Breaking News
Home / දේශපාලන / අතිගරු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකසත් ජතීන්ගේ සංවිධානයේ මහ මණ්ඩල සමුළුව අමතා කල කතාව.

අතිගරු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකසත් ජතීන්ගේ සංවිධානයේ මහ මණ්ඩල සමුළුව අමතා කල කතාව.

page-04

 ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතීන්ගේ 72 වැනි සමුළුව අමතා කරන ලද දේශනය ජගත් රාජ්‍ය නායකයන්ගේ ප්‍රසාදයට පමණක් නොව අවධානයටද ලක් වූ බව ඔවුන් එයට දැක්වූ උණුසුම් ප්‍රතිචාරයෙන්ම පැහැදිලි විය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස තෙවන වරටත් ජගත් සමුළුව ඇමතීමේ භාග්‍යය හිමි කරගත් ආසියාවේ කුඩා දිවයිනක රාජ්‍ය නායකයකුගේ දේශපාලන දැක්ම මතු නොව පන්ති හැඟීමෙන් යුතු රාජ්‍යතාන්ත්‍රිකයකුගේ හෘදයසාක්ෂියද විදහා පෑ අපූර්ව ප්‍රකාශනයක් ලෙස ඒ දේශනය සැලකිය හැකිය. දේශපාලන න්‍යාය එහි භාවිතය හා ශ්‍රී ලාංකික අත්දැකීම් යන සියල්ලෙහි මනා සුසංයෝගයක් ඒ අදහස් තුළ ගැබ්ව තිබිණි.

ස්වකීය දේශපාලන ජීවිතයේ දීර්ඝ කාලයක් මහජන මන්ත්‍රීවරයකු හා ඇමැතිවරයකු ලෙස ගත කළා වූද ශ්‍රී ලාංකික සංස්කෘතික ආධ්‍යාත්මයේ සංකේතයක් ලෙස ජගත් නායකයන්ගේ නොමඳ ප්‍රසාදයට පාත්‍ර වූද ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ වාගාඩම්බරයෙන් පරිපූර්ණ කථන විලාසය ජගත් රාජ්‍ය නායකයන් ප්‍රමුඛ ප්‍රේක්ෂාගාරයේම උ‍ද්‍යෝගයට මෙන්ම අවධානයටද ලක් වූ වග නිසැකය. ඔවුන්ට සිය දෙසවන් හා සම්බන්ධව තිබුණු විද්යුත් මෙවලම්වල ආධාරයෙන්, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සමාජ ආර්ථික දේශපාලන විශ්ලේෂණය නිවැරදිව හා ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි බසින් ශ්‍රවණය කිරීමේ පහසුකම්ද විය. ජගත් සමුළුව ඇමතීමේදි ප්‍රබල රාජ්‍ය නායකයන් විසින්ද අනුගමනය කරන ලද පිළිවෙත වූයේ සිය රටේ ප්‍රධාන භාෂාවකින් අදහස් ප්‍රකාශ කිරීමය.

කෙසේ වුවද ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ දේශනයේ සමුදයාර්ථය වූයේ ගෙවී ගිය දසක කීපය මුළුල්ලේ ලෝක ඉතිහාසය හා නුතන ගෝලීය ප්‍රවණතාවන්හි ගතිලක්ෂණ, චලනයන් හා එමගින් ප්‍රකම්පිත ජාත්‍යන්තර රිද්මය හා ශ්‍රී ලාංකික සුවිශේෂත්වය පෙන්වා දීමය. 2015 ජනවාරි 08 වැනිදා මෙරටේ සිදු වූ අලුත් ඇරඹුම හා එයට සරිලන ලෙස සිදු වූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කදිම විග්‍රහයක් කළේය. මෙහිලා අතිශය වැදගත් කරුණ වූයේ ලෝකයේ කිසිදු රටක මෙතෙක් සිදු වී ඇති බවට ඉතිහාසයක ‍හෝ සඳහන් වී නොමැති බලය අත් හැරීමේ න්‍යාය ස්ථාපිත කිරීමට ගත් පියවරය. සැබැවින්ම ලෝකයේ කිසිදු රටක කිසිදු නායකයකුට නොමැති අසීමිත බලයක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති සතු විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් ලබා දී තිබුණු එම බලය නිසැකයෙන්ම ඒකාධිපතියකු නිර්මාණය කිරීමට ඉවහල් විය. මේ ජනාධිපතිවරයාගේ විග්‍රහයයි.

“බලයට පත් වූ නායකයෙක් එවැනි අසීමිත බලතල රාශියක්, සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ, තනතුර තුළ තිබියදී එම බලය, බලයේ සිටින අවස්ථාවේ තමා විසින්ම අත්හළ, පාර්ලිමේන්තුවට පැවරූ නායකයෙක් විදිහට මගේ රටේ දේශපාලනයටත්, ජාත්‍යන්තර දේශපාලනයටත් බලය අත්හැරීම පිළිබඳ ආදර්ශය මා විසින් දී තිබෙනවා.” සැබැවින්ම ශ්‍රී ලංකාව තුළ සිටි ජනාධිපතිවරුන් හා ජනාධිපතිනිය ක්‍රියා කළ ආකාරය පිළිබඳ බොහෝ විවේචන තිබේ. ජේආර්ගේ සිට මහින්ද දක්වා වූ විධායක ජනාධිපති ධුරයේ බරපතළම විවේචන එල්ල වූයේ හිටපු ජනාධිපති මහින්දට බව රහසක් නොවේ. ඔහුගේ විධායක බලය ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම රටේ ජනතා අභිලාෂයන්ටද අභියෝගයක් වූ බවට නැගුණු චෝදනාව නිසාම බලය අතහැර යෑමට ඔහුට සිදු විය. පාර්ලිමේන්තුව තුළ කෙබඳු නියෝජනයක් තිබුණත් විධායකයට කිසිදු අභියෝගයක් එල්ල කිරීමට එම ක්‍රමය තුළ වූයේ සීමිත අවකාශයක් පමණි. විධායකය අපේක්ෂා කරන දේ ක්‍රියාවට නැංවීම වැළැක්වීමට එදා ඉඩක් නොවීය. තමන්ගේ පක්ෂය තුළද නායකයාට හිමිව තිබුණේ සුපිරි බලයකි. ඔහු කිසි විටෙක කිසිදු විරෝධයක් ගණන් නොගත්තේය. විධායක බලයත් ශ්‍රී ල.නි.ප.යත් තම සිතැඟි පරිදි මෙහෙයවූ තමන්ගේම නායකයාට එරෙහිව නැගී සිටීමට තරම් ආත්ම විශ්වාසයක් හා අධිෂ්ඨානයක් මෛත්‍රී නම් වු පොදු අපේක්ෂකයාට නොවී නම් මේ රට අද තිබෙන්නේ කොතැනකද? මෛත්‍රී අලුත් යුගයක නිමැවුම්කරුවකු වන්නේද මේ දේශපාලන යථාර්ථය තුළය. ඔහු වටා එක්-රොක් වූ සිංහල, දෙමළ, මුස්ලිම් ආදි සියලු බලවේගවලට අර්ථ පූර්ණ විජයග්‍රහණයක් ලබා දුන් මෙම ගැමි නායකයා කිසිදු චකිතයකින් තොරව තම බලය ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකට සීමා කිරීම විස්මිත ක්‍රියාවක් බව ඒ විග්‍රහය ඇසු අයට පසක් වූවා නිසැකය. මෛත්‍රී ජනාධිපතිවරයා ජගත් ප්‍රජාව අබියස කියා සිටියේ ආඥාදායක ස්වරූපයෙන්, තනි බලය සුරතට ගත් කණ්ඩායමක් විසින් තම මාතෘ භූමියට අහිමි කරන ලද සියල්ල මේ වන විට ලබා දීමට තම රජය ක්‍රියා කර ඇති බවය. ගෙවී ගිය දෙවසර තුළ සිදු වූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ බොහෝය. මානව හිමිකම් තබා මූලික මනුෂ්‍ය සදාචාරයද බිඳිමින් කළ පහරදීම්, අතුරුදන් වීම්, ගස් බැදීම්, දූෂිතයන්ට රැකවරණ ලබා දීම්, පොදු සම්මුතියක් ලෙස සලකා නිහඬව, කරබාගෙන ජීවත් වූ සමාජය අවදි කරවීමට හැකි වූයේ මෛත්‍රීගේ විධායක මෙහෙයුම නිසා බව අද සමහරුන්ට අමතක වී තිබේ.

අද පාර්ලිමේන්තුව තුළ තිබෙන සමථයකට පත් කළ නොහැකි ගැටුම් යහපත් ප්‍රවණතාවක් නොවුවද එයට ඉඩ සැලසී තිබෙන්නේද මෛත්‍රීගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නිසා බව රටම දනී. එදා හික්මීයන් සේ විධායකය අබියස කරබා ගෙන සිටි අය අද හැසිරෙන විලාසය මෙන්ම කරන ඝෝෂාවද මේ ප්‍රජාතන්ත්‍රවාදී සීලය නිසා හිමි වූ දේවල්ය. ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ඇඟලාගත් විධායකය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදයේ ජීව ගුණය සපිරි විධායකයක් සමඟ රට ගමන් කරන බව ජාත්‍යන්තරයට තහවුරු කිරීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට අවශ්‍ය විය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් යන ගමනකි; මානව හිමිකම් සුරකිමින් යන ගමනකි. මූලික අයිතිවාසිකම් වලට ගරු කරමින් ජාත්‍යන්තර හොද හිත බිඳ නොගනිමින් යන මේ ගමනට ජගත් සංවිධානයේ සහයෝගය, ආශිර්වාදය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. මේ ගමන හා එකඟ නොවන පිරිස් තම මවුබිමේ සිටින බවද ජනාධිපතිවරයා මෙසේ අවධාරණය කර ඇත: ‘‘ඇතැම් අන්තවාදී පිරිස් වේගවත් ගමනක් බලාපොරොත්තු වෙනවා. ඇතැම් අන්තවාදී පිරිස් කඩිනම් විසඳුම් බලාපොරොත්තු වෙනවා. නමුත් වසර 30 කට ආසන්න කාලයක් යුද්ධයක් පැවති රටක් විදිහට, බෙදීම් තිබුණ රටක් විදිහට, රට තුළ ජනතාවගේ සමගිය ඇති කරලා ඒ සමගිය තුළ සහෝදරත්වය ගොඩ නගලා මගේ ආදරණීය රටත් ජනතාවත් ගොඩ නගන්නට, ශක්තිමත් කරන්නට ඔබ සියලු දෙනාගේම සහාය ඉල්ලා සිටිනවා. ඒ නිසයි මා මෙහිදී ඉතා පැහැදිලිව කියන්නේ සෙමින් යන සාර්ථක ගමනක් සඳහා අපට අවශ්‍ය සහයෝගය දෙන්න කියලා. වේගවත් ගමන අනතුරු සහිතයි කියලා”

මෙය අද දවසේ ශ්‍රී ලංකාවේ දේශපාලන යථාර්ථයද වේ. මේ ආණ්ඩුවේ සංහිඳියා පිළිවෙත සමහරුන්ට ඇදය. ආර්ථික සමෘද්ධිය සමඟ විනය ගරුක රටක් ගොඩ නැංවීම සමහරුන්ට උභතෝකෝටියකි. එදා ආර්ථිකයේ යතුර තිබුණේ රාජපක්ෂවරුන් අතය. එයට පිටින් ක්‍රියා කළ හැකි නිල, බල, බාහිර කිසිවකුට නොවීය. මහ පරිමානයේ ව්‍යාපෘති, සංවර්ධන සැලසුම් සියල්ල ඔවුන්ගේ අභිමතය විය.

එහෙත් යුද්ධයෙන් පසු පීඩනයට පත් ජනකොටස්වලට ලැබුණු සහනය කුමක්ද? දේශිය ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත් පියවර කුමක්ද? මේ තත්වයෙන් මිදීම සඳහා 2017 වසර දුගී භාවයෙන් නිදහස් වීමේ වර්ෂය ලෙස නම් කර තිබෙන බවද ජනාධිපතිවරයා සිය දේශනයේදී සඳහන් කළේය.

දේශීය වශයෙන් විධිමත් දැක්මක් අනුව සැලසුම් සැකසීම මෙන්ම ගෝලීය වශයෙන් සිදුවන ක්‍රියාදාමයන්ද කාලගුණික හා දේශගුණික විපර්යාසයන්ද නොතකා ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි බවද මෛත්‍රී ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණි. පැරිස් සමුළුවේ එකඟතාවන්ට ගරු කිරීම මෙන්ම ජගත් සම්මූතීන්ට එකඟව ක්‍රියා කිරීමේ අභිලාෂය ගැනද එහිදී අවධාරණය කෙරුණි. පැරිස් සම්මුතියෙන් ඉවත්ව සිටින ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අබියස මෙබඳු ප්‍රකාශයක් කිරීමට තරම් අදීන හා ශක්තිමත් දේශපාලන පන්නරයක් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාට හිමි වී තිබීමද විශේෂත්වයකි. මෛත්‍රී ජනාධිපතිවරයාගේ හෘදයංගම විෂය ක්ෂේත්‍රයක් වන පරිසර සංරක්ෂණය සමඟ යන තිරසර සංවර්ධනය ගැනද මෙහිදී අවධාරණය කර ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ දේශීය කෘෂිකර්මාන්තයට යොමු වූ අවධානය අඩු විය. කාර්මිකකරණයට දක්වන උනන්දුව ඊට වඩා බොහෝ වැඩිය. එහෙත් මෛත්‍රී යනු රජරට පොළවෙන් ද වැවෙන් හා කුඹුරෙන් පන්නරය ලද නායකත්වයක අපූර්ව නිෂ්පාදනයකි. වියළි මුඩුබිම්වලට නිල් දියවර ලබා දීමේ සිහිනය ඔහු අදත් දකියි. ඔහු වරක් කියා සිටිසේ මොරගහකන්ද දියවර ලෙස තමන් නොනැවතී නොසිඳී ගලන බවය. රජරට වියළි ගම්බිම්වල දෙපයින් ඇවිද ගිය ගොවියන්ට, ගොවිලියන්ට තම නෑයන්ට මෙන් ආදරය කළ ගොවි නායකයකුගේ පුතකුට ගොවිතැන අමතක කළ හැකිද? සිදී ගිය වැව් පිළිසකර කරමින් අතීත රජරට අසිරිය දකින්නට ඔහු දරන තැත ඒ ගම් දනව්වල ජනයා දනිති. ජගත් මහ මණ්ඩලය අබියස ගිගුම් දුන්නේ ඒ ගොවි හඬේ දෝංකාරය විනා අන් දෙයක් නොවේ.

ජනාධිපතිවරයාගේ දේශනයෙන් අවධානය යොමු කළ තවත් ප්‍රමුඛ භුමිකා දෙකක් විය. එකක් මේ රටේ කාන්තා හිමිකම් සුරැකීමය. අනෙක දරු පරපුරට හෙටක් නිර්මාණය කිරීමය. අද ආසියනු කලාපය ගිලගත් ව්‍යවසායක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම දැක්විය හැකිය.

ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා යෝජනා කරන්නේ මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා ජගත් සම්මුතියක අවශ්‍යතාවයි. අද පාසල් දරුවෝද මේ මත්රකුසන්ගේ ගොදුරු බවට පත්ව සිටිති. ශ්‍රී ලංකාව තුළට මත් කුඩු රැගෙන ඒම සඳහා කලක් මුළුල්ලේ සූක්ෂම ලෙස යොදාගත් විධි විධාන බොහෝය.

ජාවාරම්කරුවන්ගේ බෝට්ටුවලින් පමණක් නොව භාණ්ඩ ආනයනය කරන්නන්ගේ කන්ටේනර්වලින්ද රටට කුඩු රැගෙන එන අයුරු කවුරුත් දනිති. කුඩ්ඩන් මෙන්ම කුඩු ජාවාරම්කරුවන් සමඟ ගෑවුණු දේශපාලනඥයන් ගැනද නොයෙක් කතා ඇසෙයි. අද මෛත්‍රී දේශපාලනයේ ප්‍රමුඛ අංශයක් බවට පත්ව තිබෙන්නේ මේ කුඩු විපතින් රට මුදාගැනීමය.

ඉකුත් 71 වැනි ජගත් සැසි වාරයේදී හිටපු ජගත් මහ ලේකම් බැන් කී මුන් හා ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාද ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයේ මෙන්ම සාධාරණ සමාජයේ අරුණෝදයට එළඹ සිටින බවය. අද එහි අභිමානවත් ගමනක නිරතව සිටින බවත්, එය රටේ ස්වාධීනත්වය, සෛවරිත්වය නමැති මාවතේ යන අර්ථවත් ගමනක් බවට පත්ව තිබෙන බවත් ජනාධිපතිවරයා මෙවර සාඩම්බර ලීලාවෙන් කියා සිටියේය. කවර රටක කවර නායකයකුට වුවද ජගත් සමුළුවක් ඇමතීම සඳහා ලැබෙන අවස්ථාව ස්වර්ණමය වරමක් බව අමුතුවෙන් කිව යුතු නැත. විශේෂයෙන් ජාත්‍යන්තරය හමුවේ සිය කීර්තිනාමයට හානි සිදු කරගත් රටවලට එම අවස්ථාව අතිශයින්ම වැදගත්ය. මෛත්‍රී විධායක ජනාධිපති ධුරයට පත්වීමට පෙර මේ රටේ තිබුණු දේශපාලන සමාජ වාතාවරණය කෙබඳුදැයි මේ ජගත් නායකයන් අතර සිටින සමහරු දනිති. ශ්‍රී ලංකාව තුළ තිබුණු දේශපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය එදා විධායකයට වුවමනා ලෙස හැසිරවූ බව කවුරුත් දනිති. මෛත්‍රී සිය විධායක බලයේ බර හෑල්ලු කළේ එයට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ ආත්මය ප්‍රවිෂ්ට කිරීම සඳහා බව මේ සමුළුවට මතක් කළේද ඒ නිසාය. 72 වැනි ජගත් සමුළුවේ තේමාව වී ඇත්තේ තිරසර ලොවක මිහිමත ජීවත් වන මිනිසාට යහපත් හෙටක් උරුම කිරීමය. මෛත්‍රී පාලනය ගමන් කරන්නේද ඒ මාවත ඔස්සේය. ගෙවී ගිය දෙවසරක වැඩි කාලය මුළුල්ලේම මේ රට පිළිබඳව ජාත්‍යන්තර තලයේ කිසිදු චෝදනාවක් ඉදිරිපත් වූයේ නැත. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් අද ශ්‍රී ලංකාව පිළිබඳ යහපත් චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කිරීමට හැකි වී තිබේ. එදා දැඩි දෝෂ දර්ශනයට ලක් වූ අධිකරණ පද්ධතිය පිළිබඳ සත්‍ය කුමක්ද? හොරුන්, දූෂිතයන් නිදැල්ලේ සිටින බවට සමහරු තවමත් චෝදනා කරති. එදා තිබුණේ රටේ උත්තරීතර පදවිය හෙබවු අගවිනිසුරුවරිය පාර්ලිමේන්තුවට කැඳවා සමච්චල් කර විශ්‍රාම වැටුපත් අහිමි කර ගෙදර යැවු නීතියකි. ඒ මල් වට්ටියට අත ගැසූ අයම අද නීතියේ ආධිපත්‍යය ගැන කතා කරති. එහෙත් මෛත්‍රී පාලනය නීතියට අත පෙවීමට සූදානම් නැත. නීති ක්ෂේත්‍රයේ ප්‍රගතිය හා යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදය පිළිබඳ රට ඇතුළෙන්ම නිදර්ශන තිබේ. සිල්රෙදි නඩු තීන්දුව එබඳු ‍ඵෙතිහාසික එකක් බව නීති කේෂත්‍රයේම විද්වත්හු කියති. මහ බැංකුවේ හිටපු අධිපතිවරයාට නීතිය මගහැර යෑමට ඉඩ දුන්නේද නැත. ශ්‍රී ලංකාවේ නීතියේ අභිමානය අද එසේය.

මෛත්‍රී පාලනය බිඳදමන්නෙමැයි වහසි බස් දොඩන අයගේ තත්ත්වය කුමක්ද? පළාත් ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වන්නේ රාජ්‍ය නායක මෛත්‍රී රටින් බැහැරව සිටියදීය. මතභේදයට තුඩු දී තිබෙන මනාප ඡන්ද ක්‍රමය ඉවත් කිරීමේ ගෞරවය ඒකාබද්ධ විපක්ෂය හැර අනෙක් සියලු පක්ෂවලට හිමි වී තිබේ.

මෛත්‍රී දැක්මේ පදනම වී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, මානව හිමිකම් සුරැකීම, ජාතික සංහිඳියාව ගොඩනැගීම හා ආගමික සංහිඳියාව තහවුරු කිරීම යන කුලුනු හතර ය. මහජන මුදල් අයථා ලෙස පරිහරණය නොකළ නායකයකු ලෙස ඒ ප්‍රතිපත්තිය පක්ෂයට මෙන්ම තම ආණ්ඩුවටද කාවැද්දිය යුතු බව මෛත්‍රී දැඩිව විශ්වාස කරයි. එහෙත් එය අසීරු අභියෝගයකි. මේ රටේ දේශපාලනයෙන් සමහරු අපේක්ෂා කරන්නේ සුඛෝපභෝගී ජීවිත පැවැත්මකි. දුෂ්කර ගමක සැතපුම් ගණන් දෙපා ගෙවන තුරු ඇවිද යන වැසියෝ සිටිති.

එහෙත් ඒ වැසියන්ට සේවය සඳහායැයි වේදිකාවල මොරදෙන මිනිහාට කෝටි කීයක වාහනයක් ඕනැදැයි කවුරුත් දනිති. මේ වර්ගයේ දේශපාලන ආතුරයන් සමඟ රටක් සංවර්ධනය කිරීමද හාස්කමකි. රට දුගී භාවයෙන් මුදාගත යුතුය යන ඒකායන ප්‍රාර්ථනය මෛත්‍රී රජයට තිබේ. එසේම ශ්‍රී ලංකාව තුළ යළි යුද්ධයක් ඇති නොවන පුළුල් ජාතික සමගියක් ගොඩ නැගීමද මෛත්‍රී ජනාධිපතිවරයාගේ අධිෂ්ඨානය වී තිබේ. මෙවර ජගත් සමුළුවේ ප්‍රථම වරට හමුවන ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපතිවරයාට මෙන්ම මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස්ටද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අවධාරණය කරන සාමය හා සංහිඳියාව ජගත් සම්මුතියක් බවට පත් කරගැනීමේ වැදගත්කම නිසැකයෙන්ම පසක් වන්ටද ඇත. එසේම ස්වාධීන, සෛවරී රටක් ලෙස ක්‍රියා කරමින් නිදහස් සාමකාමී රටක් ලෙස ඉදිරියට යාමේ අධිෂ්ඨානය ශ්‍රී ලංකාව තුළ තිබෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. මේ ජනාධිපතිවරයාගේ එම අවධාරණයයි:

“එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් වශයෙන් අපි වසර 62ක කාලයක් කටයුතු කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තීන්ට එකඟව, එකඟතාවන්ට එකඟව, නීති-රීතිවලට එකඟව කටයුතු කරන රටක් විදියට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගන්නා තීන්දු තීරණවලදී ශ්‍රී ලංකා රජය සාමාජික රටක් වශයෙන් ඒ බැඳීම් තහවුරු කරමින් කටයුතු කරන බව සඳහන් කරන්න ඕනෑ. ඒ අනුව අපේ රටේ ස්වාධීනත්වය සෛවරීත්වය සුරකිමින් ක්‍රියාකරන්නා වූ ගමනේදී අපට එල්ල වී ඇති විවිධ චෝදනා, යෝජනා, අප විසින් ක්‍රියා කළ යුතු ආකාරයන් පිළිබඳව අපට නිදහස් සාමකාමී රටක් වශයෙන් සෙමෙන් ගමනක් ගොස් පැහැදිලි ඉලක්කයක් කරා යන්න සියලු දෙනාගේම ගෞරවනීය සහය ඉල්ලා සිටිනවා.”

අන්තවාදීන්ට, බලකාමයෙන් අන්ධ වූවන්ට ජනාධිපතිවරයාගේ හෙමින් ගමන ප්‍රශ්නයක් විය හැකිය. එහෙත් හීන්සැරය හැම සැරයකටම වඩා බලවත් බව ප්‍රත්‍යක්ෂයෙන් දත් අව්‍යාජ අභීත නායකයකුගේ දේශපාලන ගමන අපේක්ෂාවෙන් පරිපූර්ණ එකක් බව රටම දනී.

About SirilakaNews

Check Also

_109088161_20191003_135446

එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනයේදි සම්මතවූ යෝජනා.Resolutions of the United National Party At the special convention

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස එම පක්ෂයේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *