Breaking News
Home / නිදහස් පන්හිද / ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මහනුවරින් නික්ම ගියේය Sri Vikrama Rajasinghe left Kandy

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මහනුවරින් නික්ම ගියේය Sri Vikrama Rajasinghe left Kandy

220px-Sri_Vikrama_Rajasinha

ශ්‍රී වික්‍රම රාජසිංහ සිංහලේ අවසන් රජුවූ අතර එතුමා පිළිබඳව වූ ඉතිහාස ලකුණ බෙහෙවින් අඳුරු එකකි. ශ්‍රී වික්‍රම වයස 18 රාජ්‍යත්වයට පත්වී 1798-1815 වසර 17ක් රජකම් කර ඇත. වයස 35ක තරුණයකු වශයෙන් සිටියදී බි්‍රතාන්‍යයන් විසින් රජකමින් නෙරපන මෙම තරුණයා රටින්ද පිටුවහල් කරනුයේ තමා රජකම් කළ රටේ රට වැස්සන්ගෙන් හෝ කිසිදු කෘතවේදීත්වය නොලබමිනි.

කලකට ඉහත දිනෙක මම රාජසිංහ රජු ඇතුළු රජ පවුලේ අය ඉංග්‍රීසි සෙබළුන් විසින් අත්අඩංගුවට ගත් මැද මහනුවර බෝමුරේ උඩුපිටියේ ආරච්චිගේ නිවෙස තිබූ ස්ථානයට ගියෙමි. මැද මහනුවරින් ඔබ්බෙහි කිලෝමීටරයක තරම් ප්‍රපාතයකින් බැස උඩපිටියට යායුතු විය. එය ඉතා දුෂ්කර ගමනකි. පියගැට දහසක් පමණ ප්‍රපාතයක් බැස යායුතු නිම්නයක නිවෙස පිහිටා තිබේ. තනිවම එහි ගොස් පැයක් පමණ කඳු වළල්ලෙන් වටවූ පාළු ඉඩමේ හුදෙකලාව සිටින විට නිතැනින්ම කල්පනා වූයේ මේ තරුණ නායක්කර් වංශික රජුට ඉතිහාසය විසින් වරදක් කර ඇති බවය.

කොළඹ ජාතික කෞතුකාගාරයේ සිංහාසන මැදිරියේ ප්‍රදර්ශනයට තබා තිබෙන වෙන්කත රංගම්මාල් බිසවගේ ලේ තැවැරුණු සැට්ටය මට සිහි විය. එය කෞතුකාගාරයට ප්‍රදානය කර තිබුණේ රත්නපුර ඇහැලියගොඩ කරඳන සිරිසේන නම් විදුහල්පතිවරයකු විසිනි. ඔහුට එය ලැබී ඇත්තේ 1815 පෙබරවාරි මාසයේ රජු ඉංග්‍රීසීන්ට අල්ලා දීම පිණිස මඟ පෙන්වූ එක්නැලිගොඩ නිලමේගේ කණ්ඩායමේ කිරිපෝරුව මොහොට්ටාලගේ පාරම්පරික නිවෙසේ පැරැණි පෙට්ටගමක තිබියදීය. එය කරඳන පාසලේ විදුහල්පති මහතාට ලැබෙන්නේ 1934 වසරේදීය. රජුගේ ඇඳුම් ආයිත්තම් මෙන්ම රාජකීය බඳ පටියද මොහොට්ටාලගේ රෙදි පොට්ටනියක තිබී ජාතියට හිමි විය.

රජු අත්අඩංගුවට පත් අවස්ථාවේ එහි සිටි රත්නපුරේ මිනිසුන් පහරදී බිසවුන්ට තුවාල කළ බවද කන්පෙති ඉරා කුණ්ඩලාභරණ පැහැර ගත් බවද භාෂා පරිවර්තක දියෙස් විසින් සටහන් තබා තිබේ. රාජධානිය පැහැරගත් සුද්දෝ රජතුමා රටින්ද නෙරපා දැමුවේය. ඉන්දියාවේ වෙල්ලෝරයේදී ශ්‍රී වික්‍රම මියයන විට ඔහුගේ වයස 52කි. සිංහලේ අවසන් රජු කුදලාගෙන ගොස් දුරු රටක මියෙන්නට සැලැස්වීම ගැන මෙරට මිනිසුන් කම්පා වූයේ නැත. එදින මා උඩුපිටිය ආරච්චිගේ නිවෙස තිබූ ඉඩමේ සිට දහසක් පියගැට නැඟ මැද මහනුවර පාරට පැමිණියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ජීවන චරිතය හා පාලන සමය පිළිබඳ ඉතිහාස කතාව ප්‍රත්‍යාලෝකනයේ යෙදිය යුතුය යන අධිෂ්ඨානය පෙරදැරිවය.

ඉකුත් දිනෙක මම මහනුවරට ගියෙමි. එදින සන්ධ්‍යාවේ මම වැව රවුම කෙළවරේ පාර දෙකට බෙදෙන තැන වලාකුළු බැම්ම අසල සිමෙන්ති බංකුවක වාඩිගෙන සිටියෙමි. වලාකුළු බැම්ම නියමිත උසකින් සුදෝ සුදු රැලි නඟා ඇස පෙනෙන තෙක් මානයේ විහිදේ. එය කරවූයේ ශ්‍රී වික්‍රම රජුය. නුවර වැවේ නිසල ජල තලය පිස සිසිල් මඳ නල සැලෙයි. වැව කරවූයේද රජු විසිනි. ජල තලයේ ශ්‍රී දළදා මාලිගයේ පත්තිරිප්පුවේ ප්‍රතිබිම්භය වැටී තිබේ. පත්තිරිප්පුව කරවන ලද්දේද රජු විසිනි. මඟුල් මඩුව මෙන්ම රජ මාලිගයද වැව් ජලය සීමාවේ උල්පැන් ගෙයද රජුගේ නිර්මාණයෝය. මහනුවර අසිරිමත් පුරවරයේ නාගරික සැලැසුමේ නිර්මාණකරුවා මේ තරුණ රජු මිස අන්කවරෙක්ද? සියලු මාවත් වැටී තිබෙන්නේ දේවේන්ද්‍ර මූලාචාරී නම් ඉන්ජිනේරුවා ලවා රජු ඇන්ද වූ රේඛාවන් ඔස්සේය. මුළු සෙංකඩගල පුරවරයම ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ විශ්වකර්ම නිර්මාණයකි. නුවර වැස්සන් පමණක් නොව මේ අසිරිමත් නගරය නිර්මාණය කළාට ජාතියම ශ්‍රී වික්‍රම රාජසිංහයන්ට ණය ගැතිය.

එය එසේ විය යුතුව තිබියදී නුවර වැස්සෝ,

‘අපි වඩුග රජාගෙන් මිදුණෙමු’ යැයි ජය ඝෝෂා නැඟුවේ ඇයි?. එදා මල්වතු අස්ගිරි මහ විහාරවාසී නායක භික්‍ෂුන් වහන්සේ ආක්‍රමණිකයා වූ රොබට් බ්‍රවුන්රිග්ට ආශීර්වාද කොට පිරිත් නූල් ගැට ගැසුවේ ඇයි?. දළදාව මාලිගයටත් මහ විහාර දෙකේ මහා සංඝයාටත් නිති දන් පිළිගැන්වූ රජුගෙන් මිදීම යෙහෙකැයි දෙවා වදාරන්නට භික්‍ෂුන් වහන්සේ යොමු වන්නට හේතු වූ කරුණු මොනවාද? සත්තකින්ම එය යළි විභාග කළයුතු අත්හළ නොහැකි විෂයයකි.

අන්තර්ජාලයේ පලවු ලිපියක අනුවාදයකි.

About SirilakaNews

Check Also

502944-iStock-492597439

මනෝවිද්‍යාත්මක ප්‍රේහෙළිකා සහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ දේව ආත්මය Psychological puzzles and the spirit of the President Premadasa

දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ප්‍රබල දේවාත්මයකට පත්ව ඇති බව   මනාව තහවුරු කරගැනීමට තමන්ට අවකාශ ලැබී ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *