Breaking News
Home / කලා / අග්‍රගන්‍ය සිනමාකරුවකු වූ අචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් දෑයින් සමුගනී! Prof. Lester James Peiris, a brilliant film-maker, passed away.

අග්‍රගන්‍ය සිනමාකරුවකු වූ අචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් දෑයින් සමුගනී! Prof. Lester James Peiris, a brilliant film-maker, passed away.

bcxgxhf

ලේඛකයකු ලෙස සිය ජීවන වෘත්තිය ආරම්භ කර ලොව අග්‍රගන්‍ය සිනමාකරුවකු වූ අචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා 99 වැනි වියේ දී දැයෙන් සමුගත්තේ ලොව සිටි වයෝවෘද්ධතම සිනමා වේදියා ලෙසිනි.

 චිත්‍රාගාරයකින් පරිබාහිරව මෙරට නිර්මාණය කරන ලද ප්‍රථම චිත්‍රපටය වූ “රේඛාව” සිනමා සිත්තම නිර්මාණය කරමින් ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ ලෙස්ටර් දේශීය සිනමාවේ බොහෝ සන්ධිස්ථාන සළකුණු  කළ මෙරට අද්විතීය සිනමා නිර්මාණකරුවාය. ඔහුගේ නාමය මෙරට අමරණීය වන්නේ එබැවිනි.

ඔහු සිහිපත් නොකර මෙරට සිනමාව ගැන කිසිදා කතා කරන්නට නොහැකි වන බව අවිවාදිතය.

දෙහිවල පදිංචි රෝමානු කතෝලික වෛද්‍යවරයකු වූ ජේම්ස් ෆ්‍රැන්සිස් පීරිස් මහතාට දාව ඈන් ගම්රූඩ් විනිෆ්‍රඩ් ජයසූරිය මහත්මියගේ කුසින් 1919 වර්ෂයේ අප්‍රේල් මස 05 වැනි දින මෙළොව එළිය දුටු පුංචි පුතුට දෙමාපියන් නම් තැබූවේ ලෙස්ටර් ජේම්ස් යනුවෙනි.

ඉංග්‍රීසි බස පමණක් කතා කරන නිවසේ ලෙස්ටර් හැදී වැඩුණේ එරිකා, අයිවන් සහ නොයෙල් යන සහෝදර සහෝදරියන් තිදෙනා ද සමගිනි. කතෝලික උත්සව සමරමින් එම සංස්කෘතිය අනුව ජීවත් වූ ලෙස්ටර්ගේ පවුලේ සිංහල සංස්කෘතිය සමඟ කටයුතු කළේ ඔහුගේ මිත්තණිය පමණි.

සිංහල භාෂාව කතා කිරීමේ හැකියාවෙන් යුතු වූ ඇය ඉංග්‍රීසි වෙදකම ප්‍රතික්ෂේප කරමින් සිංහල වෙදකම කෙරෙහි විශ්වාස තබා තිබීම ලෙස්ටර්ට දේශීය සංස්කෘතිය පිළිබඳ යම් දැනුමක් ලබා ගැනීමටත් සිංහල බස කතා කිරීමේ හැකියාව ලබා ගැනීමටත් මහෝපාකාරී විය.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ලෙස්ටර් ජේම්ස් පීරිස් ට ඔහුගේ පියාගෙන් අපූරු තෑග්ගක් ලැබී තිබිණි. ඒ මිලි මීටර් අටක කොඩැස්කෝ ප්‍රක්ෂේපණ යන්ත්‍රයකි. නිහඬ සිනමාව ජනප්‍රිය වී තිබූ එකළ චාලි චැප්ලින්ගේ චිත්‍රපට නැරඹීමට ඔහුත් ඔහුගේ සොහොයුරු අයිවන් පුරුදුව සිටියහ. මේ දෙදෙනා කොටස් වශයෙන් විකාශය වන ඉංග්‍රීසි චිත්‍රපට නැරඹීම  පුරුද්දක් කරගෙන සිටියහ.

ලෙස්ටර් සිය ජීවන වෘත්තිය ලෙස තෝරාගත්තේ ජනමාධ්‍යවේදයයි. 17 වැනි වියේ දී ඩේලි නිවුස් පුවත්පතේ අතිරේකයක් සංස්කරණය කිරීමට ඔහුට පැවරිණි. ඒ අතිරේකය තරුණ ලේඛකයන්ට මනා තෝතැන්නක් විය. ලෙස්ටර්ගේ අතිරේකයේ සිය පෑනේ සවිය පෙන්නූ ලේඛකයන් අතර මර්වින් ද සිල්වා, ඇල්ෆ්‍රඩ් ද සිල්වා, පර්සි විට්ටච්චි, ජේ.බී. ද අල්විස් හා හැරිසන් පීරිස් ද වූහ. 1939 දී ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතට එක් වූ ලෙස්ටර් ඉංග්‍රීසි ජාතිකයකු නොවන එහි පළමු සංස්කාරකවරයා වූ ඉන්දියානු ජාතික ෆ්‍රෑන්ක් මොරායස් යටතේ ලේඛන කාර්යයේ නිරත වූයේය. එය ඔහුගේ වෘත්තීය ජීවිතයේ වෙනස්කම්වලට හේතුවූවාට සැකයක් නැත. ගුවන්විදුලි සංස්ථාවේ ද කෙටි කාලයක් සේවය කළ ලෙස්ටර් නාට්‍ය අනු මණ්ඩල සාමාජිකයකු ලෙස ද කටයුතු කිරීමේ අවස්ථාව උදාකරගෙන තිබිණි.

සිය මවගේ ඉල්ලීම මත ලෙස්ටර් 1947 වර්ෂයේ දී එංගලන්තයට ගියේ කලා විෂයයන් හැදෑරීමේ ශිෂ්‍යත්වයක් ලබා ගනිමිනි. ඒ වනවිටත් ඔහුගේ සොහොයුරු අයිවන් එංගලන්තයේ සිටියේය. ලෙස්ටර්ගේ ලිවීමේ විශිෂ්ටත්වය හඳුනාගෙන සිටි මොරායස් ඔහු අතහරින්නේ නැත. එංගලන්තයට ගිය ලෙස්ටර්හට ටයිම්ස් ඔෆ්

සිලෝන් පුවත්පතේ ලන්ඩන් වාර්තාකරුවා ලෙස සේවය කරන්නට අවස්ථාව සැලසිණි. මොරායස්ගේ ආරාධනයෙන් එංගලන්තයේ කලාව පිළිබඳ ලිපි ලිවීමට ද ඔහුට ඉඩ ලැබිණි.

ලෙස්ටර් ජේම්ස් පීරිස් නමැති පත්තරකාරයා තුළ සැඟව සිටි සිනමාකරුවා එංගලන්තයේ දී අවදිවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ලන්ඩන් නුවර සිනමා සංගම් හා ආධුනික චිත්‍රපටකරුවන් බහුලය. එහි සිනමා නිර්මාණ ගැනත් වෙනත් කලා නිර්මාණයන් ගැනත් මෙරට පුවත්පතට ලිපි ලියමින් සිටි ලේඛකයා එරට දී හමුවූ හෙරිවර්ඩ් ජෑන්ස් නම් කැමරා ශිල්පියා සමග එක්ව “සොලිලොකියු” නමැති( “ඉබේ දෙඩුම” යන අර්ථය ඇති )විනාඩි 12ක් පමණ කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළේය. 1949 වර්ෂයේ දී මිලි මීටර 16 පටයක නිර්මාණය කළ මෙම කළු සුදු චිත්‍රපටය ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණයයි. 1950 දී එංගලන්තයේ ආධුනික හා පර්යේෂණාත්මක චිත්‍රපට නිර්මාණය කරන්නන් වෙනුවෙන් පැවැති සිනමා උළෙලක දී මෙම නිර්මාණය ඉහළම ප්‍රවීණතාව පළකරන චිත්‍රපටයට හිමි “මිනි සිනමා චැලේන්ජ් කප්” නමැති සම්මානයට ද යෝජනා වී තිබිණි.

 1950 දී ඔහු සිය දෙවැනි කෙටි චිත්‍රපටය Farewell to childhood (“ළමා වියට ආයුබෝවන්”) නිර්මාණය කළ අතර මෙය ලොව හොඳම ආධුනික චිත්‍රපටය ලෙස බ්‍රිතාන්‍යයේ දී සම්මානයට පාත්‍ර විය. එමෙන් ම “ඇමටර් සයින් වර්ල්ඩ්” නම් සඟරාව විසින් බ්‍රිතාන්‍යයේ නිර්මාණය කෙරුණු හොඳම කෙටි චිත්‍රපට 10න් එකක් ලෙස ද එම චිත්‍රපටය නම් කරන ලදී.

එංගලන්තයේ සිනමාකරුවකු බවට පත්වෙමින් සිටින ඉංග්‍රීසි උගත් මේ තරුණයා යළි 1952 දී සිය මව් රටට නොපැමිණෙන්නට ඔහු බ්‍රිතාන්‍ය සිනමාකරුවකු බවට පත්වන්නට ඉඩ තිබිණි. සිය රටට පැමිණි  ලෙස්ටර් රජයේ චිත්‍රපට අංශයේ සිටි කැමරාකරුවකු වූ විලී බ්ලේක් හා ටයිටස් තොටවත්තයන් සමග එක්ව වෘතාන්ත චිත්‍රපටයක් නිර්මාණය කිරීමට කටයුතු කළේය. ඒ වනවිට ශ්‍රී ලංකාවේ  සිනමා නිර්මාණ බිහිවෙමින් පැවතියද ඒවා හුදෙක් ඉන්දියානු සිනමාවේ පිටපත් බවට පත්ව තිබිණි. චිත්‍රපට පටිගත කරන ලද්දේ ද චිත්‍රගාර ඇතුළතය. එබැවින් එවැනි චිත්‍රපටවල ශ්‍රී ලාංකීය අනන්‍යතාවක් හෝ දේශීය සංස්කෘතික ලක්ෂණ දක්නට ලැබුණේම නැත.

ලෙස්ටර් චිත්‍රාගාරයෙන් බැහැර වී එළිමහනේ රූගත කරමින් “රේඛාව” නම් වෘතාත්නත චිත්‍රපටය 1956 දී නිර්මාණය කළේ දේශීය සිනමාවේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමිනි.

රේඛාව චිත්‍රපටය මෙරටට අවමානයකැයි කියමින් එවකට අධ්‍යාපන ඇමතිවරයා වූ විජයානන්ද දහනායක මහතා මේ චිත්‍රපටය තහනම් කළ යුතු බවට ද මතයක් ගෙන ගියේය. මේ චිත්‍රපටය එකළ ජනප්‍රිය නොවූවත් ඉන් සිංහල සිනමාවට දැඩි බලපෑමක් සිදුවූයේය. රේඛාව හෙළ සිනමාවේ රිදී රේඛාවක් වූයේය. එය 1949දී ඉතාලි චිත‍්‍රපට අධ්‍යක්‍ෂ විටෝරියෝ ඩි සිකා (Vittorio De Sica) ගේ ‘Bicycle Thief’’ලෝක සිනමාවට කළ බලපෑමට සමාන බලපෑමක් යැයි සිනමා විචාරකයෝ කියති.

‘The Making Rekava’ යන ශීර්ෂ පාඨයෙන් 1957දී ලෙස්ටර්  ‘Sight and Sound’ නම් වූ කීර්තිමත් බටහිර සිනමා සඟරාවට ලියූ ලිපිය ‘A new Chapter: Rekava’ යන මැයෙන් 1975දී සිලෝන් තියෙටර්ස් සමාගමේ 50වැනි සංවත්සර සමරු කලාපයේ පලවිය. එතුමා ලියූ එම ලිපියෙන් සිංහල සිනමාව තුළ ඔහු සිදුකළ විප්ලවය කුමක්ද යන්න පැහැදිලි වනු ඇත.

(ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සමකාලීනයෝ ද විශිෂ්ඨයෝය. ලෝක සිනමාව බිහිවී වසර 50ක් ගතවූ පසු එනම්, 1950 දශකය ආසියාවේ සිනමාව සම්බන්ධයෙන් වූ ජයග‍්‍රාහී දශකයක් විය. එනම්, ලෝක සිනමාව වෙත ආසියානු සිනමාව ගෙනයාමට සිනමාධරයන් තිදෙනෙක්ට මේ දශකය තුළ හැකිවීමයි.

 ජපානයේ අකිර කුරසෝවා සිය ‘රෂෝමොන්’ චිත‍්‍රපටයෙන්ද, ඉන්දියාවේ සත්‍යජිත් රායි පතෙර් පංචාලි 1955)  චිත‍්‍රපටයෙන්ද, ශ්‍රී ලංකාවේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘රේඛාව- (1956)  චිත‍්‍රපටයෙන්ද ලෝක සිනමාව කළඹවාලුහ.

රේඛාව වාණිජ වශයෙන් අසාර්ථක වූවානම්   මෙරට සැබෑ සිනමාවේ මෙන්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සිනමාවේ ද අවසානය වන්නට ඉඩ තිබිණ. ප්‍රංශ සිනමා විචාරකයකු වූ මාරියා ෂෙල් නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටිය දී රේඛාව චිත්‍රපටය නරඹා තිබිණි. එයින් වශීකෘත වූ ඇය අසීරුවෙන් මේ නිර්මාණ කරුවා සොයාගෙන හමුවූවා පමණක් නොව ප්‍රංශයට  ගොස් ඊළඟ  කෑන්ස්  සිනමා උලෙළටද රේඛාවට ඇරයුම් කළාය.  ඒ තරමට  ජාත්‍යන්තර අවධානය දිනා ගත්ත ද රේඛාව මෙරට වාණිජ වශයෙන් අසාර්ථක වීම හේතුවෙන් ලෙස්ටර් ඊළඟ වසර කිහිපයම චිත්‍රපටයක් සඳහා ආයෝජකයකු නැතිව ලතැවෙන්නට විය. එසේ සිටිය දී කේ.ගුණරත්නම් ආචාර්ය ලෙස්ටර්ට ආරාධනා කරනුයේ ඔහුගේ සිනමාස් සමාගමේ දස වැනි සංවත්සරය සඳහා චිත්‍රපටයක් නිර්මාණය කරන ලෙසය.

දකුණු ඉන්දියාවේ මුල්පෙළ සිනමාකරුවන් ලවා පමණක් චිත්‍රපට තැනූ ගුණරත්නම් ලෙස්ටර්ට සිනමා කෘතියක් ලබා දෙනුයේ රේඛාවට වසඟ වීමෙන් නොවේ. ඒ සඳහා ඔහු පොලඹවාලනුයේ ඉන්දියානු සිනමාවේ දැවැන්තයකු වන රාජ් කපූර් ය. රාජ් කපූර් චෙකොස්ලෝවැකියාවේ කාලොවිවාරි උලෙළේ දී රේඛාව දැක එයට වසඟ වී සිටියේය. “සංදේශය” චිත්‍රපටය නිර්මාණය වන්නේ ඒ ආකාරයෙනි.

ඊට පසුව නිර්මාණය කෙරුණු “ගම් පෙරළිය” පිළිබඳවද සම්මත සිනමා විචාරකයන් කිසිවක් නොකියා මුනිවත රකින්නට තරම් පෙළඹුණහ. කෙසේ වෙතත් මුල්ම සරසවිය සම්මාන උලෙළේ දී ගම්පෙරළිය හොඳම චිත්‍රපටය ලෙස අබිසෙස් ලබා එයට ඉහළ වටිනාකමක් දුන්නේය. ලාංකික මුල්ම කතානාද චිත්‍රපටය තිර ගතකර හරියටම වසර 18 ක් පිරුණු 1965 ජනවාරි 21 වැනි දින නවදිල්ලියේ දී එය හොඳම චිත්‍රපටය ලෙස රණ මයුර සම්මානය දිනා ගන්නේ එයින් පසුවය.

 මේ අග්‍රගන්‍ය සිනමාකරුවා 1966 දී “දෙළොවක් අතර” චිත්‍රපටය ද 1968 දී කරුණාසේන ජයලත්ගේ නවකතාවක් ඇසුරෙන් “ගොලු හදවත” ද 1970 වර්ෂයේදි   “නිධානය” ද 1983 දී “යුගාන්තය” ද ඇතුළු චිත්‍රපට 20ක් සිය දිවියේ දී අධ්‍යක්ෂණය කළේය. මේ සියලු වෘත්තාන්තයන් ඔස්‌සේ ඔහු මිනිස්‌ ජීවිතයේ විවිධාකාර අත්දැකීම් ඒ ඒ චිත්‍රපටයට උචිත ලෙස රසිකයාට දායාද කළේය. බාල බොළඳ චිත්‍රපටවලින් සෑහීමට පත්ව සිටි සිනමා ලෝලීන් ලෙස්‌ටර්ගේ චිත්‍රපට නරඹා සිය රසඥතාව වර්ධනය කර ගත්හ.

සිය ජීවිතයම ලෙස්ටර් කැප කර ඇත්තේ සිනමාව උදෙසාය.  ගාමිණී ෆොන්සේකා සහ තිස්‌ස අබේසේකර සිනමාවට ගෙන එන්නේ ඔහුය. ආචාර්ය ධර්මසේන පතිරාජධර්මසිරි බණ්‌ඩාරනායකප්‍රසන්න විතානගේ අශෝක හඳගමජයන්ත චන්ද්‍රසිරිවිමුක්‌ති ජයසුන්දරසෝමරත්න දිසානයක ආදීන් එකී පරම්පරාගත නාමය උරුමකොට ගත්තේ ලෙස්‌ටර්ගේ සිනමා පීතෘත්වය යටතේය. ඔහු හැමවිටම ඊළඟ පරම්පරාව කෙරෙහි අප්‍රමාණ උනන්දුවක්‌ දැක්‌වූවේය. තරුණ පරම්පරාවේ රැඩිකල් සිනමා කෘති විවිධ තහංචිවලට ගොදුරු වෙද්දී ඒ වෙනුවෙන් පෙනී සිටියේය.

බොහෝ සිනමාකරුවන් එකම තේමාවක් යටතේ සිනමා නිර්මාණ බිහිකරද්දී ලෙස්ටර් ඊට වඩා වෙනස් අයුරින් සිතන්නට විය. චිත‍්‍රාගාරයට කොටුව පැවැති සිනමා කැමරාව එළිමහනට ගෙනගිය අයුරින්ම ලාංකේය සිනමාව ලෝකයා අතරට ගෙනයන ප‍්‍රථමයා ලෙස ලෙස්ටර් ඉතිහාසගත වන අතර ගැමි ජීවිතයේ

වූ අව්‍යාජත්වය ග‍්‍රහණය කරගනිමින් ‘ගම්පෙරළිය’,’ අක්කර පහ’ සහ‘බැද්දේගම’ සිනමා නිර්මාණ බිහිකරන ඔහු ගැමි ජීවිතය සිනමා නිර්මාණ තුළ මැනවින් චිත‍්‍රණය කළේය.

ඔහුගේ අසහය නිර්මාණ භාවිතය අගයනු වස් ප‍්‍රංශ රජය විසින් ‘Comander of Arts and Lester’ සම්මානයෙන් ද ‘කෑන්ස්’ චිත‍්‍රපට උළෙලේදී ‘ෆ්‍රෙඞ්රිකෝ පෙලිනි’ ගෞරව සම්මානයෙන් සහ ඉන්දීය රජය විසින් පිරිනමන ‘යාවජීව කර්තව්‍ය’ ගෞරව සම්මානයෙන් ද පිදුම් ලැබීය. 1966දී මෙක්සිකෝවේ ‘අකපුල්කෝ’ ලෝක චිත‍්‍රපට උළෙලේදී ‘Golden Head of Perlank’ සම්මානයෙන් ද, 1978දී තුන්වෙනි කයිරෝ අන්තර්ජාතික උළෙලේදී හොඳම චිත‍්‍රපටය සඳහා පිරිනැමෙන  ‘අක්නටොන්’ සම්මානයෙන් ද ලෙස්ටර් පිදුම් ලැබීය.

1964 වර්ෂයේ දී සුමිත්‍රා ගුණවර්ධන සමග ලෙස්ටර් විවාහ වූයේය. ඇය ද එවකට දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක වූවාය. “ගැහැනු ළමයි”, “ගඟ අද්දර”, ඇතුළු චිත්‍රපට නවයක් අධ්‍යක්ෂණය කළ ඇය චිත්‍රපට හයක් සංස්කරණය කර ඇත.

රේඛාව, ගැහැනු ළමයි හා මායා චිත්‍ර පට තුන නිෂ්පාදනය කරන ලද්දේ ලෙස්ටර් විසිනි. රේඛාව චිත්‍රපටයේ ද සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා චිත්‍රපටයේ ද තිර රචකයා වූ ලෙස්ටර් නිධානය චිත්‍රපටය සංස්කරණය ද කළේය.

හෙල සිනමාව වෙනුවෙන් විප්ලවීය සේවාවක් කරන ලද ඔහුට පේරාදෙණිය හා කැලණිය විශ්වවිද්‍යාලයන් ද්විත්වයෙන් ම ආචාර්ය උපාධි පිරිනමා ඇත. සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් කරන ලද මෙහෙවර වෙනුවෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් කලාකරුවාණන් හිමිකරගත් සිනමා සම්මාන සංඛ්‍යාව අති විශාලය. මෙරට පැවැති සම්මාන උළෙලවලදී වැඩිම සම්මානයන්ට පාත‍්‍ර වූ අධ්‍යක්‍ෂවරයා ලෙස ද හැඳින්විය හැකි ලෙස්ටර්, අප රටින් පිරිනමන ඉහළම සම්මානය වන ‘ශී‍්‍ර ලංකාභිමාන’ සම්මානයට ද හිමිකම් කීවේය.

2002 අප්‍රේල් 05 වැනි දින ඔහු වෙනුවෙන් සමරු මුද්දරයක් ද නිකුත් කෙරිණි.

වර්ෂ 2007 දී “අම්මාවරුනේ” චිත්‍රපටය නිර්මාණය කළ ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් මේ අග්‍රගන්‍ය කලා කරුවා එය තම අවසන් සිනමා නිර්මාණය බව ප්‍රකාශ කරමින් සිනමා ක්ෂේත්‍රයෙන් විශ්‍රාම ලැබුවේය.

ලෙස්ටර් ජේම්ස් පීරිස් ලැබූ සම්මාන

· 1981 – බැද්දේගම – ප‍්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය

· 1981 – බැද්දේගම – ලන්ඩන් සිනමා උළෙල නියෝජනය

· 1982 – කලියුගය -ප‍්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය

· යුගාන්තය – ජනාධිපති සම්මානය – හොදම අධ්‍යක්‍ෂණය

· 1985 – යුගාන්තය – මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය

· පිං හාමි – මොස්කව් ළමා චිත‍්‍රපට උළෙල නියෝජනය හා ප‍්‍රථම ත්‍යාගය ලබා ගැනීම.

· 1997 ජනාධිපති සම්මාන උළලේ ‘ගෝල්ඩන් ලයන්’ (ස්වර්ණ සිංහ සම්මානය)

· 2000 ‘දිල්ලි’ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය- මයුර සම්මානය

· 2001 ‘ස්වර්ණ පද්ම’ සම්මානය- ආසියානු සිනමාව සඳහා දැක් වූ දායකත්වය සඳහා

· 2002 ආසියානු සිනමා සංස්කෘතිය පිළිබ`ද වූ සම්මානය

ලෙස්ටර්ගේ චිත්‍රපට

1956 රේඛාව

1960 සංදේශය

1964 ගම්පෙරළිය

1966 දොලොවක් අතර

1967 රන්සළු

1968 ගොළු හදවත

1969 අක්කර පහ

1970 නිධානය

1972 දෑස නිසා

1975 ද ගෝඩ් කිං ඉංග්‍රීසි චිත්‍රපටය

1976 මඩොල් දූව

1978 අහසින් පොළවට

1979 පිං හාමි විස්තරාත්මක චිත්‍රපටය

1979 වීර පුරන් අප්පු

1980 බැද්දේගම

1982 කලියුගය

1983 යුගාන්තය

1995 අවරගිර

2003 වෑකන්ද වලව්ව

2006 අම්මාවරුනේ

About SirilakaNews

Check Also

ras-4-1

කාන්තා විමුක්තියේ නව විග්‍රාහය හින්දි සිනමාවේ රාසි New Scream of Women’s Liberation Rachy in Hindi Cinema

බොලිවුඩය උඩුයටිකුරු කරමින් කාන්තාව කේන්ද්‍ර කර ගත්, කාන්තාවන් අධ්‍යක්ෂණය කරන සිනමා පට අන් කවර කාලයකටත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *