Home / ප්‍රධාන පුවත් / විදේශ සේවා කාර්යාංශය රුපියල් කෝටි හැටහයක පමණ මුදලක්‌ අල්ලස්‌ ලෙස ලබාගෙන!

විදේශ සේවා කාර්යාංශය රුපියල් කෝටි හැටහයක පමණ මුදලක්‌ අල්ලස්‌ ලෙස ලබාගෙන!

 Untitled-2.gifbvjv

එක්‌ අයකුගෙන් රුපියල් ලක්‍ෂ දෙක බැගින් රුපියල් කෝටි හැටහයක පමණ මුදලක්‌ අල්ලස්‌ ලෙස ලබාගෙන 2015 වසරේ මාර්තු මාසයේ සිට 2017 ඔක්‌තෝබර් දක්‌වා වූ වසර දෙකහමාරක කාලය තුළ මෙරට කාන්තාවන් තුන්දහස්‌ දෙසීය අනූඅට දෙනකු (3298 ක්‌) විදේශ රැකියා සඳහා පිටත් කර යවමින් මිනිස්‌ ජාවාරමක යෙදුණු විදේශ සේවා කාර්යාංශයේ නිලධාරීන් කිහිපදෙනකු ගැන අල්ලස්‌ කොමිසම විශේෂ විමර්ශනයක්‌ අරඹා තිබේ.

මෙරට කාන්තාවන් විදේශ රැකියා සඳහා පිටත්ව යැමේදී අනිවාර්ය කර තිබෙන පවුල් පසුබිම් වාර්තා අනවශ්‍ය බව කියමින් විදේශ රැකියා කාර්යාංශයේ බලතල යොදාගෙන විශේෂ අනුමැතියක්‌ ලබාදී කාන්තාවන් විදේශගත කරමින් මෙම ජාවාරම කරගෙන ගොස්‌ ඇත.

අදාළ කාන්තාවන් සඳහා රැකියා එජන්සිකරුවන් විසින් විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ නිලධාරීන් කිහිපදෙනකුට මෙම අල්ලස්‌ මුදල් ලබා දී ඇති බවට ලැබුණු පැමිණිල්ලක්‌ මත කොමිසම මෙම විමර්ශනය අරඹා ඇත.

බාලවයස්‌කාර දැරියකව සිටියදී විදේශ රැකියාවකට ගොස්‌ සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී මරා දැමුණු රිසානා  දැරියගේ මරණයෙන් පසු මෙරට කාන්තාවන් රැකියා සඳහා විදේශගත වීමේදී මෙම පවුල් පසුබිම් වාර්තාව අනිවාර්ය නීතියක්‌ බවට පත්කෙරිණි.

එම වාර්තාව ලබා දීමේ පූර්ණ බලතල හිමිවූයේ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයටය. එම නීතිය හේතුවෙන් කාන්තාවන් රැකියා සඳහා පිටත් කර යෑවීමේදී රැකියා ඒජන්සිකරුවන් බරපතළ ගැටලුවකට මුහුණ දීමත් සමඟ විදේශ රැකියා කාර්යාංශයේ නිලධාරීන් පිරිසක්‌ ඒජන්සිකරුවන් සමඟ එක්‌ව ජාවාරමක්‌ ලෙස මෙය සිදු කර තිබෙන බවද සඳහන් වේ.

මෙම ජාවාරමට අනුව ඉකුත් සැප්තැම්බර් මාසයේ පළමු වැනිදා සිට ඔක්‌තෝබර් 10 දක්‌වා කාලය තුළ පමණක්‌ මෙසේ විදේශ රැකියා සඳහා කාන්තාවන් 44 දෙනකු පිටත් කර යවා ඇත.

මේ පිළිබඳව අල්ලස්‌ කොමිසම විමර්ශන ආරම්භ කිරීමත් සමඟ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ පරිගණක දත්ත අංශයේ නිලධාරියකු විමර්ශන නිලධාරීන්ට සහාය දක්‌වමින් මෙසේ විශේෂ අනුමැතිය මත විදේශ රැකියා සඳහා යෑවූ කාන්තාවන්ගේ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක්‌ ඔවුන් වෙත ලබා දී තිබේ.

එම සිද්ධියත් සමඟ අල්ලස්‌ නිලධාරීන්ට වාර්තාව ලබා දුන් නිලධාරියා මෙම මිනිස්‌ ජාවාරමට සම්බන්ධ කර ඔහුව බිල්ලට දීමේ කුමන්ත්‍රණයක්‌ දියත් වූ බවද විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයෙන් වාර්තාවේ.

ඒ අතරතුර ඉකුත් සතියේ එම නිලධාරියා කැඳවා ප්‍රකාශයක්‌ ලබා ගැනීමට අවශ්‍ය බව පවසා ඇති විදේශ සේවා කාර්යාංශ පොලිස්‌ ඒකකයේ නිලධාරීන් පසුව ඔහුව ප්‍රකාශයක්‌ ලබා ගැනීමකින් තොරවම පිටත් කර යවා ඊට දින කිහිපයකට පසු අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පරිගණක දත්ත අංශයේ නිලධාරියා විදේශ සේවා කාර්යාංශයේ පොලිස්‌ ඒකකය මගින් පෙරේදා (08 වැනිදා) කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 15 දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එම නිලධාරියා අත්අඩංගුවට ගැනීමට දින දෙකකට පමණ පෙර රාත්‍රී කාලයේ අංක 253-0720 දරණ සුදු වෑන් රථයකින් ඔහු පදිංචිව සිටි නිවසට පැමිණි කිසියම් පිරිසක්‌ එම නිලධාරියා සොයා ඔහුව පැහැරගෙන යැමටද උත්සාහ දරා ඇත.

මෙම ජාවාරමට සම්බන්ධකොට තමන්ව අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක්‌ පවතින බව සහ පැහැරගැනීමට සැරසෙන බව සඳහන් කරමින් එම නිලධාරියා විසින් ඉකුත් 30 සහ 31 දිනවල අල්ලස්‌ කොමිසමටත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි දෙකක්‌ද ඉදිරිපත් කර තිබේ.

පරිගණක දත්ත අංශයේ නිලධාරියා විසින් අල්ලස්‌ කොමිසමට සහ මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ පැමිණිලිවලද සඳහන් කර ඇති පරිදි ඔහුව පැහැරගැනීමට පැමිණි බව කියන අංක 253-0720 දරණ සුදු වෑන් රථය විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය කුලී පදනම මත ලබාගෙන ඇති වෑන් රථයක්‌ බව එම කාර්යාංශයේ නිලධාරියෙක්‌ සඳහන් කළේය.

අල්ලස්‌ කොමිසමේ නිලධාරීන්ට සහාය දැක්‌වූ පරිගණක දත්ත නිලධාරියා මෙම සිද්ධියට පැටලවිම පසුපස සිටිනුයේ මෙතෙක්‌ කලක්‌ විශේෂ අනුමැතිය මත කාන්තාවන් රට යවමින් මිනිස්‌ ජාවාරමක්‌ කරගෙන ගිය විදේශ සේවා නියුක්‌ත කාර්යාංශයේ දේශපාලන වශයෙන් ප්‍රබල උසස්‌ නිලධාරියකු සහ කාන්තා නිලධාරිනියන් දෙදෙනකුත් තවත් නිලධාරියකුත් බව එහි ඇතැම් සේවකයෝ සඳහන් කරති.

මෙම මිනිස්‌ ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයෙන් කරුණු දැන ගැනීම සඳහා එහි සභාපතිවරයාගේ අංක 0112867599 දරණ දුරකථනයට දින දෙකකදී අවස්‌ථා තුනකදීත් සාමාන්‍යාධිකාරිවරයාගේ අංක 0112864110 දුරකථනයට එක්‌ අවස්‌ථාවකදීත් ඇමතුම් ලබාගනු ලැබුවද ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක්‌ නොලැබිණි.

සභාපතිවරයාත් සාමාන්‍යාධිකාරිවරයාත් හදිසි රැස්‌විම්වල සිටින බව ඇමතුම්වලට ප්‍රතිචාර දැක්‌වූ නිලධාරිනියෝ දෙදෙනෙක්‌ සඳහන් කළහ.

About SirilakaNews

Check Also

Passport_1

ද්විත්ව පුරවැසිකම හිමි ද්‍රවිඩ සන්ධාන මංත්‍රිවරු රෑසක් පාර්ලිමේන්තුවේ!

  දෙරටක පුරවැසිකම හිමිකම් කීම පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෙකු ලෙස ක්‍රියාකිරිමට නුසුදුසුකමක් ලෙස සළකන බව වර්ථමාන ශ්‍රිලංකා ආණ්ඩුක්‍රම නීතියට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *