Home / දේශපාලන / බැදුම්කර මගඩියේ ආණ්ඩුවේ දුෂිතයින් රටට හෙළිකරනවා!ජනාධිපතිතුමා කියයි.

බැදුම්කර මගඩියේ ආණ්ඩුවේ දුෂිතයින් රටට හෙළිකරනවා!ජනාධිපතිතුමා කියයි.

 sri-lanka-president-maithripala-sirisena

සාධාරණ සමාජයක්‌ උදෙසා රට ගොඩනැඟීමේදී ආණ්‌ඩුවේම කොටසක්‌ අද තමන්ට පහරගහන බවත් එහෙත් තමන් මේ යන්නේ හරිමග බව සෝභිත ස්‌වාමීන් වහන්සේ ජීවමානව සිටියා නම් අනුමත කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුව සිටි අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත ස්‌වාමීන් වහන්සේගේ දෙවැනි ගුණ සැමරුම් උත්සවයේදී ජනාධිපතිවරයා එසේ කීය.

බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේදී පැවැති එම උත්සවයේදී ජනාධිපතිවරයා තවදුරටත් මෙසේද පැවැසීය.

අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අපවත්වීමෙන් දෙවසරක්‌ පිරෙන අවස්‌ථාවේ උන්වහන්සේ සිහිපත් කරමින් මේ ගුණ සමරු උළෙල පවත්වන්නේ. උන්වහන්සේ සිහිපත් කරමින් ස්‌මාරකයක්‌ ඉදිකිරීමත් උන්වහන්සේ රටේ ජාතියේ අනාගතය සඳහා කළ උතුම් ශාසනික සේවාව ජාතික සේවාව සමාජ සේවාව වගේම උන්වහන්සේගේ මානවවාදී උතුම් ගුණාංග සිහිපත් කරමින් අපි උන්වහන්සේගේ ගුණ සමරනවා.

උන්වහන්සේ රෝගාතුර වෙලා හදිසියේම අපවත් වෙයි කියලා අපි කිසිවිටකත් බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් ලෝක ධර්මතාවය තුළ උන්වහන්සේ අපි බලාපොරොත්තු නොවුණු අවස්‌ථාවක රෝගාතුර වෙලා අපවත්වී වදාළා.

උන්වහන්සේ මම දන්නේ මීට අවුරුදු 25 කට විතර පෙර සිටයි. ශාසනික සේවාව වගේම සමාජය තුළ තිබෙන ගැටලුවලදී ඒවා නිරාකරණය කර ගන්න, යුද්ධය පැවති වකවානුව තුළ යුද්ධය පැවති ප්‍රදේශවල ගමක්‌ පාසා ගොස්‌ ඒ ප්‍රදේශවල ජනතාවගේ සුබසාධනය ඇති කරන්න, යුද්ධයෙන් පීඩාවට පත් වුණු ජනතාවගේ දුකසැප සොයා බලන්න, උන්වහන්සේ විශාල කැපවීමකින් කටයුතු කළා. ඒවගේම රට තුළ ඇති වුණු දේශපාලන විෂමතාවයන් නිවැරදි කරන්න උන්වහන්සේ කටයුතු කළා. පසුගිය කාලසීමාව තුළ ඇති වූ රටේ දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගෙන යහපත් රාජ්‍ය පාලනයක්‌ සඳහා රටට අවශ්‍ය දේශපාලන පෙරළියක්‌ සඳහා රටට අවශ්‍ය දේශපාලන විප්ලවයක්‌ සඳහා රටට අවශ්‍ය දේශපාලන පරිවර්තනයක්‌ සඳහා පොදුජන මතය ගොඩනගන්නට උන්වහන්සේ නායකත්වය දුන්නා. ඒ දේශපාලන පක්‌ෂයක ප්‍රතිපත්තියක්‌ මත පිහිටා නොවෙයි. එය සිදුකළේ දේශපාලන පක්‌ෂයක දර්ශනයක්‌ අනුව නොවෙයි. පැහැදිලි ලෙසම සමාජ සාධාරණත්වය ඉටු කර ගැනීමේ විශිෂ්ට මානවවාදී ගුණාංගය මත තමයි උන්වහන්සේ කටයුතු කළේ. එහි ඉතා වැදගත් පියවරක්‌ වශයෙන් තමයි පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‌ෂකයෙක්‌ පිළිබඳව සංකල්පය, අදහස, මතය මුල්කරගෙන ඒ සඳහා නායකත්වය දෙමින් දේශපාලන සංවිධාන, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන, විවිධ සමාජ සේවා ආයතන, විවිධ පුද්ගලයන් ඒකරාශී කරමින් ඉතාමත්ම සාර්ථක මෙහෙයක්‌ ඉටු කරනු ලැබුවේ. උන්වහන්සේගේ උත්සාහය ප්‍රතිඵල සහිත වුණා. ඵලදායී වුණා.

පොදු අපේක්‌ෂකයෙක්‌ තෝරා ගැනීමේ අරමුණ ජයගැනීමත්, මැතිවරණයට මුහුණ දීමත්, මැතිවරණ ජයග්‍රහණත් පහසු කාර්යයන් නොවෙයි. ඒවා ඉතාමත් අභියෝගාත්මක වූ ඉතාමත් සංකීර්ණ වූ ගැටලු සහගත වූ කාර්යයන් බවට පත්වී තිබුණා. නමුත් මේ රටේ ජනතාවගේ ආශිර්වාදයෙන් ඊට නායකත්වය දුන්න අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු සියලු දේශපාලන නායකයින්, දේශපාලන පක්‌ෂ, සිවිල් සංවිධාන, වෘත්තිය සමිති, ආගමික සංවිධාන ඒ සඳහා විශාල කැපවීමක්‌ කළා. එහි ප්‍රතිඵලයක්‌ විදියට තමයි මේ රටේ මැතිවරණ ඉතිහාසයේ රාජ්‍ය බලය, රාජ්‍ය සම්පත්, රාජ්‍ය දේපල, කිසිඳු ආකාරයකට අයථා විදියට පාවිච්චි නොකර මීට පෙර කිසිම මැතිවරණයක තිබුණු තත්ත්වයට වඩා ඉතාමත්ම බලවත් ලෙස රාජ්‍ය බලය, රාජ්‍ය දේපල, රාජ්‍ය වත්කම්, රාජ්‍ය භාණ්‌ඩාගාරය, රාජ්‍ය මාධ්‍ය ඒ සියල්ලම පාවිච්චි කරපු අපේක්‌ෂකයෙකු සමග අප ඒ මැතිවරණ ව්‍යාපාරයට මුහුණ දුන්නේ.

මේ රටේ කිසිම ජනාධිපතිවරයෙකුට, කිසිම අගමැතිවරයෙකුට මැතිවරණ ව්‍යාපාරයේදී මැතිවරණ වේදිකාවකදී ප්‍රතිවාදීන්ගෙන් ගල් මුල් එල්ල වෙලා තිබුණේ නැහැ. ඔබට මතක ඇති පැල්මඩුල්ල රැස්‌වීමේදී මම කතා කරන වෙලාවේ තමයි ඒ රැස්‌වීම කඩාකප්පල් කරන්න විශාල ගල්මුල් ප්‍රහාර සහ ප්‍රචණ්‌ඩත්වය ම්ලේච්ඡත්වය ක්‍රියාත්මක වුණේ. ඒවගේම මම කතා කරන්න සිටි ඇතැම් වේදිකාවල් ගිනි තිබ්බා. රාජ්‍ය මාධ්‍ය කිසිදු මැතිවරණයකදී හැසිරුණේ නැති ආකාරයට ඉතාම අසීලාචාර ලෙස හැසිරුණා. කරන්න පුළුවන් ඉහළම චරිත ඝාතන කළා. රජයේ මුදල් මැතිවරණ ව්‍යාපාරයට යෙදෙව්වා. ඒ සියල්ලත් සමඟ අවසානයේ ජනතාව ජයග්‍රහණය කළා. ඒ ජනතාව ජයග්‍රහණය කළ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා රජය භාරගත් අයගේ කැපවීම කොතෙක්‌ ලැබී තිබේද කියන කාරණාව අප විසින් සමාලෝචනය කළ යුතු වෙනවා.

මම මගේ මට්‌ටමින් කළ හැකි බොහෝ දේවල් කරලා තියෙනවා. කරගෙන යනවා. ලබන ජනවාරි 08 වන විට අවුරුදු තුනක්‌ පිරෙන ආණ්‌ඩුවේ අපි ලබපු ජයග්‍රහණ රාශියක්‌ තිබෙනවා. අපි ලබපු ජයග්‍රහණ ගැන අපි කතා කරන්නෙත් නැහැ. අපි ලබපු ජයග්‍රහණ ආණ්‌ඩුවේ මැති ඇමතිවරු කී දෙනාද කතා කරන්නේ. එක්‌ එක්‌ අමාත්‍යාංශ යටතේ කරලා තිබෙන සේවාවන් කී දෙනාද කතා කරන්නේ. 19 වැනි සංශෝධනයේ වැදගත්කම කී දෙනාද කතා කරන්නේ. පසුගිය ආණ්‌ඩුව කරන්න නොදුන්න ඖෂධ පනත අපි පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ රටේ සිදුකළ සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ වෙනස ගැන කවුද කතා කරන්නේ. මේ රටේ මනාප ඡන්ද ක්‍රමය ආරම්භ වූ දවසේ සිට, අශීලාචාර දේශපාලනයක්‌ නිර්මාණය වෙන්න හේතු වූ මනාප ඡන්ද ක්‍රමය අපිට පුළුවන් වුණා අහෝසි කරන්න. ඒ ගැන කී දෙනෙක්‌ කතා කරනවාද.

නමුත් උදේ සිට රාත්‍රී වනතෙක්‌ රාජ්‍ය මාධ්‍ය කෙසේ වෙතත් රාජ්‍ය නොවන මාධ්‍යවල ආණ්‌ඩුවට බණිනවා මිසක්‌ යහපත් දේවල්, කළ දේවල්, කරපු දේවල් ඒවා ගැන කතාවක්‌ නැහැ. අද අපි හොදට බැණුම් අහනවා පෙට්‌ට්‍රල් ප්‍රශ්නයට. මගේ කෑලි ගලවනවා. මට බණින අය හිතාගෙන ඉන්නවා මම තමයි ෂෙඩ්වල පෙට්‌ට්‍රල් බෙදන්නේ කියා. රෝහලක වැඩවර්ජනයක්‌ වූ විට මට බනිනවා. හිතාගෙන ඉන්නේ මම තමයි බෙහෙත් දෙන්නේ කියලා. පාසලකට ළමයෙක්‌ දාගන්න බැරි වුණාම ජනාධිපති තමයි වැරදිකාරයා. හිතන්නේ ජනාධිපති තමයි ළමයි දාන්නේ කියලා. මේකට හේතුවක්‌ තියෙනවා. ජනතාවගේ පැත්තෙන් එහෙම හිතන එක, බනින එක හරි. හේතුව කුමක්‌ද? ජනාධිපතිවරු පුරුදු කරලා තියෙනවා ඒ හැමදේම ජනාධිපතිවරයා විසින් කරලා. එයයි ඇත්ත කතාව. මේ රටේ ජනාධිපතිවරු පෙට්‌ට්‍රල් ශෙඩ්වල තෙල් ගහපු නැති එක විතරයි මම හිතන්නේ නොකළේ. අනිත් ඔක්‌කෝම කළා. එයයි ඇත්ත තත්ත්වය. අනිත් සියලු දේම කළා. ඒ නිසා රටේ සාමාන්‍ය ප්‍රශ්නයක්‌ ඇති වුණාම මිනිස්‌සු හිතනවා මේ ජනාධිපති කරන්න ඕන වැඩක්‌නේ ඒකනේ මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. එයා කරලා නැහැ. එයා බලලා නැහැ.

මේ තත්ත්වයන් එක්‌ක අපි රජයක්‌ විදියට කටයුතු කරනවානම් සම්මුතිවාදී ආණ්‌ඩුවක්‌ විදියට කටයුතු කරනවානම් අපි ඒ කතා කරන යහපාලනය, සමාජ සාධාරණත්වය, නීතියේ ආධිපත්‍ය ඒ සියල්ල සදහා අපි කැපවෙන්න ඕන. වැරදි කරපු ඕනෑම කෙනෙකුට වැරුද්දට විරුද්ධව ක්‍රියා කිරීම දඩුවම් කිරීම ඒකට කාටවත් විරුද්ධ වෙන්න බැහැ. එය හරියට ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක ක්‍රියාත්මක නොවන එක තමයි මටත් ප්‍රශ්නේ. පසුගිය කාලසීමාව තුළ ඇමති මණ්‌ඩලයේදී මම කතා කරපු දේවල් ඇමතිතුමාලා දන්නවා.

මහ බැංකුවේ සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් පත්කර තිබෙන ජනාධිපති කොමිෂන් සභාව මම පත්කිරීම පිළිබදව ආණ්‌ඩුවේම ඉතා සුළු පිරිසක්‌ මට විරුද්ධව දැඩි ලෙස චෝදනා කරනවා. ඉතා සුළු පිරිසක්‌ ඒ පිළිබදව මං ගැන බරපතළ වැරදි විග්‍රහයක්‌ කරනවා. ආණ්‌ඩුවේ ඉතා සුළු පිරිසක්‌ මට විරුද්ධව ෆේස්‌බුක්‌, වෙබ් සයිට්‌ කැම්පේන් කරනවා. සතිඅන්ත පුවත්පත්වල පිටු ගණන් අල්ලගෙන මුදල් වියදම් කරලා ලියවනවා. ලංකාවෙන් පිට තිබෙන මාධ්‍ය ආයතන අල්ලාගෙන ඒවාට මුදල් ලබාදී වියදම් කරලා ආණ්‌ඩුවේම සමහර අය අද මට ගහනවා. ඇයි මේ? මහ බැංකුවේ සිද්ධියට ජනාධිපති කොමිසමක්‌ පත්කිරීම. මම මේක සෝභිත හාමුදුරුවන්ගේ ගුණ සමරු වෙලාවේදී කියන්නේ, සෝභිත හාමුදුරුවෝ අද ජීවත්වෙලා සිටියානම් ජීවමානව සිටියානම් උන්වහන්සේ අනුමත කරනවා මම කළේ හරි දේ කියා. අපි මෙතන්නට ආවේ මොනවටද? අපි තිබුණු ආණ්‌ඩුව වෙනස්‌ කළේ මොනවටද? අපේ අරමුණ කුමක්‌ද? අපි ආවේ සාක්‌කු පුරවා ගන්නද? අපි ආවේ හොරකම් කරන්නද? මම ජනාධිපති කොමිසම පත්කෙරුවේ කිසිම ආණ්‌ඩුවේ පුද්ගලයෙක්‌ ඉලක්‌ක කරලා නොවෙයි. ආණ්‌ඩුවේ මැති ඇමතිවරු ඉලක්‌ක කරලා නෙවෙයි.

මේ ජනාධිපති කොමිසම පත්කරන අවස්‌ථාව වන විට මහ බැංකුවේ සිද්ධිය සම්බන්ධයෙන් මේ රටේ එදා ඒ වෙලාවේ තිබුණු තත්ත්වය රටේ ජනතාව දන්නවා. මේ ජනාධිපති කොමිසම පත්කරන අවස්‌ථාව වන විට මහබැංකුවේ සිද්ධිය සම්බන්ධයෙන් මේ රටේ එදා ඒ වෙලාවේ තිබුණු තත්ත්වය රටේ මහජනතාව දන්නවා. ඒ වෙලාවේ රට තුළ පොදු ජනතාවගේ හඩක්‌ ආවා. දේශපාලන පක්‌ෂ භේදයකින් තොරව සෑම තැනකින්ම හඩක්‌ ආවා බරපතල දූෂණයක්‌ වංචාවක්‌ වෙලා තියෙනවා, මේකට අවශ්‍ය පියවර වහාම ගන්න කියලා. මේකට ජනාධිපති කොමිසමක්‌ පත්කරන්න කියලා. මම ඒ දේ කළා.

2015 ජනවාරි 8 ඡන්දයෙන් දිනලා 9 වෙනිදා දිව්රුම් දුන්නා. මහබැංකු සිදුවීම වුණේ ආණ්‌ඩුව හදලා මාස තුනකින්. ආණ්‌ඩුව හදලා මාස තුනෙන් මේ විනාශය කළා. මේකට වගකිවයුත්තෝ වග කියන්න ඕනෑ. මම තනතුරු වලට ආස මිනිහෙක්‌ නෙවෙයි. මම ආව වගේම යන්න ඉන්න මිනිහෙක්‌. මම යන්න මිසක්‌ ඉන්න ආ කෙනෙක්‌ නෙවෙයි. හැබැයි මම කරන වැඩේ හරියට කරන්න මට සහයෝගය ඕනෑ. ඒකයි මම කියන්නේ. විඡේසූරිය මහත්මයා කියපු නඩුවල තත්ත්වය ගත්විට මට ප්‍රසිද්ධියේ කියන්න බැරි දේවල් තියෙනවා. මම මෙතන ඉදගෙන ඉන්න වෙලාවෙත් ඇමතිතුවරුන් සමඟ ඊයේ පෙරේදා වුණ සිද්ධියක්‌ කිව්වා.

අපි ආවේ ඒ විදියේ ආණ්‌ඩුවක්‌ කරන්න නම් නොවෙයි. අපි අරමුණ පවිත්‍ර ෙච්තනාවෙන් නම් ඒ ෙච්තනාවෙන් ඒ අරමුණු ඉෂ්ට කරගන්න වැඩ කරන්න ඕනෑ. සරත් විඡේසූරිය මහත්මයා කිව්වා වගේ අපට තවමත් කාලය තියෙනවා. වසර තුනක්‌ කරපු හොද වැඩ ජනතාවට කියන්න වගේම වසර තුනක්‌ කරපු සමහර අයගේ වැරදි වැඩ නිවැරදි කරගෙන ආණ්‌ඩුවක්‌ විදියට ඉදිරියට යන්න අපට තවමත් කාලය තියෙනවා.

බොහෝ ප්‍රශ්න වලදී බොහෝ දෙනා කියනවා ඇයි ජනාධිපතිතුමාට මේක කරන්න බැරිද කියලා. ජනාධිපතිතුමාට කරන්න පුළුවන්නේ ඇයි කරන්නේ නැත්තේ කියලා කියනවා. නමුත් සම්මුතිවාදී ආණ්‌ඩුවක තිබිය යුතු එකගතාවයන් හා සම්බන්ධතාවය ශක්‌තිමත් කර ගැනීම අවශ්‍යයි. මේ රටේ මහජනතාව, නීති විශාරදයෝ කිසි කෙනෙක්‌ මේ අත්දැකීම් මීට පෙර විදලා නැහැ. මේක අලූත් අත්දැකීමක්‌. මේ ගැන උගන්වන්න කාටවත් බැහැ. අද තිබෙන සම්මුතිවාදී ආණ්‌ඩුව කරගෙන යන විදිය පිළිබදව අපිට උගන්වන්න කවුරුත් නෑනේ. එහෙම එකක්‌ මීට පෙර මේ රටේ නැහැ. මම දන්න විදියට ලෝකයේත් නැහැ. ජර්මනිය වගේ රටක ආණ්‌ඩුවයි විපක්‌ෂයයි එකතුවෙලා ආණ්‌ඩුව කරගෙන යනවා.

m31

නමුත් අපේ තිබෙන විශේෂත්වය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ලේකම්වරයා තමයි එක්‌සත් ජාතික පක්‌ෂය ප්‍රමුඛ පක්‌ෂ පොදු අපේක්‌ෂකයා විදියට තෝරා ගත්තේ. මේ ප්‍රශ්න හරි සංකීර්ණයි. වසර 60 ක්‌ 64 ක්‌ ගහගත්ත පක්‌ෂ දෙක තමයි. මම කෙරෙහි විශ්වාසයක්‌ තියලා මාව පොදු අපේක්‌ෂකයා කරලා ජනාධිපතිවරයා විදියට පත්කරගත්තානේ. ඒ විශ්වාසය එක්‌ක සියලුදෙනා වැඩකරන්න ඕනෑ. ඒ සාමූහිකත්වය තියෙන්නට ඕනෑ. වැරදි නම් වැරදි දේ කවුරු කළත් වැරදියි. වැරදි කරන සියලුදෙනාට විරුද්ධව ආණ්‌ඩුවෙ ද විපක්‌ෂයෙ ද කොහෙද කොතන ද ඕනෑ කෙනෙක්‌ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ.

මේ රටේ ජනතාව මා කෙරේ විශ්වාසය තබලා මාව තෝරා ගත්තා. විපක්‌ෂයෙන් මට ගහන ඒවාට මට මුහුණ දෙන්න පුළුවන්. ආණ්‌ඩුවෙන් ගහන ඒවාටත් මට මුහුණ දෙන්න පුළුවන්. ආණ්‌ඩුවේ කොටසකට මම මේ කියන්නේ. ආණ්‌ඩුවේ කොටසක්‌ මට ගහන්නේ සෝභිත ස්‌වාමීන් වහන්සේ බලාපොරොත්තු වූ අරමුණ ඉෂ්ට කරන්නට යන නිසයි. මම ඒක පැහැදිලිව කියන්නට ඕනෑ.

ඒ නිසා මේ සියලු දේ එක්‌ක අපේ ප්‍රතිපත්තිය, යුතුකම විය යුත්තේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් උන් වහන්සේ බලාපොරොත්තු වූ සාධාරණ සමාජයක්‌ උදෙසා වූ ඒ සියල්ල ඉටුකිරීමයි. ඒ සදහා අපි කැපවෙමුයි කියන ඉල්ලීම කරමින් මා නිහඩ වනවා.

මහාචාර්ය සරත් විඡේසූරිය මහතා

සෝභිත හිමියන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සාධාරණ සමාජයක්‌ ප්‍රාර්ථනා කළා. යුක්‌තිය, සාධාරණය, සමාජ සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් පෙනී සිටියා.

ඒත් උන්වහන්සේ ප්‍රාර්ථනා කළ ලෝකය ඉටු වුණේ නැහැ. නීතියේ සාධාරණය ඉටුවෙලා නැහැ.

සෝභිත හිමියන් රට යහමඟට ගන්න දොළොස්‌ වැදැරුම් යෝජනාවලියක්‌ ඉදිරිපත් කළා.

ඒ යෝජනා කිසිවක්‌ ඉටු නොවීම කනගාටුවට කරුණක්‌.

ඒ අරමුණ ඉටු නොවුණු නිසා සෝභිත හිමියන්ගේ පළමු ගුණානුස්‌මරණ උත්සවයේදී අපි කරුණු 8 ක යෝජනාවලියක්‌ ඉදිරිපත් කළා. රට වෙනුවෙන් අපි ඉදිරිපත් කළ ඒ අරමුණු ඉටු වුණෙත් නැහැ. විශේෂයෙන් අධිකරණයේ ස්‌වාධීනත්වය ගැන අපි එහිදී යෝජනා ගෙන ආවා.

ඒ අරමුණු ඉටු නොවුණු නිසා පළමු ගුණානුස්‌මරණ අවස්‌ථාවේදී ඉදිරිපත් කළ ඒ යෝජනා 8 ම මෙවරත් අපිට ඉදිරිපත් කරන්න සිදුවුණා.

වැරදි කළ අය අත්අඩංගුවට ගන්නේ නැහැ. ඒත් සිවිල් සංවිධාන සහ සමාජයෙන් ලොකු බලපෑමක්‌ එල්ල වුණ විට කාවහරි අත්අඩංගුවට ගන්නවා. ඒත් හැරෙන තැපෑලෙන් ඔවුන්ට ඇප ලැබෙනවා. සෝභිත හිමි පැතූ ලෝකය නොවෙයි අද තිබෙන්නේ.

නීතිය, සාධාරණත්වය ඉටු කිරීමට සිටින පොලිස්‌පති, පොලිස්‌ නිලධාරීන්ට භාවනා පංති කරනවා. ඔවුන් භාවනානුයෝගීව සිටින නිසා ද කොහෙද අපරාධකරුවන්ට නිදහසේ සමාජයේ සැරිසරන්න අවස්‌ථාව උදාවෙලා ද කියන සැකය අප තුළ පැන නඟිනවා.

About SirilakaNews

Check Also

download

ද්විත්ව පුරවැසි ප්‍රශ්නය රාජපක්‌ෂවරුන් දේශපාලනයෙන් අතුගා දැමීමේ කූට අරමුණින් ආණ්‌ඩුව ගෙන එන ලද සංශෝධනයක්‌!උදය ගම්මන්පිල

  ද්විත්ව පුරවැසිභාවය ඇති ඇමැතිවරයෙක්‌ ද සිටියදී ඔබට පමණක්‌ මේ නීතිය බලපාන්නේ ඇයි කියා ස්‌විට්‌සර්ලන්ත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *