Breaking News
Home / නිදහස් පන්හිද / ජාතිකවාදී අන්තවාදීන්, බලකාමී අවස්ථාවාදීන්, අඥාන ජාතිප්‍රේමීන් Nationalistic extremists, powerful opportunists, ignorant nationalists

ජාතිකවාදී අන්තවාදීන්, බලකාමී අවස්ථාවාදීන්, අඥාන ජාතිප්‍රේමීන් Nationalistic extremists, powerful opportunists, ignorant nationalists

images

digana-kandy-clash-between-muslim-sinhala-in-sri-lanka

දූෂිත හොර දේශද්‍රෝහී දේශපාලනඥයන් පත්කරගන්නා ජනතාව වින්දිතයන් නොව අපරාධකාරයන් යැයි කීවේ ලේඛක ජෝර්ජ් ඕවල්ය. 70 වසරක් පුරා රට පාලනය කළ අපේ දේශපාලනඥයන්ගේ වැරැදි නිසා මේ පොළොවේ ඇති තරම් ලේ ගලාගිය අතර දුකට පත්වූවන්ගේ සුසුම් හමන සුළඟ සමඟ මුසුවිය.

තිස් අවුරුදු ජන ඝාතක යුද්ධයෙන් සිදුවූ තුවාලවල කැළැල් මැකීයෑමටත් පෙර යළි ජාතිවාදී ගැටුමක් අවුළුවා ගැනීමට වෙර දරන්නෝ මුග්ධයන් මිස අන් කවරහුද? ජාතිකවාදී අන්තවාදීන්, බලකාමී අවස්ථාවාදීන්, අඥාන ජාතිප්‍රේමීන්, ඊනියා දේශප්‍රේමීන් එකතුවී වරෙක ගිනි ඇවිළුවේය. මේ පිරිස යළි සැරැසෙන්නේ තවත් ජාතිවාදී ගින්නකට රට ඇද දැමීමටය.

‘හනුමන් බළකාය’ ගිංතොට, අම්පාර ගිනි තියමින් දිගනට පැමිණ ඇත. මහනුවර දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පැනවීමටත්, රටටම හදිසි නීතියක් පැනවීමටත් සිදුවී තිබේ. 1983 කළු ජූලියේදී මනුෂ්‍යත්වයට ගිනි ඇවිළිණි.

එවැනි ගිනි යළි ඇවිළී නොයෑමට කළ කී දේ සියලු දේ ගඟට කැපූ ඉනි මෙන් වී ඇත. දිගන ගැටුම එය යළි සනාථ කිරීමකි. ආගම හෝ ජාතිය වෙනුවෙන් සාමූහික මනුෂ්‍ය ඝාතන කිරීම වරදක් යැයි බොහෝ දෙනා නොසිතති. මේ උන්මාදය වැලඳීමට උගත් – නූගත් භේදයක් නොවේ.

අපේ දරු පරපුරේ අනාගතය, රටේ පැවැත්ම යන දෙකම අනතුරේ හෙළමින් මේ නටන නාඩගම වහා නතර කළ යුතුය. අඥානයන් පිරිසකට රටක් අල්ලේ නැටවීමට ඉඩදිය යුතු නැත. සබුද්ධික සියලු දෙනා තවත් පමා නොවී එකට එක්වී මේ ජාතිවාදී රැල්ලට එරෙහිව නායකත්වය දීම අවශ්‍යය.

දිගන පමණක් නොව ඊට පෙර සිදුවූ අම්පාර ගැටුමද දුරදිග ගියේ පොලිසිය ප්‍රමුඛ ආරක්ෂක අංශවල දුර්වලතාව නිසා බවට බරපතළ චෝදනාවක් එල්ල වී ඇත. 1983 කළු ජූලියේදී පවා ජාතිවාදී රැල්ල ලත් තැනම ලොප් කිරීමට ආරක්ෂක අංශ පියවර නොගත් බවට ඕනෑ තරම් සාක්කි ඉදිරිපත් වී තිබිණි.

අලුත්ගම, ගිංතොට, අම්පාරේ මෙන්ම දිගන ජාතිවාදී ගිනි ඇවිළුණේ ආරක්ෂක අංශවල දුර්වල ප්‍රතිචාර නිසා බව කීම වැරැදි නැත. දිගන තරුණයාගේ ගැටලු සහගත මරණයේදී ආණ්ඩුව මීට වඩා කල්පනාකාරී විය යුතුව තිබිණි.

නීතිය හා සාමය ඇමැති ධුරය දරන්නේ අගමැතිවරයාය. එනිසා පොලිසිය ප්‍රමුඛව ආරක්ෂක අංශවල අඩුපාඩු, දුර්වලතා පිළිබඳ වහා සොයා බැලීම පහසුය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා සේ රාජ්‍ය බුද්ධි අංශ නිසි වේලාවට නිසියාකාරව ක්‍රියාත්මක වූවානම් ‘දිගන’ ගින්නට පෙර ගිනි පුපුර නිවාදැමීමට තිබිණි.

මහනුවරට ඇඳිරි නීතියත් රටටම හදිසි නීතියත් පනවා තත්ත්වය පාලනය කිරීමට රජයට සිදුවී ඇත.

කුමන නීතියක් පනවා හෝ ජාතිවාදී ගිනි රට තුළ පැතිර යෑම නතර කළ යුතුය. කිසිදු ආකාරයක ජාතිවාදයකට ආගම්වාදයකට හිස එසවීමට ඉඩදීම රටට කරන යහපතක් නොව අයහපතකි. ඇවිළෙන ගින්නට පිදුරු දමන්නන් මෙන්ම දිය යටින් ගින්දර ගෙනියන්නෝද රටේ සිටිති.

මේ අවස්ථාවේ විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය පාලනයකින් හා සංයමයකින් යුතුව කටයුතු කිරීම සතුටට කරුණක් වුවද අඥානයන්, තක්කඩියන් හා මුග්ධයන් පිරිසක් සමාජ මාධ්‍ය හරහා ජාතිවාදය අවුස්සමින් සිටිති. අර්ධ සත්‍ය හා අසත්‍ය තොරතුරුද ඔවුහු සමාජගත කරමින් සිටිති.

මේ පිරිස රට තුළ ඇවිළී යන අන්තවාදී අවස්ථාවාදී ජාතිවාදී රැල්ලේ දිගුවක් මිස අනෙකක් නොවේ. කාලාම සූත්‍රයේ ගෞතම බුදුන්වහන්සේගේ ඉගැන්වීම අනුව සබුද්ධිකව කටයුතු කරනවා හැර මේ අවස්ථාවේදී කළයුතු අන්යමක් නැත.

සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු මෙරට වෙසෙන සියලු ජන කොටස් ලාංකිකයන් ලෙස දැන්වත් එකමිටට ගොනුවිය යුත්තේ ජාතිවාදී පොදු සතුරාට එරෙහිවය. වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන් වෛරය සංසිඳේය යන බුදු වදන සිහිකැඳවමින් විශාරද නන්දා මාලනී ගයන මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පද පෙළින් මෙය අවසන් කරමු.

සිහළ දෙමළ මුස්ලිම් කල්‍යාණ මිතුරනේ
බොදුනු කිතුනු හින්දු ඉස්ලාම් සොයුරනේ…
එකම රටක ඉපිද ගැටෙමු මියෙමු යුද වැදී
සතුරු කැලක සඳලු තලෙහි ඉඳිති මධුබිබී…
සිහළ අපට අධම සිහළ මෘගයෝ වෙති
තොපටද මුස්ලිම් ද්‍රවිඩ ද්‍රෝහියෝ වෙති…
උන්ය අපට තොපට සතුරු පිරිස මිතුරනි
සදා පෙළන තොපද අපද කුමට එරෙහි වී..
කැතිද පොලුද මුගුරුද ගෙන සොයුරු ප්‍රේමයෙන්
පිබිද එන්න උතුරු දකුණු සතර දේශයෙන්..
නසා අපද තොපද පෙළන රුපුන් කේ‍රා්ධයෙන්
නිරයක් වූ දේශය රැකගනිමු
ආලයෙන්….

About SirilakaNews

Check Also

DSC_3119x-1200x550

ආර්ථිකයේ සෘණ මාවත දිගේ…..! On the negative path of the economy …..

මහ බැංකුව නිකුත් කරන ලද 2018 වසර සඳහා වන දෙවැනි ප්‍රතිපත්ති මූල්‍ය විවරණයෙන්, ඉහළ යමින් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *