Breaking News
Home / නිදහස් පන්හිද / ආර්ථිකයේ සෘණ මාවත දිගේ…..! On the negative path of the economy …..

ආර්ථිකයේ සෘණ මාවත දිගේ…..! On the negative path of the economy …..

economy-1

මහ බැංකුව නිකුත් කරන ලද 2018 වසර සඳහා වන දෙවැනි ප්‍රතිපත්ති මූල්‍ය විවරණයෙන්, ඉහළ යමින් තිබූ උද්ධමනය ආයෝජනයන්ට වින කටිමින් තිබූ පෙර අවස්ථාවේ දී හඳුන්වා දී තිබූ දැඩි මුල්‍ය ප්‍රතිපත්ති පැකේජයේ කොටසක් සැලකිලිමත්ව ලිහිල් කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව, මුදල් හිඟ වානිජ බැංකු ඒවායේ ඇතිවන තාවකාලික මුදල් හිඟ ආවරණය කරගැනීම සඳහා මහ බැංකුවෙන් මුදල් ලබාගන්නා විට එම මුදල් මත පැනවෙන පොලී අනුපාතය පහත හෙළා ඇත. මෙම පහසුකම හැඳින්වෙන්නේ ස්ථාවර ගැනුම් පහසුකම ලෙස වන අතර, සියයට 8.70ක් වූ එහි පොලී අනුපාතය සියයට 8.50ක් දක්වා පහත හෙළා තිබේ.

එහෙත්, මුදල් අතිරික්තයක් ඇති අවස්ථාවල දී වානිජ බැංකු එම මුදල් අතිරික්ත මහ බැංකුවේ තාවකාලිකව තැන්පත් කරන අවස්ථාවල දී එම මුදල් මත පැනවෙන පොලී අනුපාතය – ස්ථාවර තැන්පතු අනුපාතය – පැවැති සියයට 7.25ක අගයේම නොවෙනස්ව පවතී. මෙම ක්‍රියාවලියේ සමස්ත ප්‍රතිඵලය වී තිබෙන්නේ මෙම පොලී අනුපාතයන් අතර පැවැති පරතරය සියයට 1.5ක අගයේ සිට සියයට 1.25ක් දක්වා පහත වැටීමය.

තම තමන්ගේ තැන්පතු ප්‍රකාරව වානිජ බැංකු අනිවාර්යයෙන්ම මහ බැංකුවේ තැන්පත් කළ යුතු අවම මුදල, නැතහොත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයට අදාළ ප්‍රතිපත්ති මෙවලමෙහි අගය, සියයට 7.5ක අගයේ නොවෙනස්ව පවත්වාගෙන ඇත. මේ අනුව මුල්‍ය ප්‍රතිපත්තියේ වෙනස්වීම සිදුව තිබෙන්නේ පාර්ශ්වික හා සැලකිලිමත් ලෙස බව කිව හැකිය.

පහත හෙළෙන ගැනුම් අනුපාත හමුවේ ආර්ථිකය උත්තේජනය වෙතැයි අපේක්ෂිතය.

මුදල් හිඟයක් ඇතිවන අවස්ථාවක දී තාවකාලිකව එම හිඟය පියවා ගැනීම සඳහා භාවිත කළ හැකි මාර්ග සියල්ලෙන් ප්‍රතිඵලයන් නොලද අවස්ථාවක වානිජ බැංකු අත තිබෙන අවසාන තුරුම්පුව වනුයේ ස්ථාවර ගැනුම් පහසුකම්ය. උදාහරණයක් ලෙස තාවකාලික මුදල් හිඟයක් ඇති වූ අවස්ථාවක, ධනවත් රාජ්‍ය ආයතන සහ සමාගම්වලින් ඉල්ලා ගන්නා මුදලින්, හුවමාරු වෙළඳපොළෙන් (රෙපෝ මාර්කට්) රඳවාගෙන සිටින භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම්කර විකිණීමෙන්, නැතහොත් ඔවුනොවුන් අතර සිදුකැරෙන ගනුදෙනුවකින් – අන්තර් බැංකු මුදල් වෙළෙඳපොළ, එම හිඟය පියවා ගැනීමට වාණිජ බැංකු කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කැරේ.

මෙම ප්‍රභවයන්ගෙන් තවදුරටත් මුල්‍ය සපයා ගැනීමට නොහැකි නම් ඒ සඳහා ස්ථාවර ගැනුම් පහසුකම භාවිත කිරීමේ පහසුකම මහ බැංකුව සලසා දී තිබේ. මෙම පහසුකම පොලී අනුපාතයක් සමග පිරිනැමෙන හෙයින් එය භාවිතයේ දී වාණිජ බැංකු ආන්තික පිරිවැයක් දැරිය යුතු වේ. එහෙත් දැන් එම පොලී අනුපාතය පහත හෙළා තිබෙන බැවින් ප්‍රතිඵලයක් ලෙස ස්ථාවර ගැනුම් පහසුකම භාවිත කරන වාණිජ බැංකු දැරිය යුතු ආන්තික පිරිවැය පහළ යනු ඇත. මේ නිසාවෙන් ණය ලබාදීමේ දී එම මුදල් මත පැනවෙන පොලී අනුපාතය පහත හෙළීමට වාණිජ බැංකුවලට අවස්ථාව ලැබේ. එනිසාවෙන්, මෙසේ මෙම ක්‍රියා මාර්ගය හරහා බැංකු ණය මත පොලී අනුපාතය පහළ යෑම, වර්ධනයට උත්තේජනයක් වනු ඇතැයි අපේක්ෂිතය. ස්ථාවර තැන්පතු අනුපාතයේ වෙනසක් නොමැති නිසා වානිජ බැංකු ඒවායේ තැන්පතු මත සලසා දී තිබෙන පොලී අනුපාතයන්වල වෙනසක් සිදු නොකරනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.

මහ බැංකුව වෙළෙදපොළ වෙත සංඥාවක් ලබා දී ඇත

ප්‍රතිපත්තිය ලිහිල් කර තිබෙන්නේ සියයට සියයක මුළු අගය සැළකීමේ දී නොගිනිය හැකි සියයට 0.25ක් වැනි අගයකිනි. එනිසාවෙන්ම, එහි අපේක්ෂිත බලපෑම වනුයේ වෙළඳපොළ වෙත ප්‍රබල පණිවුඩයක් ලබාදීමය.
ආර්ථිකයේ තත්ත්වය ඉතා දුබල මට්ටමක පවතින බැවින් සැලකිලිමත්ව කරන ලද පොලී අනුපාතික පහත දැමීමක් හරහා හෝ යම් සහනයක් ලබා දීමට මහ බැංකුව සූදානම් බව එම සංඥාවයි. මහ බැංකුවේ හස්තයෙන් බැහැර, ආර්ථිකය කෙරේ ඉතා බරපතළ මට්ටමින් බල පැවැත්වෙමින් තිබෙන ගැටලු ඇත. මුරණ්ඩු, අනම්‍යශීලී අයවැය, එක තැන පල්වෙමින් තිබෙන අපනයන, ඉහළ යමින් තිබෙන ආනයන, ඒ අතරින් සමහරකි. සැබෑ අභියෝගය වන්නේ සම්පූර්ණ ප්‍රතිසංස්කරණ වැඩසටහනයක් හරහා දිගු කාලීන ආර්ථික වර්ධනයකට යන මාවතට රටේ ආර්ථිකය යොමු කිරීමය.

මහ බැංකුව මෙසේ සැලකිලිමත්ව අනුගමනය කළ පියවර සම්බන්ධයෙන් පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට එහි ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂවරයා කටයුතු කළේය.

එහෙත් අවාසනාවන්ත ලෙස එම මාධ්‍ය නිවේදනයේ අන්තර්ගතය අතිශයින් තාක්ෂණික වන අතර, පාර්ලිමේන්තුවේ ඝාණ්ඨාරවන් සියල්ල දත් දේශපාලනඥයන්ට පවා එම කරුණු අවබෝධ කරගැනීමට ගුරෙකුගේ සහය පැතීමට සිදුවනු ඇත. නමුත් ලොව පුරා මහ බැංකු නිලධරයන් යොදා ගන්නා භාෂාව එයයි. ඇතැම් විට එය තේරුම් යනු ඇත්තේ එය කතා කරනා පුද්ගලයන්ටම පමණක් වන්නට පිළිවන

.ධනය උත්පාදනය කිරීමට මහ බැංකුවට නොහැකිය.

බොහෝ දෙනෙක් අතර පවතින මතයක් වන්නේ, ඇතැම් විට මුල් පෙළේ ආර්ථික විශේෂඥයන් සහ දේශපාලඥයන් අතර පවා, මහ බැංකුවේ රාජකාරිය වනුයේ ජනතාව මුදලින් ධනවත් වන ආකාරයේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම බවය. එනිසාවෙන්ම, භාණ්ඩ හා සේවාවල නිෂ්පාදනය නොඑසේ නම් දළ දේශීය නිෂ්පාදනය මන්දගාමීව, ඉක්මනින් ධනවත් වීමට අපේක්ෂාවෙන් සිටි පිරිසගේ අපේක්ෂා බොඳ කළ විට, ඔවුන් වහාම චෝදනා කරන්නේ මහ බැංකුවටය.

එපමණක් නොව ආසියා ශාන්තිකර කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස නම් කැරුණු හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවා ඔහු එම වගකීම් දරමින් සිටි අවදියේ දී මෙන්ම එයින් ඉවත්ව ගෙවමින් සිටින වර්තමානයේ දී, රටේ වත්මන් ආර්ථික තත්ත්වයට වගකිව යුතු යැයි දිගින් දිගටම චෝදනා කළේ මහ බැංකුවටය. උපාධි සහ පශ්චාත් උපාධි මට්ටම්හි සිසුන් හට ගුරුහරුකම් දී අත්දැකීම් ඇති ලියුම්කරුට, ඔවුන්ගෙන් යොමුවන්නේ ද හිටපු මුදල් අමාත්‍යවරයා නගන චෝදනා හා සමාන අදහස්ය.

එහෙත් තිත්ත ඇත්ත දන්නේ මහ බැංකුවේ සේවය කර තිබෙන පුද්ගලයකු පමණකි. මහ බැංකුවට ඇත්තේ එක් බලයකි. එනම්, මුදල් මුද්‍රණය කිරීම සහ පොලී අනුපාතික හා මුල්‍ය මට්ටම් වෙනස් කිරීම හරහා එම මුදල් මුද්‍රණය කිරීම පාලනය කිරීමය. මේවා සැබෑ බලතල නොවේ. මුදල්, ඒවායේ භෞතික ස්වරූපයෙන් පරිභෝජනයට ගැනීමට මහජනතාවට නොහැකි නිසා එයට පිළියමක් ලෙස කල්පිත මට්ටමින් ගොඩනැගී තිබෙන බලතලය.

ඒ සඳහා ඔවුන් සැබෑ භාණ්ඩ හා සේවා බවට මුදල් පරිවර්තනය කළ යුතුය. මෙය සිදුවන්නේ එම භාණ්ඩ හා සේවාවලට මිල නියම කිරීමෙනි. එසේ නොමැතිව මුදල් වෙළඳපොළෙහි ඇති සැබෑ භාණ්ඩ හා සේවා සමග සන්සන්දනය කිරීමට සැලැස්වුවහොත් ඒවායේ මිල ඉහළින් ඉහළට යනු ඇත. එවන් වාතාවරණයක මුදල් තමන් සන්තකයේ තබා ගැනීමට උත්සුක වන පුද්ගලයන් හට ලැබෙන සැබෑ වාසියක් නොමැත.

වර්ධනය රජයේ වගකීමකි

වෙළඳපොළක් සැලකීමේ දී මහ බැංකුව සිදුකරන මේ ආකාරයේ පාලනයක් අයත් වන්නේ ඉල්ලුම කොටසටය. සම්පූර්ණ ආර්ථිකය සැලකිල්ලට ගතහොත් එය හැඳින්වෙන්නේ මුළු ඉල්ලුම නැතිනම් සමූහ ඉල්ලුම ලෙසය. කාසියේ අනෙක් පැත්ත වන්නේ මුළු සැපැයුම, නැතිනම්, සමූහ සැපැයුමය. එයට දායකත්වය ලබා දෙන්නේ, සිංගප්පූරුවේ පළමු මුදල් අමාත්‍යවරයා, ආචාර්ය ගොහ් කෙන්ග් ස්වී පවසන ආකාරයට, පාසල්හි අධ්‍යාපනය ලබන සිසුන්, විශ්වවිද්‍යාලහි අධ්‍යාපනය ලබන උපාධි අපේක්ෂකයන්, වැඩපළහි වැඩෙහි යෙදෙන සේවකයන්, ආදීහුගේ වෙහෙස හා කැපවීමය.

ශ්‍රී ලංකාවේ වර්තමාන සන්දර්භය සැලකීමේ දී වෙහෙස වී වැඩපළ කිරීම පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයාගේ සිට අගමැතිවරුන්, අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රජයේ සිවිල් සේවකයන් දක්වාම අදාළ කළ හැකිය. වෙහෙස වෙමින්, කැපවීමෙන් වැඩ කරන ජනතාවගේ අවංක උත්සාහයන් කුළු ගන්වනු වස් ඔවුන්ට දීමනා ලබාදෙමින්, එම ජනතාවගේ වෙහෙස සූරා කෑමටම සැදී පැහැදී සිටින අය හට නිසි දඬුවම් ලබාදෙමින්, ජනතාවට සහෝපකාරී වන වාතාවරණයක් ඇතිකිරීම, රජයේ පාලන බලය අතැති අයගේ පරම වගකීම වේ.

එනිසාවෙන්, ආර්ථිකය අර්බුදයක් කරා යමින් තිබෙන්නේ නම් එයට වගකිව යුත්තේ මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ මෑතක් වන තුරු රටේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කරමින් සිටි ආර්ථික කළමනාකරණ කටයුතු පිළිබඳ කැබිනට් කමිටුවය. එසේ වුව ද, දිගින් දිගටම ආර්ථිකය පල්ලම් බසිමින් සිටින්නේ නම් එම කනගාටුදායක ප්‍රතිඵලයට වගකිව යුතු වනු ඇත්තේ අභිනවයෙන් ඇති කැරුණු ජාතික ආර්ථික කවුන්සියලයයි.

අනෙකාට චෝදනා කිරීම

මලයාසියාවේ හිටපු කැබිනට් අමාත්‍යවරයකු සහ එරට අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන කාර්යසාධන කළමනාකරණ විසර්ජන ඒකකයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කළ ඩාටෝ ශ්‍රී ඉඞ්රිස් ජාලා 2016 අගෝස්තු මස ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය සංවිධානය කර තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතමින් අවධාරණාත්මක ලෙස ඉස්මතු කළේ ද මෙයයි.

රටේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් අමතමින් අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක ඔහුගේ සුපුරුදු පිළිවෙතටම අනුගත වෙමින් රටේ මතුව තිබෙන සියලුම ආර්ථික අර්බුද සම්බන්ධයෙන් චෝදනා කළේ පැවැති පරිපාලනයටය. අමාත්‍යවරයාට පසුව අදහස් දැක්වූ ජාලා, ශ්‍රී ලංකාවේ දේශපාලඥයන් අතිශයින් වාසනාවන්ත බවත්, අඩුම තරමේ ඔවුනට චෝදනා නැගීමට හෝ පැවැති රජයක් තිබෙන බවත්, නමුත් මලයාසියාවේ ඔවුනට එවැනි අවස්ථාවක් නොමැත්තේ පැවැති රජයම නැවත බලයට පත්ව තිබෙන නිසා බවත්, පවසා සිටියේ හාස්‍යජනකවය. එනිසාවෙන්ම, චෝදනා නැගීමේ න්‍යායෙන් බැහැරව කටයුතු කර තිබෙන ඔවුන්, ඒ වෙනුවට භාවිත කර තිබෙන්නේ අතිසුවිශේෂී මූලෝපායකි.

මධ්‍ය ආදායම් රටක තත්ත්වයේ සිට ඉහළ ආදායම් රටක තත්ත්වයට ගමන් කිරීම දශක 4ක් පුරාවට මලයාසියාව පෙළමින් සිටි ගැටලුවක් විය. ආර්ථික විශේෂඥයන් මෙය හඳුන්වා දෙන්නේ මධ්‍ය ආදායම් උගුල ලෙසය. මෙම උගුලෙන් ගැලවී ගැනීමට අදිටන් කරගත් මලයාසියා රජය සිදු කළේ රටේ ඉහළ මට්ටමේ අමාත්‍යවරුන්, ව්‍යාපාරිකයන් සහ නිලධරයන් මාස දෙකක් පුරාවට ආර්ථිකය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකට සිර කිරීමය. රට මුහුණ දෙමින් සිටින ගැටලුව හඳුනාගනිමින් ඒ සඳහා සුදුසු විසඳුම් සෙවීමට සහ මූලෝපා සකස් කිරීමට ඔවුනට සිදුවිය. සියල්ල අවසානයේ ඉදිරියට යෑම සඳහා එකඟත්වය පළවූ මූලෝපායට මෙම පාර්ශ්ව ත්‍රිත්වයගේම අත්සන් ලබා ගැනීමට මලයාසියා රජය කටයුතු  කළේ ය. අග්‍රාමාත්‍යවරයාගේ මගපෙන්වීම යටතේ මෙම මූලෝපාය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවැරුනේ ඔහුගේ කාර්යාලයටය.

එදා සහ අද සැලකීමේ දී එම මූලෝපාය සාර්ථක වී තිබෙන බවට අපට තීරණය කළ හැකිය. 2016 වසරේ දී එරට ඒක පුද්ගල ජාතික ආදායම ඩොලර් 9600ක මට්ටමේ පැවැති අතර ධනවත් රටක් දක්වා ඉහළ මට්ටමකට පත්වීමට ඔවුන්ට අවශ්‍ය වන්නේ තවත් ඩොලර් 2600ක වැඩිවීමක් පමණකි. ඉදිරි කාලයේ රටේ ආර්ථික වර්ධන වේගය සියයට 4ක සාමාන්‍ය මට්ටමක පවත්වාගතහොත් 2025 වසර වන විට මෙම මට්ටම කරා යෑමට මලයාසියාවට හැකිවනු ඇත.

පණිවුඩය අවබෝධ කරගැනීමට අපොහොසත් වීම:

ජාලා මෙම මූලෝපාය විස්තර කර දුන් අවස්ථාවේ දී ජනපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම රවී කරුණානායක අමාත්‍යවරයා ද එතැන සිටියහ. එහෙත් අනතුරුව එළැඹි සිදුවීම්වලින් ජාලාගේ අදහස් දැක්වීමට එයට හිමිවිය යුතුව තිබූ නිසි ස්ථානය ලැබී නොමැති බව පැහැදිලි විය. ඉතාම අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් වන මූලෝපායික ආර්ථික සිතියම්ගත කිරීමක් සිදුකිරීමට සහ එය භාවිතයට ගැනීමට රජය අපොහොසත් විය.
ආර්ථික සමුළුවේ තේමාව පවා එයට සහභාගීව සිටි කිසිවෙක් බරපතළ ලෙස සැලකිල්ලට ගත් බවක් පෙනෙන්නට නොමැත. අවධානය – ක්‍රියාත්මක වීම – බෙදාහැරීම, එහි තේමාව විය. ඒ සඳහා මුලෝපාය වූයේ, ප්‍රශ්නවලින් – විසඳුම් දක්වා, හැකියාවෙන් – කාර්යසාධනය දක්වා සහ නැවත නැවත එකම දේ පැවැසීමෙන් – සැබෑවටම ක්‍රියාත්මක වීම දක්වා, සිදුකැරෙන වෙනසය.

අප රටේ මුල් පෙළ දේශපාලනඥයෝ මෙම සමුළුවෙන් කිසිදු දෙයක් නොගත්හ. ඒ වෙනුවට ඔවුන් විවිධ ගැටලු සම්බන්ධයෙන් අදහස් දැක්වීමට, චෝදනා නැගිය යුතු පාර්ශ්ව හඳුනා ගැනීමට සහ නැවත නැවතත් එකම දෙය පැවැසීමේ අවධානය යොමුකර තිබේ. වුවමනාව කැබිනට් අමාත්‍යවරයකු වීම වුව ද, ශ්‍රී ලංකාවේ මුල් පෙළ දේශපාලනඥයන් හට ඉගෙන ගැනීමේ නොහැකියාවක් පවතින බව පෙනෙන්නට ඇත. පසුගිය සතියේ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත්ව තිබූ විශ්වාසභංගය පාර්ලිමෙන්තුවේ දී විවාදයට ගත් අවස්ථාවේ ඔවුන් දැක්වූ අදහස්වලින් මේ බව වඩවඩාත් පැහැදිලි විය.

අමාත්‍යවරයකුගේ තත්ත්වයට පැමිණීමට සිංගප්පූරුවේ දේශපාලනඥයකු ගෙවිය යුතු දුෂ්කර සමය:

එක් පරම්පරාවක් ඇතුළත සංවර්ධිත ජාතියක් බවට පත්වීමට හැකි වූ සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව එකිනෙකාගෙන් වෙනස්වන අවස්ථාවක් වන්නේ මෙයයි. එරට කැබිනට් මණ්ඩලයේ ගුණාත්මකභාවය අති ඉහළය. 2006 වසරේ එරට පැවැති ඉහළ පෙළේ ආර්ථික සම්මන්ත්‍රණයකට සහභාගී වූ ලියුම්කරුට එම අත්දැකීම විඳ ගැනීමට අවස්ථාව ලැබිණ.
සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා වූයේ සිංගප්පූරුවේ අන්තර්ජාතික වෙළඳාම් අමාත්‍යවරයාය. සම්මන්ත්‍රණය ආරම්භයට විනාඩි 5කට පෙරම ඔහු එතැනට පැමිණි සිටි අතර, සිය කතාව අවසානයේ වේදිකාවෙන් බැසි ඔහු සම්මන්ත්‍රණයට සහභාගීව සිටියවුන් අතර හිඳ, විවිධ රටවල් සහ ක්ෂේත්‍ර නියෝජනය කරමින් පැමිණ සිටි අනෙක් කථිකයන්ගේ අදහස් දැක්වීම්වලට ඉතාම උනන්දුවෙන් සවන්දුන්නේ ය. මුළු සම්මන්ත්‍රණය පුරාවටම ඔහු සිටියේ එළෙසය.
සම්මන්ත්‍රණයට ප්‍රමාද වී පැමිණෙන, ඉක්මනින් ප්‍රධාන දේශනය සිදුකර ගණනින් ඉමහත් වන තම සපිරිවර හා පිටව යන ශ්‍රී ලංකා දේශපාලනඥයන් දැක පුරුදු ලියුම්කරුට මෙය අලුත්ම අත්දැකීමක් විය. එනිසාම ලැබුණු දිවා ආහාර විවේකයේ දී ලියුම්කරු මේ සම්බන්ධයෙන් සිංගප්පූරු අන්තර් ජාතික වෙළඳාම් පිළිබද අමාත්‍යවරයාගෙන් විමසුවේ ය.

ඬේලි එෆ්.ටී පුවත්පතේ පරිවර්ථනයකි.

 

About SirilakaNews

Check Also

images

ලෝක ඉතිහාසය නව මගකට! A new way for world history.

ජෙරුසලමෙන් හමුවී තිබෙන මැටි පුවරු කැබැල්ල අවුරුදු 2,700ක් පරණ බවත් එහි සඳහන්ව තිබෙන සටහන, බයිබලයේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *