Home / නිදහස් පන්හිද / ස්වකීය ජීවිත දැයේ උරුමය රැක ගැන්ම උදෙසා කැප කළ වෙල්ලස්සේ මුතුන්මිත්තන් !

ස්වකීය ජීවිත දැයේ උරුමය රැක ගැන්ම උදෙසා කැප කළ වෙල්ලස්සේ මුතුන්මිත්තන් !

Untitled-3

 

ඉතිහාසය වූ කලී එතෙක් මෙතෙක් පැවැති මානව සමාජයන් මුහුණදුන් පන්ති සටන්වල කතාන්තරය යැයි කාල් මාක්ස් පැහැදිලි කළේය. එකී පන්ති සටන් හා අරගලයන් ලේඛනගත වී තිබෙන්නේ ඒවා ලේඛනගත කෙරුණු අවධියේ සමාජ දේශපාලනික වුවමනාවන් මත බවද අපට පිළිගැනීමට සිදුවේ. ඒ නිසාම කිසියම් ඓතිහාසික කරුණක් සම්බන්ධව ලේඛනගතව තිබෙන කතාන්තරය සැබෑ යථාර්ථයම දැයි නැවතත් සලකා බැලීම ප්‍රඥාගෝචරය. ඊට වඩාත් විද්‍යාත්මක විග්‍රහය වන්නේ උක්ත කරුණ අරබයා අප සතුව ඇති සියලු මූලාශ්‍ර පෙළගස්වා සත්‍ය ලෙසම සිදුවී තිබෙන්නේ කුමක්ද යන්න පිළිබඳව නිර්වචනය කිරීමය.

කන්ද උඩරට රාජධානිය 1802දී බි්‍රතාන්‍යයන් විසින් යටත් කිරීමත් 1815 මාර්තුවේ උඩරට ගිවිසුම අස්සන් තැබීමත් ඉන් අනතුරුව බි්‍රතාන්‍ය පාලනයට එරෙහිව මෙරට ජනයා 1818, 1848 වර්ෂවල සිදුකළ ඓතිහාසික නැඟිටීම් සම්බන්ධවද දැනට අප හමුවේ ඇති කරුණු ප්‍රමාණයට වඩා මෙතෙක් එළියට නොපැමිණි කරුණු බොහෝය. එම රහස් සඟවා ගනිමින් වනගත වූ වෙල්ලස්සේ පාරම්පරික ජනයා පිළිබඳව තවමත් නිවැරැදිව ලෝකය හඳුනාගෙන නැත. 1818 කැරැල්ලේ සැබෑ නායකයන් වනුයේ ඔවුහුය.
උඩරට ගිවිසුමේ කුමක් සඳහන් වුවද ජාතියේ සංකේතය වූ රජතුමා නාඳුනන කොල්ලකාරී කණ්ඩායමකට කුදලාගෙන යන්නට අවකාශය සැලැස්වීම මේ කතාවේ තිත්ත ඇත්ත වේ. එපමණක් නොව වසර දහස් ගණනක අපගේ සංස්කෘතික උරුමයන් රාජකීය ආභරණ, ඇත් දළ, මුතු මැණික් ඇතුළු වස්තුව කොල්ලකා ගෙන යෑමට සලස්වා රටේ රජකම තමන් අතට ලිපියකින් භාරදෙන තෙක් බලා සිටි ඇතැම් රදළ නායකයන්ද උඩරට කැරැල්ලේ නායකයන් ලෙස ඉතිහාසයට එක්වී හමාරය. එවැනි පසුබිමක ඉතිහාසය යළි නිවැරැදිව පෙළගැස්වීම දුෂ්කර, අසීරු කටයුත්තකි. එහෙත් ස්වකීය ජීවිත දැයේ උරුමය රැක ගැන්ම උදෙසා කැප කළ වෙල්ලස්සේ මුතුන්මිත්තන් වෙනුවෙන් එම උදාර කාර්යය ඉටු කළ යුතු වන්නේය.

උතුරෙන් මහවැලි ගඟද, දකුණින් වළවේ ගඟද, නැඟෙනහිරින් ඉන්දීය සයුරද, බටහිරින් මධ්‍යම කඳුකරයද, වෙල්ලස්සේ සීමා මායිම් වේ. වෙල්ලස්සේ කැරැල්ලට නායකත්වය දුන් බුද්ධ පුත්‍රයන් අතර නාපේ රේවත හිමි, මොනරවානේ බුද්ධරක්ඛිත හිමි, ඊතනවත්තේ තෙරුන්නාන්සේ, මොනරාගල උන්නාන්සේ, මුප්පනේ, වත්තේගම, බදුලුවෙල, මැදගම, දම්බරාවේ, අඹගොල්ලේ උන්නාන්සේද ඇතුළු මහා සංඝරත්නය අයත් වෙති.

කොහුකුඹුරේ රටේ රාල, බූටෑවේ රටේ රාල, බකිණිගහවෙල උපසේකර, බකිණිගහවෙල හීං අප්පු, මහ බදුලු ගම්මන රටේ රාල, කිවුලේගෙදර මොහොට්ටාල, කව්ඩාවේ රටේ රාල, කැන්දවින්නේ මොහොට්ටාල, පල්ලේ කිරුවේ දිසා මොහොට්ටාල, හුමාපොළ දුරයා, පෝටාවේ දේවයා, මල්ලැහැවේ රන්මැණිකා ආදී වෙල්ලස්සේ ග්‍රාමීය නායකයන් 1818 කැරැල්ලේ නායකයෝ වූහ.

සාමාන්‍ය පවුලක ඉපදී මහණ දම් පිරූ විල්බාවේ මුදියන්සේ වීර වික්‍රම ශ්‍රී කීර්ති මහවාසල නමින් රජු ලෙස නම් කර ඔවුහු බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට විරුද්ධව සටන් කළ අයුරු අපූර්වත්වයෙන් ඉතිහාසයට එක් විය යුතුය. කොටියාගල හතරැස් ගල්ගේ, තම්මිට චිමිනිගල, පිටදෙණියේ හෙලගල්ගේ, මහඔය, නුවරගල, නිල්ගල, දානිගල, පදියතලාවේ, කෙත්තාගල වැනි යුද කඳවුරුවලට ඒකරාශී වෙමින් යුද පුහුණුව ලබමින් ආයුධ නිපදවූ අන්දමද මල්ලැහැවේ රන්මැණිකා වැනි කාන්තාවන් ආහා-බෙහෙත් එකතු කරමින් සත්කාරක සේවා පවත්වාගත් අන්දමද ඉතිහාස කතාවේ සටහන් විය යුතුය.

වෙල්ලස්සේ ජනයා ඉංගී්‍රසීන්ට බදු නොගෙවා සිටින්නට ගත් තීරණය උඩරට කැරැල්ලේ ආරම්භය වූයේය. එම තීරණය බදුල්ලේ උප ඒජන්තට දැන ගන්නට ලැබීමෙන් පසු ඔහු තත්ත්වය කන්දේ නුවරට වාර්තා කළේය. බදු එකතු කරන්නන්ගේ ප්‍රධාන මඩිහේ ලෙස ජෝන් ඩොයිලි විසින් හජ්ජි මුහන්දිරම් වෙල්ලස්සට, යවන ලදී. 1817 ඔක්තෝබර් 17දා හජ්ජි මුහන්දිරම් කැටුව පැමිණි බළඇණිය මරා දැමීම කැරැල්ලේ පළමු වෙඩි මුරය විය. දෙවැනි පියවර වූයේ බ්‍රවුන්ඩ්‍රිග් ආණ්ඩුකාරයාගේ නියමයෙන් වෙල්ලස්සට පැමිණි උඩරට උප තානාපති සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන්ගේ හිස කඳින් වෙන් කර ගසක එල්ලීමය. නුවර-බදුලු පාරේ අලුපොතදී එය සිදුවිය.

උෟව දිසාව කැප්පෙටිපොළ වෙල්ලස්සට පැමිණියේ කැරැල්ලේ දෙවැනි අදියරයේදීය. කරබිලේදී කොහුකුඹුරේ, බූටෑවේ රටේ රාලලා සහ බකිණිගහවෙල උපසේකර මුදියන්සේ ඇතුළු කණ්ඩායම කැප්පෙටිපොළ දිසාවේ විමුක්ති සටනට සම්බන්ධ කර ගැනීමෙන් සටනේ දෙවැනි අදියර ආරම්භ විය.
වෙල්ලස්සේ සටනට මොනරවිල කැප්පෙටිපොළ නිලමේ ආගමනය මහත් සවියක් විය.

රන්දෙණිවෙල සටනේදී පෘතුගීසීන් අතහැර සිංහල හමුදාවට එක්වූ සෙන්පති ‍ෙදාන් කොස්මෝ විජේවර්ධනගේ පරම්පරාවෙන් පැවත එන කැප්පෙටිපොළ නිලමේ ඇහැලේපොළ නිලමේගේ මස්සිනාද වෙයි. වෙල්ලස්සට රාජ්‍යත්වයට සහ රදළ පෙළපතට තිබූ සුවිශේෂී සබඳතාව නිසාම කැප්පෙටිපොළ නිලමේ සමඟ රදළ නායකයන් විශාල පිරිසක් විමුක්ති අරගලයට එක්වූහ.

මඩුගල්ල නිලමේ, බකිණිගහවෙල අදිකාරම්, ගලගොඩ මුහන්දිරම්, රාහුපොල බස්නායක නිලමේ, වැලිවිට රටේ මහතා, පේරාදෙණි රටේ මහතා, මත්තමගොඩ දිසාව, ඊරියගම නිලමේ, දුනුවිල දිසාව, මොළදණ්ඩ රටේ මහතා, මොරතොට දිසාව, දඹවින්න දිසාව, කතරගම අධිකාරම, ඇල්ලෙපොළ නිලමේ, රාහුපොළ බස්නායක නිලමේ වැන්නවුන් ඒ අතරින් කැපී පෙනුණි.

About SirilakaNews

Check Also

Old-Parliament-Building-Colombo

රුපියල් විසිපහක අල්ලසකට මංත්‍රීධුරය අහිමි කල එකල ජනතාවාදී පාර්ලිමේන්තුව!

  ශ්‍රී ලංකාවේ දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙනුවෙන් මහ මැතිවරණයක් පැවැත්වූයේ 1936දීය. එවකට මෙරට තිබූ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *