Breaking News
Home / දේශපාලන / අගමැතිවරයාගේ විශ්වාසය. The Prime Minister’s belief.

අගමැතිවරයාගේ විශ්වාසය. The Prime Minister’s belief.

 RRRRR

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාභංග යෝජනාව විවාදයට ගන්නා දිනය ළංවෙත්ම එහි උණුසුමද ඉහළ නගිමින් තිබේ. එක්සත් ජාතික පක්‍ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් උපරිම උත්සාහයක නිරතව සිටින්නේ තම තමන්ගේ කරුණු කාරණා ජයග්‍රහණය කරවීමටය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් ඒකාබද්ධ විපක්‍ෂයේ අරමුණ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීමටය.

එහෙත් එජාපය සඳහන් කරනුයේ අගමැතිවරයා පිළිබඳව තිබෙන විශ්වාසය එම යෝජනාව පරාජය වීමත් සමඟ තව තවත් තහවුරු වන බවය. දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද අගමැතිවරයා පිළිබඳවත් ආණ්ඩුව පිළිබඳවත් මෙමගින් විශ්වාසයක් ගොඩනැගෙනු ඇතැයිද එක්සත් ජාතික පක්ෂයේ අදහසය. කෙසේ වෙතත් මේ කඳවුරු දෙකම රහසිගතවත් ප්‍රසිද්ධියේත් සිය බලය තහවුරු කර ගැනීමේ උපරිම උත්සාහයක නිරතව සිටින බවද පැවසේ.

එක්සත් ජාතික පක්‍ෂය මුලදී කටයුතු කළේ විශ්වාසභංග යෝජනාවට පහසුවෙන් මුහුණ දිය හැකි බවක් සිතාගෙනය. එහෙත් රාජ්‍ය ඇමැති පාලිත රංගෙ බණ්ඩාරගේ දැඩි ප්‍රකාශයක් සමඟම එජාපය තරමක් අසීරුතාවයකට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබේ. සැබවින්ම පාලිත රංගෙ බණ්ඩාරගේ  ප්‍රකාශය සනාථ වනු ඇත්දැයි කිව නොහැක්කේ එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමැතිවරුන් 27 ක් ඔහු වටා සිටින බව විශ්වාස කළ නොහැකි නිසා යැයි එම පක්‍ෂයට හිතවත් අය සඳහන් කරති.

එහෙත් පාලිත රංගෙ බණ්ඩාර සමඟ එජාප මැති ඇමැතිවරුන් දහයකට වැඩි පිරිසක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහොත් හෝ දෙමළ ජාතික සන්ධානය ඡන්දය දීමෙන් වැළකී සිටියහොත් අගමැතිවරයාට අපහසුතාවකට පත්වීමට සිදුවනු ඇතැයිද තවත් පිරිසකගේ මතය වී තිබේ. කෙසේ වෙතත් තවත් ආරංචි මාර්ගයක් සඳහන් කළේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රීලනිප හා එක්සත් ජාතික පෙරමුණට අයත් ඇමැතිවරුන් කිහිප දෙනෙකු හෝ එජාපයට සහාය දෙමින් ඡන්දය ප්‍රකාශ කරනු ඇති බවය.

කෙසේ වෙතත් දේශපාලන කරලිය දිනෙන් දින වෙනස් වන හෙයින් අවසන් මොහොතේ කුමකින් කුමක් සිදුවනු ඇත්දැයි කීමට නොහැකිය. ඒ තරමටම දේශපාලන තීන්දු තීරණ මොහොතින් මොහොත ඒ මේ අත දෝලනය වෙමින් තිබෙන බැවිනි.

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ එක්සත් ජාතික පෙරමුණ යටතේ තිබෙන හවුල්කාර පක්‍ෂවල නායකයින් අඟහරුවාදා රැස්වී අගමැතිවරයා සම්බන්ධයෙන් විශේෂ කරුණු කාරණා සාකච්ඡා කළ බවය. ඔවුන් ඔවුන්ගේ තීන්දු තීරණ ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  වෙත ද දැනුම් දීමට නියමිතව තිබිණි.

අග්‍රාමාත්‍යවරයා හා එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්‍ෂ නායකයන් අතර එම සාකච්ඡාවේදී විශ්වාසභංග යෝජනාවට අමතරව, ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති, ඉදිරි ගමන් මග මෙන්ම හවුල්කාර දේශපාලන පක්‍ෂවලට තිබෙන කණස්සල්ල ආදී කරුණු ද සාකච්ඡාවට බඳුන් වූ බව කියැවෙයි.

යහපාලන ආණ්ඩුවට තිබූ එක් චෝදනාවක්  වූයේ විද්‍යාත්මක  නොවන  ආකාරයෙන් අමාත්‍යාංශවල විෂයන් බෙදා තිබෙන බවටය. විශේෂයෙන් අග්‍රාමාත්‍යවරයා හා ඔහුට හිතවත් කැබිනට් අමාත්‍යවරුන්ට යම් යම් විෂයන් බෙදා දී තිබෙන බවටද විපක්ෂයෙන් හා විවිධ පාර්ශ්ව වෙතින් චෝදනා පිට චෝදනා එල්ල වන්නට විය. උසස් අධ්‍යාපනය මහා මාර්ග අමාත්‍යංශයකට නොගැළපෙන බවත් මහ බැංකුව හා රාජ්‍ය බැංකු මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමත් පිළිබඳව විශේෂයෙන් ආණ්ඩුවට චෝදනා එල්ලවන්නට විය.

ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර කීවේ “විද්‍යාත්මක ක්‍රමයකට විෂයන් බෙදන්න ඕනේ. ඒ පිළිබඳව ජනාධිපතිවරයාත් උනන්දුවක් දක්වනවා. මෙවර කැබිනට් සංශෝධනයෙන් පස්සේ විෂයන් ගැසට් කරනකොට වරද නිවැරැදි වේවි” යැයි යනුවෙනි. ඒ අනුව ජනාධිපතිවරයාගේ බලවත් මැදිහත්වීම මත ශ්‍රී ලංකා මහ බැංකුව නැවත මුදල් අමාත්‍යාංශය යටතට පැවරීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කැමති වී තිබිණි.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සතියක පමණ කාලයක සිට එම විෂයන් වෙනස් කිරීම පිළිබඳව මහන්සි වූයේය. ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය  බදාදා නිවේදනය නිකුත් කෙරුණේ ඒ අනුවය. වරද නිවැරදි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවත් විනිමය සුරැකුම්පත් කොමිසන් සභාවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පැවරිණ.

විශ්වාසභංග යෝජනාවට මුහුණ දීම සම්බන්ධයෙන් තවත් විකල්ප ක්‍රමවේදයක් අනුගමනය කිරීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් වෙමින් සිටින බවටද ඉඟි පළ වී තිබේ. අග්‍රාමාත්‍යවරයාට හිතවත් ඇමැතිවරයකු වන වජිර අබේවර්ධන සඳහන් කරනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව කිසිසේත් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝනාවක් ඉදිරිපත් කිරීමට නොහැකි බවය.

විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් කළ යුත්තේ ආණ්ඩුවටම බව යැයිද වජිර අබේවර්ධන කියයි. ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂයේ පිරිසක් සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ඒ තත්ත්වය ලබන හතරවැනිදා පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට දැනුම් දෙන බවය. ඒ අනුව කතානායකවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථකතනය කර ගැනීමට සිදුවනු ඇති බවද ඔහුගේ අදහස වී තිබේ. ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ ඝෝෂා හා තර්ක විතර්ක මත සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවා අගවිනිසුරුවරයා හෝ නීතිපතිවරයා පාර්ලිමේන්තුවට කැඳවීමට එහිදී කතානායකවරයාට සිදුවනු ඇත.

පක්‍ෂනායක රැස්වීමක් කැඳවා කරුණු කාරණා සාකච්ඡා කිරීමෙන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ කථනය කර ගැනීමෙන් ද පසුව නිශ්චිත තීන්දුවක් ගැනීමට කතානායකවරයාට සිදුවනු ඇත. එක්සත් ජාතික පක්‍ෂය යම් ආකාරයකින් දේශපාලන තුරුම්පුවක් යොදා විශ්වාසභංගයෙන් පළායාමට ප්‍රයන්තයක් දරනු ඇතැයිද දේශපාලන විචාරකයෝ පිරිසක් මත පළකරති.

About SirilakaNews

Check Also

ch

කිලිනොච්චියේ ජනතාව එල්ටිටීඊය පාවාදුන්නා!,එම් කේ සිවාජලිංගම් The people in Kilinochchi have been betrayal the LTTE, MK Sivajalingam

කිලිනොච්චියේ සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ සිටි කර්නල් වරයා ඉදිරියේ හිටපු කොටි සාමාජිකයින් හඩා වැලපීම ඊලම ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *