Breaking News
Home / පුවත් / ශ්‍රී ලංකාව ඖෂධ මාෆියාව අසුවු රටක්ද? Sri Lanka is a country affected by a medicine mafia?

ශ්‍රී ලංකාව ඖෂධ මාෆියාව අසුවු රටක්ද? Sri Lanka is a country affected by a medicine mafia?

medicines-l

ලොව ලාභදායීම ව්‍යාපාරය වන්නේ ආයුධ වෙළෙඳාමය. ඊට සමකළ හැකි හෝ ඊට  පමණක් දවෛනි වන ඊළඟ ලාභදායීම ව්‍යාපාරය බවට පත්ව ඇත්තේ, ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය යි. ලොව පුරා රෝගීන් වැඩිවන තරමටම ඖෂධ වෙළෙඳාම් කරන්නන්ට වාසිය. ඖෂධ වෙළෙඳාම අද කවුරුත් කතා කරන මාෆියාවක් බවට පත්ව ඇත්තේ ද මේ වාසිය නිසාය.

සිය ව්‍යාපාරය රැක ගැන්මට මේ මාෆියාකරුවන්ට කළ නොහැක්කක් නොමැති තරම් ය. ලොව පුරා ක්‍රියාත්මක වන මේ ජාවාරමට එරෙහිව ලොව බොහෝ රටවල් විවිධ නීති, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට ඇතත්, අදටත් විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහොමයක් මේ ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්ව ඇත්තේය.

ශ්‍රී ලංකාව ද දැන් වසර ගණනාවක සිට මේ ඖෂධ ජාවාරමේ ගොදුරකි. මව්කුස තුළ සිටින නූපන් දරුවාගේ පටන්, තවත් එක් විනාඩියක් පමණක් හෝ ජීවත් වන්නට බෙහෙත් උගුරක් බොන රෝගීයා ද මේ ජාවාරම්කරුවාගේ සූරාකෑමට ලක්වූවෝය.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ව අපේ රටට අවැසි ඖෂධ අපේ රටේම නිපදවන්නට අත්‍පොත් තබන්නේ මේ මාෆියාවට වැට බැඳීමේ අරමුණ ද ඇතිව ය.

අපේ රටේ සෞඛ්‍ය අවශ්‍යතාව වෙනුවෙන් වසරකට ඖෂධ වර්ග පමණක් එක්දහස් පන්සියයකට අධික සංඛ්‍යාවක් මිලදී ගන්නට සිදුවේ. එලෙස රටට අවැසි ඖෂධ පිටරටින් ගෙන්වීම සඳහා රජය වැය කරන මුදල රුපියල් බිලියන හැත්තෑවකට අධිකය.

කෝටි දෙකක ජනගහනයක් වෙනුවෙන් රුපියල් බිලියන හැත්තෑවකට අධික ප්‍රමාණයක් ඖෂධ වෙනුවෙන් වැය කරද්දී, ඉන් ලාභ ලබන්නට බහුජාතික ඖෂධ වෙළෙන්ඳන් අතර ඇත්තේ නොනවතින අරගලයකි.

ජාත්‍යන්තර ඖෂධ නිෂ්පාදන ලංකාවට ගෙන්වා බෙදා හැරීමේ දී ඇතැම් ඖෂධ වර්ගවලින් සියයට දහයත්, හතළිහත් අතර ප්‍රමාණයකින් ලාභ උපයන බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වෛද්‍ය සයුරු සමරසුන්දර පවසන්නේය.

වෛද්‍යවරයා පෙන්වා දෙන පරිදි, ඇතැම් ඖෂධ වර්ග මෙරටට ලබා දීම සඳහා ඖෂධ සමාගම් කිහිපයක්ම ලියාපදිංචි වී ඇත්තේ ය. එලෙස වැඩි සමාගම් සංඛ්‍යාවක් එකම බෙහෙත සඳහා ටෙන්ඩර නිකුත් කිරීමේ දී ලංකාව ඉන් මිලදී ගන්නේ අඩුම මිලට ඇති ටෙන්ඩරයට අනුවය.

එහෙත් එලෙස තරගකාරීත්වය දිනන්නට අඩු මිලකට ලබා දෙන ඇතැම් ඖෂධවල ප්‍රමිතිය ගැන සියයට සියයක් විශ්වාස තැබිය හැකි දැයි යන ගැටලුව මතුවේ. උදාහරණයක් ලෙස ගතහොත් දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් සඳහා භාවිත කරන ඇතැම් ඖෂධ ඉන්දියානු සමාගමකින් මෙරටට ගෙන්වන්නේ ඉතාම අඩු මිලකටය.

එහෙත් වෛද්‍ය සමරසුන්දර පෙන්වා දෙන්නේ, එම ඖෂධයේ නිෂ්පාදන පිරිවැය පවා ඊට වඩා හුඟක් වැඩි බවය. “ඒ වගේ ඖෂධයක අන්තර්ගත මූලද්‍රව්‍යවල මිලටත් වඩා අඩු මුදලකට එම ඖෂධය ලබා දෙනවා නම්, අනිවාර්යයෙන්ම ඒ ඖෂධයේ ප්‍රමිතිය ගැන ගැටලුවක් තියෙන්නම ඕන.”

එය ඖෂධ මාෆියාවේ එක් පැත්තකි. එහි අනෙක් පැත්ත වන්නේ, ඇතැම් ඖෂධ අපේ රටට ගෙන්වන්නේ එකම නිෂ්පාදන සමාගමකින් පමණි.

එවිට ඖෂධයේ සැබෑ මිල කුමක් වුවත්, සමාගම පනවන මිල ගණන්වලට මිලදී ගන්නට ගැණුම්කරුවාට සිදුවේ. එවැනි අවස්ථාවක ඇතැම් විට රුපියල් දහයක් වන බෙහෙතක් රුපියල් සියයකට විකුණනවා වන්නට ද පුළුවන. වෛද්‍ය සයුරු සමරසුන්දර පෙන්වා දුන් පරිදි, සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ සඳහා පාලන මිලක් ගෙන එන්නේද මේ තත්ත්වය යම් තරමක් හෝ පාලනය කිරීම සඳහාය.

උදාහරණයක් ගෙන පවසන්නේ නම්, මෙරට විකිණෙන එක් ඖෂධ වර්ගයක් මීට පෙර විකුණන ලද්දේ, එකක් රුපියල් 3.20 ක් වැනි මිලකට ය. පාලන මිල ගෙන ඒමත් සමග එහි මිල එකක් රුපියල් 1.30 දක්වා අඩු විය. ඒ ඖෂධ වර්ගය අපේ රටට වසරකට පෙති මිලියන අටසියයකට ආසන්න සංඛ්‍යාවක් අවැසි වේ.  ඒ අනුව බලන කල, පාලන මිල ගෙන ඒමට කලියෙන්, අදාළ ඖෂධ සමාගම එම ඖෂධ වර්ගයෙන් පමණක් වසරකට රුපියල් බිලියන 1.6ක පමණ ලාභයක් ලබා ඇත්තේය.

අපේ රටට අවැසි බෙහෙත් අපේ රටේ ම නිපදවීම ඇරඹෙන්නේ එවන් වටපිටාවක් තුළ දී ය. ඒ සඳහා මේ වන විට පෞද්ගලික අංශයේ ඖෂධ නිෂ්පාදන සමාගම් විසිඅටක් සහ තවත් පෞද්ගලික ව්‍යාපාරිකයන් දසදෙනෙක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම සමග එකඟතා ගිවිසුමකට එළැඹ ඇත්තේය.

ඒ අනුව මේ වන විට රටට අවශ්‍ය ඖෂධ වර්ගවලින් වර්ග පනස් අටක් පමණ මෙරට දීම නිපදවන්නට පටන් ගෙන ඇත්තේ ය.

වෛද්‍ය සමරසුන්දර පෙන්වා දෙන්නේ, අපේ රටට අවශ්‍ය ඇතැම් ඖෂධ වර්ග සියයට සියයක් නිෂ්පාදනය කිරීමට අපට හැකියාව ඇති බවය. විශේෂයෙන්ම දියවැඩියාව, කොලෙස්ට්රෝල්, වැනි රෝග සඳහා නිතර ලබා දෙන බෙහෙත් වර්ග මෙන් ම ප්‍රතිජීවක ඖෂධ වර්ග එලෙස අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණය ම අපේ රටේ නිපදවා ගන්නට හැකියාව ඇත. එමෙන් ම අපේ දේශගුණයට ගැළපෙන පරිදි, සමේ ආ‍ලේපනය කරන විවිධ ක්‍රීම් වර්ග මෙන් ම විවිධ සිරප් වර්ග ද අපේ රටේම නිපදවීමට මේ වනවිටත් කටයුතු යොදමින් පවතී.

“ඊට අමතරව පිළිකා නාශක ඖෂධ වර්ග මෙරටදීම නිෂ්පාදනය කිරීමට අලුතෙන් කර්මාන්ත ශාලාවක් කළුතර දිස්ත්‍රික්කය මුල් කරගනිමින් ඉදිකරමින් පවතිනවා. එහි කටයුතු ලබන වසරේ අවසන් කරගන්න හැකියාව ලැබේවි.” වෛද්‍යවරයා පෙන්වා දෙන්නේය.

දැනට අපේ රටේ එලෙස ඖෂධ නිෂ්පාදනය කළ හැකි නිෂ්පාදනාගාර තුනක් ස්ථාපිත කර, ඒවායින් ඖෂධ සැපයීමේ කටයුතු ආරම්භ කර ඇත්තේ ය. ඉන් නිෂ්පාදනාගාර දෙකක් හොරණ පිහිටා ඇති අතර අනෙක මහනුවර ප්‍රදේශයේ ස්ථාපිත කර තිබේ. හොරණ පිහිටා තිබෙන එක් නිෂ්පාදනාගාරයකින් නිෂ්පාදනය කෙරෙන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රතිජීවක ඖෂධ වර්ගයන් ය.

දැනට ප්‍රතිජීවක ඖෂධවල හොඳම ප්‍රමිතිය හිමි කර ගෙන ඇත්තේ, යුරෝපයයි. වෛද්‍ය සමරසුන්දර පෙන්වා දෙන්නේ, හොරණ ප්‍රතිජීවක  ඖෂධ නිෂ්පාදනාගාරයේ ද, යුරෝපීය තත්ත්වයානුකූලවම  ඖෂධ නිෂ්පාදනය වන බවයි.

එමෙන්ම අපේ රටට ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය වන්නේ, එහි නිෂ්පාදන ධාරිතාවෙන් තුනෙන් එකක් පමණි. එමනිසා ඉතිරි තුනෙන් දෙකක ප්‍රමාණය යුරෝපයට අපනයනය කිරීමට ද අවස්ථාව උදා වී ඇත්තේ ය.

මහනුවර ප්‍රදේශයේ පිහිටි ඖෂධ නිෂ්පාදනාගාරයෙන් ද විවිධ වෛරස් රෝගවලට අදාළ  ඖෂධ, කොලෙස්ට්රෝල් වැනි රෝගවලට අවැසි  ඖෂධ, මෙන්ම කුඩා දරුවන්ට අත්‍යවශ්‍ය  ඖෂධ ආදී වශයෙන්  ඖෂධ වර්ග පහළොවක් පමණ නිෂ්පාදනය වේ.

“මීට පෙර වසරකට මෙරටට ගෙන්වූ මිලියන හාරසියයකට අධික ඖෂධ ප්‍රමාණයක් දැන් මේ ඖෂධ නිෂ්පාදනාගාරය තුළ නිෂ්පාදනය වෙනවා.”  වෛද්‍ය සයුරු සමරසුන්දර පවසන්නේය.

හොරණ පිහිටි අනෙක් නිෂ්පාදනාගාරයෙන් නිපදවෙන්නේ, සාමාන්‍යයෙන් එදිනෙදා අවශ්‍ය වන ඖෂධ වර්ගයන්ය. එවැනි ඖෂධ වර්ග දහහතරක් පමණ මෙම නිෂ්පාදනාගාරය තුළ නිපදවේ. වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ, ඉදිරි මාස දෙකක් පමණ ගතවෙද්දී අදාළ ඖෂධ රෝහල්වලට ලබා දෙන්නට හැකියාව ලැබෙනු ඇති බවයි. ඊට අමතරව හෘද  රෝග සඳහා අවශ්‍ය ඖෂධ වර්ගවලින් ද ඖෂධ වර්ග හතක් පමණ දැනටමත් අපේ රටේ නිෂ්පාදනය වෙමින් පවතී,

එහෙත් මේ දේවල් මෙලෙසින් ක්‍රියාත්මක කරන්නට මාෆියාකරුවන්ගෙන් ඉඩක් ඇත්දැයි, අපි වෛද්‍ය සමරසුන්දරගෙන් විමසුවෙමු. “මේ ඖෂධ නිෂ්පාදනවලින් ඔවුන් දෙතුන් ගුණයක් ලාභ ලබන බව ඉහතදිත් පෙන්වා දුන්නා. ඉතින් මේ සමාගම් අපි අපේ බෙහෙත් ටික අපේ රටේ නිෂ්පාදනය කරගන්නවාට කොහෙත්ම කැමැති වෙන්නේ නැහැ. ඒ නිසා මේ කටයුත්ත පටන් ගත්ත දවසේ ඉඳන් ඒකට එල්ල වෙන බලපෑමත් විශාලයි.” ඔහු පවසන්නේ ය.

ඔහු පවසන පරිදි, මේ කටයුත්ත නවතන්නට මාෆියාකරුවන් අනුගමනය කරන එක් ක්‍රමවේදයක් වන්නේ, ඖෂධ ලංකාවේ ම නිෂ්පාදනය කරන්නට යෑමෙන් ඒ සඳහා ඉතා වැඩි පිරිවැයක් දරන්නට සිදුවන බව පෙන්වා දීමය.

එවිට අදාළ ඖෂධය වැඩි මිලකට පාරිභෝගිකයාට දෙන්නට සිදුවනු ඇති බවත්, එමනිසා අදාළ ඖෂධ පිටරටින් ගෙන්වීම වඩා ලාභදායී බවත්, අවධාරණය කරන්නට ඔවුහු වලිකති. එහි ප්‍රමිතිය පිළිබඳව ද විවිධ චෝදනා එල්ල කරති.

එහෙත් වෛද්‍ය සමරසුන්දර පෙන්වා දෙන්නේ, මේ සමඟම රටට අවශ්‍ය ඖෂධ පමණක් නොව, ඊට අදාළ උසස් තාක්ෂණයත්, රැකියා විශාල ප්‍රමාණයකුත් බිහිවන බවය. එමෙන්ම විශාල විදේශ විනිමය පිරිවැයක් ද මේත් සමගම ඉතිරි කර ගැනීමට හැකියාව ලැබේ.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම සැලසුම් කර ඇති පරිදි තවත් එවැනි නිෂ්පාදනාගාර හතරක් මේ වසර අවසානයේ දී මෙරට ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇත. ඊට අමතරව මෙරටට ආනයනය කරන ඖෂධ වර්ග මෙන්ම මෙරට නිෂ්පාදනය කෙරෙන ඖෂධ වර්ගවල ද ප්‍රමිතිය  පරීක්ෂා කිරීමේ රසායනාගාර පහසුකම් ඇති කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ ය. වෛද්‍ය සයුරු සමරසුන්දර පෙන්වා දෙන්නේ මේ වසරේ අග වන විට එම රසායනාගාර පහසුකම් ද ලැබෙනු ඇති බවයි.

මූලාශ්‍ර අන්තර්ජාලයෙනි

About SirilakaNews

Check Also

Untitled-1nmbcvj

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් සරත් ෆොන්සේකාගෙන් ප්‍රශ්නකිරිමට මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකරයි! Magistrate orders interrogation of Sarath Fonseka over assault on journalist Keith Noyear

ද නේෂන් පුවත්පතේ හිටපු උප කතෘ කීත් නොයාර් මහතා පැහැරගෙන අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් විමර්ශනය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *