Breaking News
Home / කලා / සිංහල ප්‍රවෘත්ති කියන මුල්ම මුස්ලිම් යුවතිය ෆාතිමා නස්රින්

සිංහල ප්‍රවෘත්ති කියන මුල්ම මුස්ලිම් යුවතිය ෆාතිමා නස්රින්

අද සිට මේ ඇරැඹෙන්නේ පුංචි තිරයේ නිවේදක නිවේදිකාවන් සොයා යන ගමනකි. එහිදී ප්‍රවෘත්ති පූරකයන් විශේෂයි. ඒ අතරින් හා හා පුරා කියා මේ පත්ඉරුව සරසන තැනැත්තිය අති විශේෂයි. එක අතකින් ඇය ලාංකික නිවේදන ඉතිහාසයේ වාර්තාවකට හිමිකම් කියන්නියකි. ඇගේ රුව දුටු විගස නම් ඔබට ඇය පිළිබඳ කිනම් හෝ විශේෂත්වයක් ඇති නොවනු ඇත. එහෙත් බලන්නකො ඇගේ නම. ෆාතිමා නස්රින්. ඔව්… ඇය මෙරට ටෙලිවිෂන් ක්ෂේත්‍රයේ සිංහල පුවත් ඉදිරිපත් කරන පළමු මුස්ලිම් ජාතික නිවේදිකාව ලෙස ද වාර්තා පොතට එක් වී හමාරය.

ෆාතිමා ඔබ ඒ ගැන ආඩම්බරයෙන් ද ඉන්නේ?

සැබවින්ම ඔව්. මම ප්‍රවෘත්ති කියන්න ආවට පසු සොයලා බැලුවා මං වගේ අය ඉඳලා තියෙනවද කියලා. ගැහැනු අය නම් නැහැ. නමුත් පිරිමි අය ඉන්නවා. ඔහු ඉම්රාන් හමීඩ්. මං දන්න විදිහට මම තමයි මුස්ලිම් ජාතික පළමු සිංහල පුවත් ඉදිරිපත් කරන්නිය. පුංචි ආඩම්බරයක් නැති ද ඉතින්.

කොයි කාලයේ පටන් ද ඔබ හෙළ බසට පෙම් බඳින්නේ?

පුංචි කාලයේ ඉඳන්ම මට සිංහල හොඳට පුළුවන්. මගේ අම්මා තාත්තා පවා කතා කරන්නේ සිංහලෙන්. අයියලා දෙන්නටත් එහෙමයි. ඒ සමඟම මට ලොකු හීනයක් තිබුණා නිවේදිකාවක් වෙන්න. හැකියාවකුත් තියෙනවා කියලා මං දන්නවා. ඒ බලාපොරොත්තු පොදි බැඳන් තමයි ජීවත් වුණේ.

කොහොමද ඔබ ස්වර්ණවාහිනියට බැඳෙන්නේ?

සම්මුඛ පරීක්ෂණයකින් තමයි මට ස්වර්ණවාහිනියට එන්න ලැබුණේ.

ඉන්ටර්විව් එකේදී ඔබ මුස්ලිම් කියලා දැනගත්තම මොන වගේ ප්‍රතිචාරයක් ද ලැබුණේ?

පරීක්ෂණයේදී පළමු වටයේදී අංකවලට තමයි අපට ඇතුළට කතා කළේ. මං ඉන් සමත් වුණා. දෙවන වටයේදියි මට නම කියන්න වුණේ. මගේ නම අහලා ඉන්ටර්විව් බෝඩ් එක පුදුම වුණා. ඊටත් වඩා පුදුම වුණා මගේ ප්‍රසන්ටේෂන් එක අහලා. දළදා මාළිගාව ගැනයි මං ඉදිරිපත් කළේ. පුළුවන් උපරිමයෙන් මං අදහස් දැක්වූවා. ඒ ඉදිරිපත් කිරීම මත මට නිවේදිකාවක් වන්නට අවස්ථාව ලැබුණා.

පළමුව ප්‍රවෘත්ති ඉදිරිපත් කළ දිනය මතකද?

ඔව්. 2016 නොවැම්බර් 10.

තවම අවුරුද්දක්වත් නැහැ නේද ප්‍රවෘත්ති කියන්න ඇවිල්ලා?

ඒක තමයි, ඒ වුණාට රටේ කතාබහ වෙන චරිතයක් වෙන්න මට හැකියාව ලැබුණා.

මුස්ලිම් ජාතික කාන්තාවන්ට විවිධ වාරණ තියෙනවා. ඒ තත්ත්වය මත ඔබට බාධක ආවේ නැද්ද?

මුස්ලිම් කාන්තාවන් රැකියාවන් කරනවා අඩුයි. ඒ අතරින් මේ වගේ සමාජශීලී රැකියාවක් කරද්දි නොයෙක් දෙනා කරන කියන දේවලුත් වැඩියි. මගේ මූණට කිව්වේ නැති වුණාට අපේ අම්මලට එහෙම නම් එක එක අය කියලා තියෙනවා මාව ඔය වගේ දේවල්වලට යවන්න එපා කියලා. නමුත් මගේ මව්පියන් මාව තේරුම් අරගෙන නිදහසේ මට රැකියාව කරගෙන යන්න ඉඩ සලස්වලා තියෙනවා.

ප්‍රවෘත්ති කියද්දි සිංහල වචන පැටලිලා නැතිද?

එක ළඟ සමහර වචන පැටලිලා තියෙනවා. නමුත් දැන් එහෙම වෙනවා අඩුයි.

ප්‍රවෘත්ති කියද්දී වෙච්ච අමතක නොවන අත්දැකීමක් දෙකක් කියන්න බලන්න?

දවසක් මට ප්‍රවෘත්ති කියන්න යද්දී ක්ලාන්ත ගතියක් ආවා. එදා කොහොමත් මං අසනීප වෙලා හිටියේ. මම ටක් ගාලා වෙන කෙනෙකුට අවස්ථාව දුන්නා. නැතිනම් ඔන් එයාර් කලන්තෙ හැදිලා නියම වැඩක් වෙනවා. සමහර ප්‍රවෘත්ති හරිම සංවේදියි. මට ඒ වගේ නිවුස් කියද්දී ඇසට කඳුළක් උනනවා. මේ ළඟදී දවසක ආබාධිත නිවුන් දරුවන් ගැන පුවතක් කියලා ඉවර වුණාම ඇස් දෙකේ කඳුළු පිරුණා.

ෆාතිමාගේ පාසල මතක් කළොත්?

මහනුවර ශාන්ත අන්තෝනි විදුහල.

ගම මහනුවරද?

නුවරට ටිකක් එහා කටුගස්තොට.

ෆාතිමාගේ උපන් දිනයත් සඳහන් කළොත්?

1996 නෙවැම්බර් 22. මම ප්‍රවෘත්ති කිව්වේ නොවැම්බර් පළමුවැනිදා.

මේතාක් පැමිණි ගමනට උදව් කළ පිරිස මතක් කළොත්?

ස්වර්ණවාහිනී ප්‍රධාන විධායක අධ්‍යක්ෂ මහේන් පෙරේරා, ජ්‍යෙෂ්ඨ නිවේදක නිවේදිකාවන්. මගේ පාසලේ විදුහල්පතිනිය පත්මා ලේකම්ගේ මහත්මිය. අම්මා, තාත්තා, සහෝදරයන් දෙදෙනා සහ ස්වර්ණවාහිනි පිරිවර.

ඔබ ගැන කෙටියෙන් හැඳින්නුවොත්?

හරිම මිත්‍රශීලී කෙනෙක්.

අන්තර්ජාලය ඇසුරෙනි.

About SirilakaNews

Check Also

Untitled-1nvzkhz

එක රෑයකින් රටේ ජනප්‍රියම නළුවා වු තුමිදු ඩොඩන්තැන්න! Tumidu Dodantanna the most popular Actor in the cuntry, was one night

තුමිඳු දොඩන්තැන්න හඳුන්වාදෙන්න වැඩිය අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැහැ. අපේ රටේ පමණක් නොවෙයි ලෝකය පුරාම, ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *