Breaking News
Home / නිදහස් පන්හිද / බුද්ධ ධර්මය සොයා චීනයේ සිට මෙරටට පැමිණි භික්‍ෂුව. A monk who came to Sri Lanka to find Buddha Dhamma

බුද්ධ ධර්මය සොයා චීනයේ සිට මෙරටට පැමිණි භික්‍ෂුව. A monk who came to Sri Lanka to find Buddha Dhamma

 Doit-Viaggi-Sri-Lanka-Polonnaruwa-01

B1-White-Horse-Temple-Luoyang-Henan-Province-China-2008-c-Vincent-Ross

ෆාහියන් බුද්ධ ධර්මය සොයා චීනයේ සිට මෙරටට පැමිණි භික්‍ෂුවකි. මෙරටට පැමිණි දේශාටකයන් අතර ෆාහියන්ට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි. ෆාහියන්ගේ මතක සටහන් ඉතිහාසය හදාරන තැනැත්තන්ගේ සිත් ගත්තේය.

ඔහු උත්තම පුරුෂයෙන් තැබූ සටහන් රසවත් සාහිත්‍යමය තොරතුරුවලින් ද නිරීක්‍ෂණයෙන්ද බොහෝ සේ පොහොසත් වූයේය. එබැවින් ෆාහියන්ගේ වාර්තා විශ්වසනීය වූ අතර ලොව පුරා බොහෝ භාෂාවන්ටද පරිවර්තනය විය.

ෆාහියන්ගේ චාරිකාව සිදුවූයේ ක්‍රි.ව. 399 සහ 414 අතරය. උන්වහන්සේ ලංකාවේ වාසය කළ කාලය අවුරුදු 2කි. ශිෂ්‍යයෙක් හා තියුණු නිරීක්‍ෂකයෙක් වූ ෆාහියන් බොහෝ භාෂා දැන සිටියේය.

ළමා කාලයේදීම පැවිදි වූ ඔහු බෞද්ධ දර්ශනය හැදෑරීමේදී චීනය බෞද්ධ ආගමික ග්‍රන්ථවලින් පොහොසත් නොවන රටක් බව වටහා ගත්තේය. උන්වහන්සේ ථෙරවාදී බුදු දහම සොයා ගමන් ආරම්භ කළේය.

ෆාහියන් භික්‍ෂුවගේ චාරිකාවේ විශේෂය වන්නේ ඔහු උතුරු ආසියාවේ සිට ගොඩබිමින්, පා ගමනින් පැමිණි හිතන්නට අසීරු දුෂ්කර ගමනය. ගෝබී කාන්තාරය හරහා යමින් ෆාහියන් මෙසේ සටහන් තබයි. “මසකට වැඩි කාලයක් කාන්තාරය හරහා ගමන් කරමින් සිටිමි. අහසේ එකදු පක්‍ෂියකුවත් පොළොවේ එකදු සිවුපාවකු හෝ දකින්නට නොලැබේ.”

ෆාහියන්ගේ ඉවසා දරාගැනීමේ හැකියාව විස්මිතය. උතුරු කාශ්මීරයේ ක්වොන්ටන් ප්‍රදේශයට පැමිණෙනතෙක් මේ චාරිකාව පුද්ගලයකුගේ ඉවසා දරාගැනීමේ ශක්තිය හා හැකියාව සිදුකළ පරීක්‍ෂණයක් බඳුය.

ෆාහියන් ඇතුළු පිරිස ගමන් කළේ බුද්ධ ධර්මය සොයාය. හිමාලය දක්වා පැමිණ රියන් 10,000ක ප්‍රපාතයක් බැස ඔවුහු ඉන්දියාවට පැමිණියහ. හිතිචින්ග්, ටාඕ චෙන්ග්, හියුං හියුවේ යනාදී පිරිසක් ෆාහියන්ගේ වන්දනා නඩයට අයත්ව ඇත.

හිමාලය දෙපස මධ්‍ය බෞද්ධ ක්‍ෂේම භූමියේ එක් පසෙකින් කාබුල් නගරය, අනෙක් පසින් ගංගා නම් ගංගා නිම්නය. දක්වාත් ෆාහියන්ලා ගමන් කළෝය. ඔවුහු බුදුන් වහන්සේගේ ජන්ම භූමිය වූ මගධයේ කපිලවස්තු පුරයටත් අශෝක අධිරාජයාගේ අගනුවර වූ පාටලී පුත්‍රයටත් ගියහ. කපිල වස්තුවේ සිටියේ පූජකයන් හා පවුල් දහසක් පමණ යැයි ඔවුහු සඳහන් කරති.

බුදු රජුන් පාවිච්චි කළ පඩික්කමක් ඇතැයි යන ආරංචියට මෙම පිරිස කාශ්මීර් රටටද ගොස් ඇත. වර්ෂ තුනක් පාටලී පුත්‍ර නගරයේ නැවතී සංස්කෘත භාෂාව ඉගෙන බෞද්ධ විනය නීති රීති ඔහු ලියාගෙන තිබේ. පන්දහසක් භික්‍ෂුන් වහන්සේ ධර්ම ශාස්ත්‍ර හදාරන අනුරාධපුර අභයගිරි විහාරය ආලාහන පිරිවෙන ආදිය ගැන ෆාහියන්ට අසන්නට ලැබෙන්නේ ඉන්දියාවේදීය.

සිය වන්දනා ගමනේ 12 වැනි වර්ෂයේදී මෙම වන්දනාකරුවෝ තාම්ලුත් වරායෙන් වෙළෙඳ නෞකාවකට නැඟී ලංකාවට ගමන් කරති. මෝසම් සුළං සමඟ රාත්‍රි සහ දහවල් 14ක් යොදුන් 700ක් ගමන් කළ නෞකාව සිංහලයන්ගේ දේශයට පැමිණ තිබේ.

ලංකාවේදී ඔහු තම ගමන් සගයන් ගැන වචනයක් හෝ සඳහන් කර නැත. එක්කෝ ඔවුන් මරණයට පත් වන්නට ඇත. නැතහොත් ආපසු චීනයට යන්නට ඇත. ෆාහියන් අනුරාධපුරයේ අවුරුදු දෙකක් ධර්ම ශාස්ත්‍ර හදාරා ඇත. ක්‍රි.ව. 400දී අනුරාධපුර නගරය හා ශ්‍රී මහා බෝධිය පැවැති අන්දම පිළිබඳව අගනා විස්තරයක් ෆාහියන් සටහන් තබා තිබේ.

“එකලද ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පැවැත්ම පිළිබඳ යම් සාංකාවක් පැවැතිණි. මේ වෘක්‍ෂය නිරිතදිගට නැවී තිබිණි. රජතුමා ගස වැටේ යැයි බියපත්ව ආරුක්කු 8ක් හෝ 9ක් වෘත්තයක පිහිටන පරිදි ඊට ආධාරකය ලබා දුන්නේය.

එක් දිනක් හෙතෙම අභයගිරි බුද්ධ ප්‍රතිමාව පසෙකින් සිටින විට චීන ජාතික වෙළෙන්දකු ශ්වේත වර්ණ සේද ඵලකයක් බුද්ධ ප්‍රතිමාවට පලඳවනු දුටුවේය. ඔහුගේ නෙත් කඳුළින් පිරී ඇසිදිය වැටුණු බව ලියා තිබේ. අනුරාධපුර නගරයේ වෙළෙන්දන්ගේ නිවාස අනර්ඝ තත්ත්වයෙන් තිබූ බවත් අතුරු මාවත් මෙන්ම ප්‍රධාන පාරවල් ද හොඳින් නඩත්තු කර තිබූ බවත් සඳහන් කරයි.

ෆාහියන්ගේ අනර්ඝ විස්තර අපට අනුරාධපුර ඓතිහාසික නගරය ගැන කදිම චිත්‍රයක් ලබාදේ. දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කළ අවස්ථාවක් ගැනද සඳහන් කරයි. දක්‍ෂ අණබෙරකරුවකු අලියකු පිට නැඟී තම සෞභාග්‍යය අපේක්‍ෂා කරන සියල්ලන් දන්ත ධාතූන් ප්‍රදර්ශනයට පෙර පාරවල් සමතළා කොට හදන්නටත් වීථි සරසන්නටත්, මල් වර්ග, ඉටි පන්දම් ආදී උපකරණ ගත යුතු බව හඬ නඟා කියා ඇත.

නියමිත දින පූජනීය දන්ත ධාතුව වැඩම වන විට මිනිස්සු එයට නමස්කාර කොට ගෞරව දැක්වූ බවත් අභයගිරි විහාරයේ පූජාසනය මත තැන්පත් කළ විට ගිහියෝද පැවිද්දෝ ද රෑ දහවල් නිමාවක් නැතිව පුද පූජා පවත්වන්නටත් වූ බව හෙතෙම ලියා ඇත.

වරක් භික්‍ෂුන් සඳහා ආරාමයක් ඉදිකරන අදහසින් රජු රත්රන්, රිදී ආදියෙන් අලංකාර කරන ලද අංතට්ටු ඇති ගොනුන් දෙදෙනකුට රන්වන් නගුලක් බැඳ බිම සලකුණු කොට පරම්පරාවෙන් පරම්පරාවට භික්‍ෂුන්ට අයත් වන ලෙස ලේඛනයක ලියා පූජා කර ඇත.

ෆාහියන් ලංකාවේ සිටි අවුරුදු 2 තුළ ථෙරවාද විනය පිටකය පිටපත් කොට චීනයට ආගන්තුක බොහෝ ධර්ම ග්‍රන්ථද පිටපත් කොට රැස්කරගෙන ඇත. ජාවා රට හරහා යන වෙළෙඳ නෞකාවක ඔහු ලංකාවෙන් පිටත්ව තිබේ. දින ගණනාවකට පසුව නැව කුණාටුවකට හසුවිය.

බොහෝ භාණ්ඩ මුහුදුට වැටිණි. ෆාහියන් දුකසේ තම ධර්ම ග්‍රන්ථ ආරක්‍ෂා කර ගත්තේය. ශ්‍රමණයා නැවේ සිටීම මේ විපතට හේතුව යැයි තීරණය කළ නාවිකයෝ ඔහු හැර දමා යන්නට තීරණය කළෝය.

එහෙත් ඔහුට විපතක් කළහොත් චීන රජුට සැල වේ යැයි ඔවුන් තුළ පැවැති බිය නිසා ෆාහියන්ගේ දිවි බේරී ඇත. ෆාහියන් මධ්‍යම ඉන්දියාව හරහා චීනයට ළඟා වූයේ තවත් වසර තුනකට පසුවය. ඔහු ධර්මය සොයා රටවල් තිහක සංචාරය කොට තිබිණි.

අන්තර්ජාලය ඇසුරෙනි.

About SirilakaNews

Check Also

DSC_3119x-1200x550

ආර්ථිකයේ සෘණ මාවත දිගේ…..! On the negative path of the economy …..

මහ බැංකුව නිකුත් කරන ලද 2018 වසර සඳහා වන දෙවැනි ප්‍රතිපත්ති මූල්‍ය විවරණයෙන්, ඉහළ යමින් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *