Home / පුවත් / මනුෂ්‍යත්වයට මග සොයන ඔබට ඒ සදහා මං පෙතක්!

මනුෂ්‍යත්වයට මග සොයන ඔබට ඒ සදහා මං පෙතක්!

samanmali

බළන්ගොඩ වෙළෙකුඹුර ප්‍රදේශයේ පදිංචි සේපාලිකා සමන්මලී දෙදරු මවකි. දුප්පත්කමත්, අසරණ බවත් හේතුවෙන් පමණටත් වඩා බැටකා සිටි ඇය මේ වන විට පසු වන්නේ කුරුවිට බන්ධනාගාරය තුළ මාස 06 ක සිරදඬුවම් විඳිමිනි. ඉකුත් 19 දා ඇයට සිරදඬුවම් නියම වන්නේ සිය සැමියා වෙනුවෙන් තබන ලද ශරීර ඇපයක්‌ හේතු වෙනි. ඇගේ සැමියා අධිකරණය මඟහැරීම හේතුවෙන් සේපාලිකා සමන්මලීට සිරබත් කෑමට සිදු වන්නේ නීතිය කාටත් පොදු දෙයක්‌ වීම හේතුවෙනි.

ඇගේ කටුමැටි ගසන ලද නිවස හුණු පිරියම්කොට ඇතත්, තැන තැන මැටිගුලි ගැළවී බට පතුරු මතුවී ඇති අතර බැලූ බැල්මට පෙනී යන්නේ එය කඩාවැටීමට ආසන්නව පවතින බවකි. එහි නිවසක අත්තම්මා කෙනකු සහ සිඟිති දරු පැටව් දෙදෙනෙකි. මේ කතාවේ රිදුම් උපදින තැන් මතු වන්නේ ඇගේ කතාවට සවන් දීමත් සමඟිනි. ඉහළට ගත් හුස්‌මක්‌ සුසුමක්‌ කොට පිට කරමින් ඇය කටහඬ අවදි කරන ලදී.

“මගෙ දුව බැඳල හිටියෙ නුවන් කියල ළමයෙක්‌ව. එයාට හරි හමන් රස්‌සාවක්‌ නෑ. ගෙයක්‌ දොරක්‌ නෑ. අපි මේ පදිංචිවෙලා ඉන්නෙත් කුලී ගෙදරක. මේ දරු පැටව් දෙන්නගෙන් එක්‌ කෙනකුට අවු. 2 යි. අනිත් එක්‌කෙනාට අවු. 3 යි. ඔහොම ඉන්න අතරෙ තමයි මේ දරුවන්ගෙ තාත්ත, නුවන් මේ ගමේම පුද්ගලයෙක්‌ එක්‌ක ආරවුලක්‌ ඇති කරගන්නෙ. ඒක පොලිසිය දක්‌වා දුරදිග ගිහින් අන්තිමට නතර වුණේ උසාවියෙන්. උසාවියට ඉදිරිපත් කළාට පස්‌සෙ රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක්‌ මත නුවන්ව මුදාහරින්න උසාවිය තීරණය කළා. මගේ බෑණගෙ කල්ක්‍රියාව හොඳ නැති හින්ද වෙන්න ඇති එයාට ඇප තියන්න කවුරුවත් හොයා ගන්න බැරිවුණේ. ඒ පාර තමයි මගේ දුව ඒ සඳහා ඉදිරිපත් වුණේ. ඇරත් තමන්ගෙ මනුස්‌සයනෙ…”

“එහෙම ඇප දීල ගෙදර ආවට පස්‌සෙ බෑණ රස්‌සාවකට යනව කියල ගෙදරින් පිටවුණා. ඒ ගියා ගියාමයි අද වෙනකම් කොහේ ඉන්නවද මොනව කරනවද කියල කවුරුවත් දන්නෙ නෑ. අඩුම තරමින් මේ දරු පැටව් දෙන්නගෙ මූණවත් බලල යන්න ගෙදර ආවෙ නෑ.

ඔහොම ඉන්න අතරෙ තමයි උසාවි එන්න කියල ගෙදරට සිතාසි එන්නෙ. එහෙම ගිය වෙලාවක උසාවියෙන් මගෙ දූට කියල තියෙනව මහත්තයව ඉන්න තැනකින් හොයාගෙන ඇවිත් උසාවියට ඉදිරිපත් කරන්න කියල.

අපිට ඒක කරගන්න බැරිවුණා. ඔය අතරෙ මගේ දූට මානසික රෝගයක්‌ හැදුණ. ඒකට බෙහෙත් ගත්තෙ මුල්ලේරියාවෙ මානසික රෝහලෙන්. ඒ වාර්තා පවා අපි ළඟ තියෙනව. මමත් රෝගීව ඉන්න හින්ද අන්තිමට දුව ගාමන්ට්‌ එකක රස්‌සාවට ගියා. මේ දරුවො දෙන්නට කන්න අඳින්න දෙන්නවත් විදිහක්‌ නැති හින්ද අසනීපෙට බෙහෙත් බොන ගමන් තමයි එයා රස්‌සාවට ගියේ.

“ඔය අතරෙ තමයි පහුගිය 19 වැනිදා උසාවි එන්න කියල ඇපකාරියට (දුවට) නියෝගයක්‌ ආවෙ. එදා අසල්වැසි ගෙදරකින් රුපියල් 200 ක්‌ ඉල්ලගෙන තමයි දුව උසාවි ගියෙ. මම දරු පැටව් දෙන්නත් බලාගෙන ගෙදර හිටිය. දවල් දවසෙම බලන් හිටියත් දූ ගෙදර ආවෙ නෑ. හැන්දෑවෙ පහට විතර පණිවිඩයක්‌ ආව එයාට මාස 06 ක හිරදඬුවමක්‌ නියමවෙලා කියල. මටවත් දුවටවත් නීතිය ගැන හරි හමන් දැනුමක්‌ තිබුණෙ නෑ. දැනගන්න කියල කාත් කවුරුවත් අපට ඇත්තෙත් නෑ. දුව රස්‌සාව කරල ගන්න කීයක්‌ හරි මුදල විතරයි අපි හතර දෙනාටම ජීවත් වෙන්න තිබුණෙ. මගේ සැමියා මියගිහින් හින්ද මමත් මෙහේ ආව. අපිට හිටියෙ එක දරුවයි…”

සේපාලිකා සමන්මලීගේ මව වන ජී. පත්මාවතී එසේ පවසමින් සිය දියණියට අත්ව ඇති ඉරණම පිළිබඳ විස්‌තර කරන්නට වූ අතර මව්කිරි බොන වියෙහි පසුවන සමන්මලීගේ දරු පැටවුන් දෙදෙනා සිය මිත්තනිය අසල දැවටෙන්නට වූහ.

“පොඩි දරුවට අවුරුදු දෙකයි. රෑ තිස්‌සෙ දරුව අඬනව. අම්මව අහනව. කිරි ඉල්ලනව. මම කියල මොනව කරන්නද මහත්තයො. රුපියල් ලක්‍ෂයක්‌ හොයල උසාවියට බැන්දොත් දූට නිදහස්‌ වෙන්න පුළුවන් කියල ආරංචියක්‌ තියෙනවා. ඒත් කෝ අපිට සල්ලි. එදා දූ ගෙදරින් යද්දි රුපියල් 200 ඉල්ලගෙන ගියෙත් ණයට. එයා දැනගෙන හිටියෙ නෑ හිරේට යන්න වෙයි කියල. කවුද විශ්වාස කරන්නෙ තමන්ගෙ මනුස්‌සය මේ වගේ දෙයක්‌ කරයිද කියල. මේ දරු පැටව් දෙන්නවත් අනාථ කරල අන්තිමට මගෙ කෙල්ලවත් හිරේ යවන්න තරම් මගෙ බෑණ නපුරුකම් කරයි කියල කවුද දෙයියනේ දන්නෙ. මේ දරුවො දෙන්නගේ නාමයෙන් හරි මගේ කෙල්ලව නිදහස්‌ කරගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්‌ මහත්තයො. දූව බලන්න එයාගෙ යාළුවෙක්‌ ගිහින් තියෙනව. වැළහින්නක්‌ වගේ අඬ අඬ එයාව බේරගන්න කියල කියනවලු…”

නීතිය කාටත් පොදු දෙයක්‌ය. දුප්පත් පොහොසත් භේදය හෝ වෙනත් කරුණු කාරණා හේතුවෙන් නීතිය නැමිය නොහැකිය. සමන්මලීට හිරබත් කෑමට සිදු වන්නේ එම නියමය අනුවය. ඇයට එම ඉරණමට මුහුණ පෑමට සිදු වන්නේ ඇගේ සැමියාගේ වරදින්ය. ශරීර ඇපයක බරපතළකම නොදන්නා සමන්මලී සිය සැමියා වෙනුවෙන් ඒ සඳහා ඉදිරිපත් වන අතර ඇගේ සැමියා වන නුවන් ඇයවද දරු පැටවුන් දෙදෙනාවද අතැර නිවසින් පැනගොස්‌ ඇත්තේ එම සිදුවීමෙන් අනතුරුවය.

ශරීර ඇපයක්‌ අත්සන් කළ තැනැත්තෙකු වෙතොත් ඔහු වෙත පැවරෙන වගකීම් කීපයක්‌ ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් වීමෙන් වැළකී සිටී නම් ශරීර ඇපය අත්සන් කළ තැනැත්තා විසින් සැකකරුව අධිකරණයට ඉදිරිපත් කළ යුතුය. නැතහොත් ඉදිරිපත් කිරීමට නොහැකි හේතු දන්වා සිටිය යුතුය. නොඑසේ නම් නියම කරන ලද ඇප මුදල දඩයක්‌ ලෙස ගෙවිය යුතුය. එසේ කිරීමට අපොහොසත් වේ නම් අධිකරණය විසින් පනවනු ලබන දඬුවමට යටත්විය යුතුය.

සමන්මලීට මාස 06 ක සිර දඬුවම් නියමව ඇත්තේ ඉහත සඳහන් කාරණා ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන්ය. ඇයගේ රෝගී තත්ත්වය හෝ වෙනත් මානුෂික හේතූන් ඇය විසින් අධිකරණයට ඉදිරිපත් කළේ නම් ඇයට යම් සහනයක්‌ ලැබෙනු ඇත. ඇගේ මව විසින් පවසා සිටියේ සිය දියණියට ඒ පිළිබඳව අවබෝධයක්‌ නොතිබූ බවය.

අවසානයේ දී සමන්මලීට සිදු වන්නේ සිය සැමියාගේ “නරුමකම” හමුවේ වරදකාරියක්‌ වීමටය. ඒ හේතුවෙන් මල් කැකු`ථ දෙකක්‌ බඳු සිඟිත්තන් දෙදෙනකුට මව් සෙනෙහස අහිමි වී හමාරය. පැටවුන් අම්මා ඉල්ලමින් හඬන අතර අත්තම්මා වන පත්මාවතීට එය කළ නොහැකි කාරියක්‌ වී ඇත.

සිය සැමියා හැරයැම මත මානසික රෝගී තත්ත්වයට පත් ගැහැණියක්‌ වූ සමන්මලී ඉන් නොනැවතී හිරකාරියක්‌ බවට පත්වන්නේ නීතියේ ඇති වරදක්‌ නිසා නොව ඇය සතු අසරණ භාවය හේතුවෙන්ය. ඇය හඬා වැටෙමින් ඉල්ලා සිටින්නේ තමන්ව බේරා ගන්නා ලෙසින්ය. ඇයට නිදහස හිමි වන්නට නම් එක්‌ දෙයක්‌ සම්පූර්ණ කළ යුතුය. නියමිත දඩ මුදල ගෙවීමෙන් මෙපිට ඇයට නිදහස හිමි නොවනු ඇත. නරුම සැමියෙකුගේ බිරිඳ වූ පවට ඇය හිරකාරියක්‌ වී ඇති බැවින් කිරි ඉල්ලා හඬන දරු පැටව්ගේ කුස ගින්දර නිවීම පිණිස ඇයට සිය දුප්පත් නිවසට පැමිණීමට කාරුණික මිනිසුන් එක්‌විය යුතුය. පාර පෙන්විය යුතුය.

රුවන් ජයවර්ධන
පසුබිම් වාර්තා හා ඡායාරූප
බළන්ගොඩ – එන්. එච්. පියසේන

About SirilakaNews

Check Also

download (1)

යාපනය අරියාලෛ උප පොලිස් පරීක්ෂකවරයකු, කොස්තාපල්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනී!

  යාපනය අරියාලෛ ප්‍රදේශයේ ඉකුත් 22 දින වෙඩි වැදී තරුණයෙක් මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය පොලිස් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *