ නෞකාව මත්ස්‍ය සම්පත වර්ධනයට තෝතැන්නකි. එමෙන්ම තව වසර කීපයකින් කොරල් පරයක් නිර්මාණයට අවස්ථාවකි. නුදුරේ සංචාරක කලාපයක් වශයෙන් ප්‍රවර්ධනයක් කෙරෙන ස්ථානය ප්‍රදේශයේ ධීවර ජනතාව විසින් සුරුකිය යුතුම ස්ථානයකි.

භාවිතයෙන් ඉවතලන නැවක් මුහුදේ ගිල්වන ක්‍රම කීපයකි. නැවක පාවීමට ඇති හැකියාව ඉහළය. එබැවින් නැවක් ගිල්වීම අසීරුය. ඇතැම් රටවල සිදු කරන්නේ නැව පුපුරණ ද්‍රව්‍ය යොදා පිපිරවීමය. මෙහිදී සිදුකර ඇත්තේ නැව තුළට මුහුදු ජලය පුරවා ගිල්වා දැමීමය. එහි කිසිදු පාරිසරික හානියක් නොමැත. එසේ නොමැතිනම් අබලි යකඩවලට අලෙවි කරති. අනෙක් ක්‍රමය වන්නේ නැව කෑලි කර වෙනත් නැවක් නිර්මාණයට යෙදවීමය. නැතිනම් තිබෙන නැව අලුත්වැඩියා කර භාවිතයට ගැනීමය. නැව සම්පූර්ණයෙන් ගොඩට ගෙන කඩා ඉවත් කිරීම තවත් ක්‍රමයකි. නැතිනම් කෞතුකාගාරයක් ලෙස යෙදවීම එකකි. නමුත් මේ නෞකාවේ හැඩය හා ප්‍රමාණය ඊට ගැලපෙන්නේ නැත. මේ සියලු කාරණා අධික වියදම් සහිත සහ ඵලක් නොවන දෙයක් හේතුවෙන් අවසන් නිගමනය වූයේ කෘතිම කොරල්පරයක් වර්ධනයට අවස්ථාව සලසා සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවට පත් කිරීමටය.

මේ ආකාරය ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවක් භාවිතයෙන් ඉවත් කිරීමේදී මුහුදේ ගිල්වූ පළමු අවස්ථාව මෙය නොවේ. 1980දී පමණ සමුද්‍රා දේවී නෞකාවට සිදු කළේද මෙවැන්නකි. 2014 වර්ෂයේ මැයි මාසයේ අවසන් මුහුදු සංචාරය වශයෙන් ත්‍රිකුණාමලය වරාය සිට කොළඹ රංගල නාවික හමුදා වරාය පරිශ්‍රයට පැමිණි වෙලින් නෞකාවට සිව් වසරක් එහි නැංගුරම් ලා තිබූ පසුව අවසන් නවාතැන්පොළ ලෙස මීගමුවට නුදුරු මුහුදු තීරය තෝරා දෙන්නට නාවික හමුදාව පියවර ගත්තේය.

මුලාශ්‍ර – ශ්‍රීලංකා විද්‍යුත් මාධ්‍ය

 

About SirilakaNews

Check Also

Untitled-1jgjgcg

අයි ෆෝන් තාක්ෂණය සොරකම් කිරිමේ වරදට සැම්සුන් සමාගමට දඩුවම්! Samsung penalized for stealing iPhone technology

      iPhone ජංගම දුරකතනයේ මුල් පිටපතෙහි ඇතුළත් අංග අනුකරණය කිරීමේ චෝදනාව මත ‘ඇපල්’ සමාගමට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *