Breaking News
Home / නිදහස් පන්හිද / මහණෙනි,මේ ධර්මය මේ සසරේ ඇති ආදීනවය සදහාම නොවේ!සම්මා සම්බුදු වදනක එසේ වදාළහ.

මහණෙනි,මේ ධර්මය මේ සසරේ ඇති ආදීනවය සදහාම නොවේ!සම්මා සම්බුදු වදනක එසේ වදාළහ.

 prima-verita-nobile-1

“ආලාරකාලාම මගේ ගුරුවරයා යි. ශිෂ්‍යයෙක් වූ මා තමාගේ සමාන තැනක ම තබා ගත්තේ ය. උසස් පූජාවකින් ද මා පිදීය. මහණෙනි, මට මේ අදහස ඇති විය. මේ ධර්මය සසර කළකිරීම සඳහා නොවේ. මේ ධර්මය මේ සසරේ ඇති ආදීනවය, භයානක බව දැක කළකිරීමකට, සංවේගයකට හේතු නොවේ. නො ඇලීම සඳහා නොවේ.”

ආලාරකාලාමයන්ට ශ්‍රද්ධාව, වීර්යය, සිහිය, හා සමාධිය පවතිනවා. මටත් එලෙසින් ම ශ්‍රද්ධාව, වීර්යය, සිහිය හා සමාධිය පවත්වා ගන්න පුළුවන් බෝධිසත්වයන් වහන්සේ එසේ කල්පනා කළහ. ආලාරකාලාම යන් අවබෝධ කරගත් ඒ ආකිඤ්චඤ්ඤායතනය නම් වූ ස්වභාවයට තමන් වහන්සේගේ ම විශිෂ්ට ඤාණයෙන් උන්වහන්සේ පත් වූහ. බෝධිසත්වයන් වහන්සේ සෙවූ ජාති, ජරා, ව්‍යාධි, මරණයෙන් නිදහස් වූ නිවන එය නොවන බවට පැහැදිලි විය.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ නැවතත් දේශනා කළහ. “ ඉක්බිති මම ආලාරකාලාම කරා පැමිණියෙමි. පැමිණ මෙසේ සඳහන් කළෙමි. ඇවැත්නි, කාලාමය, මෙපමණකින් ම ධර්මය තමන් විසින් දැන සාක්ෂාත් කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරෙත් දැයි, එනම් බෝධිසත්වයන් වහන්සේ ප්‍රශ්න කරනු ලැබූයේ, ඔබ වහන්සේ දන්නේ මේ ප්‍රමාණය පමණක් ද, යන අදහසයි.

එවිට ඇවැත්ති “මම මෙපමණකින් ම මේ ධර්මය තමන් වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ ප්‍රකාශ කරමි’යි ආලාරකාලාම කීවේය.”

ඇවැත්නි, ‘මම ද මෙපමණකින් ම මේ ධර්මය තමන් විසින් ම දැන ප්‍රත්‍යක්ෂකොට එයට පැමිණ වාසය කරමියි කියමි.’ බෝධිසත්වයන් වහන්සේත් තම ගුරුවරයා දන්නා දැනුම ම තම විශිෂ්ට ඤාණයෙන් ම ප්‍රත්‍යක්ෂකොට දැනගෙන ම වාසය කරනවා යැයි මෙහි සඳහන් කළා.

ආලාරකාලාම මෙසේ සඳහන් කරනවා. ඇවැත්ති, ‘යම් බඳු වූ අප ඔබ වැනි වූ සබ්‍රහ්මචාරී ආයුෂ්මතෙකු දකින්නේ ද? එය අපට ලාභයකි. එය අපට මනා ලැබීමකි. මෙසේ මම යම් ධර්මයක් තමන් විශේෂයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ ප්‍රකාශ කරම් ද, ඔබ ඒ ධර්මය තමන් ම ප්‍රත්‍යක්ෂකොට විශේෂයෙන් දැන ඊට පැමිණ වාසය කරනු මැනවි. ඔබ යම් ධර්මයක් තමන් විශේෂයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරන්නේ නම්, මම ඒ ධර්මය විශේෂයෙන් තමන් ම දැන, දැක ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ ප්‍රකාශ කරමි. මෙසේ යම් ධර්මයක් මම දනිමි ද ඒ ධර්මය නුඹ දකින්න. නුඹ දැන ගන්න. යම් ධර්මයක් නුඹ දනී නම් ඒ ධර්මය මම දනිමි. මෙසේ මම යම් බඳු යෙම් ද? නුඹ ද අපි ද ඒ ආකාරය. නුඹලා යම් ආකාරයෙක් ද මම ද ඒ ආකාරම ය. ඉන් අදහස් වන්නේ ආලාරකාලාම යමක් දන්නේ ද, බෝධිසත්වයන් වහන්සේත් එය දනියි. බෝධිසත්වයන් වහන්සේ යමක් දන්නේ ද? ආලාරකාලාම තවුසාත් ඒ සියල්ල දනියි. මින් අදහස් වන්නේ දෙදෙනාම දැන් එක හා සමාන ඤාණයක පවතින බවයි. මේ නිසා ආලාරකාලාම තවුසා බෝධිසත්වයන් වහන්සේට මෙසේ යෝජනා කරනවා.

එන්න, ‘අප දෙදෙනා ම එකතු වී මේ පිරිස පරිහරණය කරමු කියායි. එනම් අපි දෙදෙනා ම මේ පිරිස අපේ ශිෂ්‍යයන් හැටියට පවත්වා ගනිමුයි කියා ය.’ භාග්‍යවතුන් වහන්සේ මෙසේ සඳහන් කරනවා. මහණෙනි, ආලාරකාලාම තෙමේ මට ආචාර්ය වූයේ ම අතවැසි වූ මා තමාට සම තැන තැබී ය. ආලාරකාලාම මගේ ගුරුවරයා යි. ශිෂ්‍යයෙක් වූ මා තමාගේ සමාන තැනක ම තබා ගත්තේ ය. උසස් පූජාවකින් ද මා පිදීය. මහණෙනි, මට මේ අදහස ඇති විය. මේ ධර්මය සසර කළකිරීම සඳහා නොවේ. මේ ධර්මය මේ සසරේ ඇති ආදීනවය, භයානක බව දැක කළකිරීමකට, සංවේගයකට හේතු නොවේ. නො ඇලීම සඳහා නොවේ. විරාගය පිණිස ද හේතු නොවේ. නිවන සඳහා නොවේ. නිවන් පිණිස හේතු නොවේ. කෙලෙස් සංසිඳීම සඳහා නොවේ. කෙලෙස්වල ප්‍රහාණයක් පිණිස මේ දහම හේතු නොවේ. විශේෂ දැනීම් සඳහා නොවේ. එනම් චතුරාර්යය සත්‍ය ධර්ම ආදී මඟක් පිණිස මේ ධර්මය හේතු නොවේ. සම්බෝධිය සඳහා නොවේ. සම්බුද්ධත්වය සඳහා හේතු නොවේ. නිවන් සඳහා පවතින්නේ නැහැ. මේ ධර්මය ආකිඤ්චඤ්ඤායතනයේ ඉපදීමට ම වේ.

මේ ධර්මය කුමට ද? ආකිඤ්චඤ්ඤායතන නම් බඹලොව ඉපදීමට හේතු වෙන්නේ නැහැ. මම ඒ ධර්මය ඒ අමා නිවනට ප්‍රමාණකොට ගලපා ගන්නේ නැතිව මෙතැනින් මේ ධර්මයෙන් සතුටු නොවී මෙතනින් බැහැර වූයේ නම් හොඳ යැයි කල්පනා කළෙමි. බෝසතාණන් වහන්සේ ඉන් පසුව ආලාරකාලාම තවුසාගෙන් නික්ම ගියහ.

බෝධිසත්වයන් වහන්සේට ආලාරකාලාම තවුසාගෙන් ලබා ගන්න පුළුවන් වූයේ ආකිඤ්චඤ්ඤායතන නම් වූ බඹලොව ඉපදීම දක්වා වූ මාර්ගය පමණයි. බෝධිසත්වයන් වහන්සේ සොයන්නේ එවැනි සසරෙහි යම් වූ ඉහළ ස්වභාවයක් නොවේ. සසරෙන් මුළුමනින් ම නිදහස් වීමයි. එයට හේතුව නම් බඹලෝකයේ ඉපදුණත්, ධ්‍යාන පිරිහී නැවතත් මේ සසරට ඇදවැටිය හැකියි. යම් විටෙක සතර අපායේ ඉපදී පෙර පරිදිම ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝකපරිදේව ආදී දුක්වලට උරුමකම් කීමට සිදුවෙයි. ඒ නිසා බෝධිසත්වයන් වහන්සේ මේ ආර්ය පර්යේෂණයෙන් සිදු කරන ජාති, ජරා, ව්‍යාධි, මරණයෙන් නිදහස්වීම නම් වූ නිවන මෙහි නොමැති බව තේරුම්ගත්තා.

ඒ නිසා ආලාරකාලාම තවුසාගෙන් බැහැරට වඩිනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, මම ‘කිං කුසල ගවේසි’ වූයෙමි. කුසලය නම් කුමක් දැයි, සොයමින් ඒ අනුන්තර වූ උතුම් ශාන්ති පදය සොයා යන ගමනේ මීළඟට උද්දකරාමපුත්‍රයන් වෙතට පැමිණුනෙමි. එසේ පැමිණ උද්දකරාමපුත්‍රට මෙසේ කීමි. ඇවැත්නි මම මේ ශාසනයේ බඹසර හැසිරෙන්නට කැමැතියි. මම මෙසේ කී කල්හි උද්දකරාමපුත්‍ර තෙමේ මෙසේ සඳහන් කළා. හොඳයි ආයුෂ්මත් ඔබ කැමැති නම් මෙහි බඹසර වාසය කරන්න.

යම් ශාසනයක නුවණැති පුරුෂයෙක් නොබෝ කලකින් ම ස්වකීය ආචාර්යවරයාගේ ධර්මය තමන් ම විශිෂ්ට ඤාණයෙන් දැන අවබෝධ කොට එයට පැමිණ වාසය කරන්නේ ද? මේ ධර්මය ද එබඳුයි. උද්දකරාමපුත්‍ර ඒ ආකාරයෙන් මට සඳහන් කළා. මම නොබෝ කලකින් ම ඒ ධර්මය වහා ම ප්‍රගුණ කළෙමි. එපමණකින් ම, එනම් තොල් සකස් කරන පමණකින් ම කියන ලද්ද නැවත කීම පමණකින් ම දනිමියි යන කතාව හා එහි ස්ථිර වෙමියි යන කතාව ද කියමි. එනම් එය හොඳින් තේරුම්ගනී. අවබෝධ කර ගනී. යන අදහස් මම කීවා. දනිමි, දකිමියි ද මමත් ප්‍රතිඥා කරමි. කියූ පමණින් ම තොල් සකස් කළ පමණකින් ම, එක වතාවක් කී පමණින් ද උද්දකරාමපුත්‍ර සඳහන් කළ දේ මම දැනගත්තා සේ ම ප්‍රත්‍යක්ෂයෙන් ම අවබෝධ කර ගත්තා. අන් අයත් මා ගැන එසේ කීවා. අනිත් ශිෂ්‍යයන් මගේ මේ හැකියාව පිළිබඳව එසේ සඳහන් කළා.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් මෙසේ දේශනා කරනවා. මට මේ වගේ අදහසක් ඇතිවුණා. ඒ කුමක් ද? උද්දකරාමපුත්‍ර මේ ධර්මය හුදෙක් ශ්‍රද්ධා මාත්‍රයෙන් තමන් ම විශිෂ්ට ඤාණයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට එයට පැමිණ වාසය කරමියි ප්‍රකාශ නොකළේ ය. රාමගේ අදහස තෙමේ මේ ධර්මය ඒකාන්තයෙන් දනිමින්, දකිමින් වාසය කළේ යැයි කියා ය.

උද්දකරාමපුත්‍ර පවසන්නේ ඒකාන්තයෙන් දකිමින්, දනිමින්, වාසය කරන්නෙමියි යන අදහසයි. නමුත් මේ ධර්මය හුදෙක් ශ්‍රද්ධා මාත්‍රයෙන් තමන් විශිෂ්ට ඤාණයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට එයට පැමිණි වාසය කරමියි ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ අදහසයි මෙහි දී මේ සිහිපත් කරන්නේ. මහණෙනි, මම ඉක්බිති උද්ධකරාමපුත්‍ර වෙත පැමිණියෙමි. පැමිණ උද්ධකරාමපුත්‍රට මම මෙසේ කීවෙමි.

ඇවැත්නි, නුඹගේ දහම අනුව කොපමණකින් මේ ධර්මය තමන් විශිෂ්ට ඤාණයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට එයට එළඹ ප්‍රකාශ කළේ ද? එනම් නුඹගේ පියා හෝ නැතිනම් නුඹගේ ගුරුවරයා හෝ කොපමණකින් මේ ධර්මය තමන් විශිෂ්ට ඤාණයෙන් දැන අවබෝධ කොටගෙන එයට එළඹ සිටින්නේ දැයි ප්‍රකාශ කළේ ද?

මහණෙනි, ඒ අවස්ථාවේ උද්ධකරාමපුත්‍ර මට සඳහන් කළේ මෙයයි. ඒ කුමක් ද? නේව සඤ්ඤා නා සඤ්ඤායතනය ප්‍රකාශ කළේ ය. ඇත්තේත් නැහැ, නැත්තේත් නැහැ යන ධ්‍යානය උපදවාගෙන ලබන අවස්ථාව බඹලොව පිළිබඳව මට සඳහන් කළේ ය. එහිදී මට මේ අදහස ඇතිවිය. ශ්‍රද්ධාව රාමයන්ට පමණක් නොවේ. මටත් ශ්‍රද්ධාව පවතිනවා. වීර්යය රාමයන්ට පමණක් නොවේ මටත් වීර්ය පවතිනවා. සිහිය රාමයන්ට පමණක් නොවේ. මටත් සිහිය පවතිනවා. සමාධිය රාමයන්ට පමණක් නොවේ මටත් සමාධිය පවතිනවා. ප්‍රඥාව රාමයන්ට පමණක් නොවේ. මටත් ප්‍රඥාව පවතිනවා. යම් ධර්මයක් රාම තෙමේ විශිෂ්ට ඤාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරෙමියි කී යේ ද මම ද ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කිරීමට උත්සාහ කරන්නේ නම් යෙහෙකැයි කියා ය. මම කල්පනා කළා උද්ධකරාමපුත්‍ර සඳහන් කරන්නේ නේව සඤ්ඤායතනය පිළිබඳවයි. මටත් ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය පවතිනවා. එහෙම නම් උද්ධකරාමපුත්‍ර වගේ ම මමත් මේ ධර්මය ප්‍රත්‍යක්ෂකොට අවබෝධයක් ඇති කර ගන්නට උත්සාහ කරමි කියා ය. එසේ සඳහන් කොට ඒ ධර්මය මම නොබෝ කලකින් ම විශිෂ්ට ඤාණයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට එයට පැමිණ වාසය කළෙමි. ඉන් අදහස් කරන්නේ දෙවෙනි ගුරුවරයා වූ උද්ධකරාමපුත්‍රයන්ගේ දැනුමේ කෙළවර වූ නේවසඤ්ඤා, නා සඤ්ඤා ආයතන නම් වූ ධ්‍යාන අවස්ථාවට බෝධිසත්වයන් වහන්සේ ඉක්මනින් ම, වහාම පැමිණ වාසය කළ බවයි.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම  සදහම් සෙනසුනෙහි  ප්‍රධාන අනුශාසක ආචාර්ය  මිරිස්සේ ධම්මික හිමි අන්තර් ජාලයට සෑපයු ලිපියක් ඇසුරෙනි.

About SirilakaNews

Check Also

jbnasljc

රණවිරුවෙකු මරාදැමීම! Killing a war hero.

ඒ 1992… හරියටම කිව්වොත් දිනය අගෝස්තු අටවැනිදායි…… ෆයිනල් කවුන්ට් ඩවුන් මෙහෙයුමට පැය 38ක් තිබියදී යාපනය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *