Breaking News
Home / නිදහස් පන්හිද / ගැටුමකින් තොරව රටක් ගෙන යාම. Moving a country without a confrontation

ගැටුමකින් තොරව රටක් ගෙන යාම. Moving a country without a confrontation

nvcmj

වර්තමාන සමාජයේ බොහෝ ගැටලුවලට හේතුවන මිනිසා ආධ්‍යාත්මිකව දුප්පතුන්වීමය. කුස පිළිසිඳගත්දා සිට දරුවා පිළිගැනීම අත්දකී. පිළිසිඳගත් පසු සමහර මවුපියන් දරුවා ප්‍රතික්ෂේප කරති.

එය මවුකුස සිටින දරුවාට ද දැනෙන කරුණකි. ඉපදුන පසුවද ගැහැනු පිරිමි හෝ වර්ණය මත දරුවා ප්‍රතික්ෂේප කරන ආකාරය දක්නට ලැබේ. මෙවැනි දරුවන් දිගින් දිගටම අත්දකිනුයේ ප්‍රතික්ෂේප කිරීමය.

කුඩා කල සිටම ප්‍රතික්ෂේපවීම අත්දකින දරුවා සමාජගතවෙද්දී සමාජය ගෙනෙන කරුණු ද ප්‍රතික්ෂේප කරයි.

එවැනි දරුවන් සමා‍ජයේ ඉතා කුඩා සිදුවීමක් වුව ප්‍රතික්ෂේප කිරීම නිසා ‍බොහෝවිට කලහකාරී තත්ත්ව උදාවේ. ජාතිවාදී හෝ වෙනත් ගැටුම් රැසකට මේ තත්ත්වය බලපෑම් කරනු ලැබේ.

කුඩා කල සිට දරුවාගේ ආධ්‍යාත්මය සුවපත් කරන, අගය කිරීම්වලින් හෙබි පරිසරයක් ඇතිවන්නේ නම් සමාජයේ අත්දකින බොහෝමයක් බිහිසුණු සිදුවීම් සිදුනොවනු ඇත.

කුඩා කල ආදරය අත් නොදකින දරුවා සමාජයේ අනෙක් අයට ආදරය කරන්නේ නැත.

මේ දරුවනට සමාජය තේරුම් ගැනීමේ හැකියාවක් ද නැත. තවත් අයකු අගය කළ හැක්කේ ද අගය කිරීම් ලැබූ දරුවකුට පමණි. කුඩා කල තුවාල වූ සිත් ඇති දරුවා ලොකු දරුවකු වූ පසු සමාජය තුවාල කිරීමට පෙලඹේ.

එවැනි දරුවන් ප්‍රයෝජනයට ගනිමින් ජාතිවාදී හෝ වෙනත් කලබල සමාජය තුළ ගොඩනඟන්නට බොහෝ පිරිසක් බලා සිටී.

ජනමාධ්‍ය මඟින් මෙන්ම තම යහළුවන්ගෙන් ද මේ දරුවා තම තුවාලය පාරවාගනී.

අද ජනමාධ්‍ය හැසිරෙන්නේ ද යහපත් මාර්ගයක යාමට අවශ්‍ය පරිසරය ගොඩනැඟීම සඳහා නොවන බව පැහැදිලිය. ඔවුන් නිරන්තර‍වම ජන මනස විකෘති කරන කරුණු සමාජගත කිරීමේ යෙදී සිටී. මෙය ඉතා බරපතළ තත්ත්වයකි.

ගැටුමට හේතු

යහපත් පරිසරයක උපත නොලැබූ දරුවා විවිධ ප්‍රදේශවල, විවිධ ආගමිකයන්, විවිධ කුලවල අය සමඟ ගැටෙමින් ජීවත්වේ.

ඔහු සමාජයේ විවිධත්වය පිළිනොගනී. එවිට ඔහු තමාට ආවේනික ප්‍රචණ්ඩකාරී හැසිරීම ප්‍රදර්ශනය කරනු ඇත.

අද සමාජයේ ආගමික නායකයින් සහ මවුපියන් දරුවකු ආධ්‍යාත්මිකත්වය ගොඩනැඟීම ලෙස සලකණු ලබන්නේ වත් පිළිවෙත් කිරීමයි. මල් පූජා කිරීම, පන්සල් යාම, ආධ්‍යාත්මය ඔසවා තබන බව බෞද්ධයෝ සිතති.

දිනකට පස්වතාවක් යාච්ඥා කිරීමෙන් ආධ්‍යාත්මය ‍ගොඩනැ‍ඟෙන බව මුස්ලිම් බැතිමතුන් සිතති. හින්දුන් සිතනුයේ උපවාසය ඊට ඉවහල්වන බවය. කිතුනු භක්තිකයන් සිතනුයේ ආධ්‍යාත්මයට මග ඔරසන් කිරීම බවය.

මේ කාරණා තුළින් ආධ්‍යාත්මය ගොඩනඟා ගැනීමට යම් සහනයක් ලැබුණද එය ප්‍රමාණවත් නොවන බව සිදුවන සිදුවීම්වලින් ගම්‍ය වේ. හැම කෙනෙකුටම ආධ්‍යාත්මික ලක්ෂණ පවතී. එහෙත් ඒවා ඔපමට්ටම් කොට පිටතට ගැනීමට සමත් අය නොසිටීම සමාජ ඛේදවාචකයට මුලයි.

මිනිසුන් අතර ආදරය කිරීම, සමාවදීම, සරල චාම් ජීවිතය, යුක්තිය, සාධාරණත්වය තියෙන අය නැති අය අතර බෙදාගැනීම සහ සමානාත්මතාව ගොඩනැඟිය යුතුය. ජනමාධ්‍යය මෙන්ම ආගමික නායකයින් සහ උගත් බුද්ධිමතුන් මේ සඳහා පෙරමුණගත යුතුය.

ජනමාධ්‍ය තුළ අද ප්‍රවෘත්ති බවට පත්වන්නේ නරක ක්‍රියාවන්ය. යහපත් ක්‍රියාවන්ට එහි ඉඩකඩ අවම ය. ජනමාධ්‍යයේ ප්‍රවෘත්ති බවට පත්වන්නේ ජනතාව භේද බින්න කරන පුවත් ය. විශේෂයෙන් වෛරී ප්‍රකාශනවලට දෙන ඉඩකඩ වැඩිය.

ජාතිවාදී මෙන්ම ගැටුම්කාරී තත්ත්වයන්ට හේතුපාදක වන කාරණා ඉස්මතුකොට දැක්වීම තුළින් කුඩා කල සිටම මනස තුවාල වූ දරුවා ගැටුම්වලට පෙලෙඹවීමේ ඉඩකඩ වැඩිය.

විවිධ බලවේග

තිරිසන් සතුන් උපතෙන් ටික වෙලාවකට පසු නැඟිට තනිවම තම වැඩකොටස කර ගනී. මිනිසාට එසේ කළ ‍නොහැකිය. දරුවකු ඉපදී කාලයක් යනතෙක් ඔහු වැඩිහිටියන්ගෙන් හෝ සමාජයෙන් යැපේ.

දරුවාගේ වර්ධනය ද කාලයෙන් කාලයට වෙනස් වේ. ශරීර වර්ධනය මෙන්ම මානසික වර්ධනය ද ඊට අයත්ය. මේ කාලයේ දරුවාගේ සිතුම්පැතුම් ද වෙනස් වේ. වැඩිහිටියන් මේ තත්ත්වය තේරුම් ගත යුතුය.

දරුවකු කුඩා කල සිටම ආධ්‍යාත්මික ගුණ වගාවන්ගෙන් පෝෂණය කළහොත් බොහෝ සමාජ ගැටලුවලට පිළියම් සෙවිය හැකිය.

දරුවා යනු හිස් කොළයකි. එහි ලියන්නේ අම්මා, තාත්තා, වැඩිහිටියන් සහ ජනමාධ්‍යයයි. ඔවුන් ලියන දෙය දරුවා අත්දකී. එබැවින් දරුවා නිවැරදි කරන්නට නම් ඔහු අවට පරිසරය නිවැරදි වීම ඉතා වැදගත් වේ.

විවාහයට ලංකාවේ අවශ්‍ය එකම සුදුසුකම වයස අවුරුදු 18 සම්පූර්ණවීමය. දරුවන් හැදීම, දරුවාට ආදරය කිරීම, දරුවා තේරුම් ගැනීම, එක් එක් කාලවල දරුවාගේ අවශ්‍යතා තේරුම් ගැනීම පිළිබඳව විවාහ අපේක්ෂිතයන් දැනුම්වත් කිරීමේ ක්‍රමවේදයක් අපට නැත. මේවාද ගැටුම්වලට ඉවහල් වේ.

උපතේදී ද මරණයේදී ද ඇත්තේ තරගයකි. උපන්දින කේක් එකට මෙන්ම මියගිය පසු මිනීපෙට්ටියට ඇත්තේ ද තරගයකි. මේ තරගය ජාතියට, ආගමට, දේශපාලනයට ද ගෑවී ඇත.

එවැනි පරිසරයක ආධ්‍යාත්මයට වඩා ඉඩකඩ ලැබෙනුයේ හැඟීම් හා තරගයටය. එවන් තත්ත්වයකට පත් ජනතාවක් අතර ආගම, ජාතිය, කුලය අරභයා බොහෝ ඉක්මනින් ගැටුම් ඇති කළ හැකිය.

අපේ රටෙ ජාතීන් අතර ඇත්තේ යහපත් ආකල්ප නොවේ. කුඩා කල සිටම අසන්නට ලැබෙන්නේ අනෙක් ජාතිකයන් ගැන නරකය. මේ හේතුව නිසා කුඩා කල සිටම ජාතීන් අතර වෛරය පැතිරේ.

එක් ජාතියක එක් අයෙකු වරදක් කළ විට එහි ප්‍රතිඵලය සමස්ත ජාතියටම ලැබේ. හේතුව ආකල්පමය වෙනසක් නොතිබීමයි.

මේ තත්ත්වයන් ප‍්‍රයෝජනයට ගනිමින් විවිධ බලවේග ගොඩනැ‍ඟෙමින් තිබේ. කිසිදු ආධ්‍යාත්මික පදනමකින් තොරව ගොඩනැ‍ඟෙන මෙම බලවේග ජාතීන් අතර අසමගිය පවුරාලති. ඔවුන්ගේ එකම අරමුණ වන්නේ බලය ලබාගැනීම පමණි.

සමගියේ මඟ

ජාතීන් අතර අසමගිය වර්ධනයට භාෂාවද ප්‍රබලව බලපා ඇත. එකිනෙකා තේරුම් ගැනීමට භාෂාව මහත් සේවාවක් සපයයි. භාෂාව පිළිබඳ ගැටලු නිසා සැකය සහ බිය ඇතිවේ. මේ තත්ත්වය සංහිඳියාව ඇතිකරන්නට බාධා ලෙස දැකිය හැකිය.

භාෂාව ඉගැන්වීම සඳහා පුහුණු ගුරුවරුන් අවශ්‍යය. සිංහල, දෙමළ, ඉංග්‍රීසි මෙන්ම පරිගණක දැනුම පාසලේ සිට විශ්වවිද්‍යාල මට්ටම දක්වා ඉගැන්විය යුතුය.

ජාතීන් අතර ගැටුම් ඇතිවන්නේ විවිධත්වය පිළිගැනීමට දක්වන මැලිකම නිසාය. ජාතීන්ගේ විවිධත්වය අගය කළ යුතු සේම ඔවුන්ගේ සංස්කෘතියට ඉඩකඩ ලබාදිය යුතුය.

සෑම ආගමකම මිනිසාට පවසන දහම ඒකාකාරය. එහි ගැබ්වන්නේ සාමය, සහෝදරත්වය, සංහිඳියාව වැනි ගුණාංග ය. කිසිදු ආගමක ගැටුම් ඇතිකරගැනීම සඳහා මිනිසුන් පොලඹවන්නේ නැත. ආගමික සාස්තෘන්ගේ ඉගැන්වීම වන්නේ එකට ජීවත්වීමය. එසේනම් පන්සල, පල්ලිය තුළින්ද ඉගැන්විය යුත්තේ ආධ්‍යාත්මික ගුණවගාවය.

මෙරටට ජාතික දේශපාලන නායකයින් අවශ්‍යය. ජාතීන්ගේ නායකයින් සමාජයට අවශ්‍ය නැත.

කෑළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එස්. ජේ. යෝගරාජා  විසින් මාධ්‍යට ලියු ලිපියක අනුවාදයකි.

About SirilakaNews

Check Also

cc93b18f3536b6a454330d459f615c68

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මහනුවරින් නික්ම ගියේය Sri Vikrama Rajasinghe left Kandy

ශ්‍රී වික්‍රම රාජසිංහ සිංහලේ අවසන් රජුවූ අතර එතුමා පිළිබඳව වූ ඉතිහාස ලකුණ බෙහෙවින් අඳුරු එකකි. ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *