Breaking News
Home / ප්‍රධාන පුවත් / බැඳුම්කර ගැසට්‌ පත්‍රයේ හිටපු ජනපතිගේ නම සඳහන් කිරීම වරදක්‌, වෑඩ බලන මුද්‍රණලාධිපතිනී වරද පිළිගනී!

බැඳුම්කර ගැසට්‌ පත්‍රයේ හිටපු ජනපතිගේ නම සඳහන් කිරීම වරදක්‌, වෑඩ බලන මුද්‍රණලාධිපතිනී වරද පිළිගනී!

 MR_BOND

මහා භාණ්‌ඩාගාරයේ බැඳුම්කර අලෙවියට අදාලව 2015 ජනවාරි 01 දාතමින් නිකුත්වී ඇති රජයේ ගැසට්‌ නිවේදනයට හිටපු ජනාධිපති මුදල් හා ක්‍රමසම්පාදන ඇමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නම සඳහන් කිරීම වරදක්‌ බවත් ඉන් ජනතාව තුළ වැරදි අවබෝධයක්‌ ඇතිවන බවත් එසේ කිරීමෙන් ගැසට්‌ පත්‍රයේ වලංගු භාවය මෙන්ම එහි නෛතික වැදගත්කම සම්පූර්ණයෙන්ම හීනවී යන බවත් රජයේ වැඩබලන මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය මහා භාණ්‌ඩාගාර බැඳුම්කර අලෙවිය ගැන විමර්ශනය කරන ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවැසුවාය.

ලියනගේ මහත්මිය එසේ සඳහන් කළේ කොමිසමේ විනිසුරුවන් විසින් විටින් විට නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවන් වන කේ. ටී. චන්ද්‍රසිරි, ජනාධිපතිනි නීතිඥ ප්‍රසන්න ජයවර්ධන, නියෝජ්‍ය විගණකාධිපති කේ. වේළුපිල්ලේ යන මහත්වරුන්ගෙන් කොමිසම සමන්විත වේ.

අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතාගේ මෙහෙයවීම පිට ලියනගේ මහත්මිය වැඩිදුරටත් සාක්‍ෂි දෙමින් මෙසේ කීය.

මා රජයේ මුද්‍රණාලයේ සේවයට බැඳුනේ 1986 දී. දැන් වැඩබලන මුද්‍රණාලයාධිපතිනි. මේ තනතුරට පත්වුණේ 2016 සැප්. 15 දා.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්ය භාරය වන්නේ රජය නිකුත් කරන නිවේදන මුද්‍රණය කර ප්‍රකාශයට පත් කිරීමයි. මින් ප්‍රධාන තැනක්‌ ගන්නේ රජයේ ගැසට්‌ නිවේදනයයි. මා දන්නා අන්දමට ගැසට්‌ නිවේදන නිකුත් කරන්නේ අපේ දෙපාර්තමේන්තුවෙන් පමණයි.

රජයේ සාමාන්‍ය ගැසට්‌ නිවේදන සහ අති විශේෂ ගැසට්‌ නිවේදන යනුවෙන් කාණ්‌ඩ දෙකක්‌ මුද්‍රණය කෙරෙනවා. ඊට අමතරව පොලිස්‌, දුම්රිය, තැපැල් ඇතුළු රාජ්‍ය ආයතනවලට අදාළ ගැසට්‌ නිවේදන මුද්‍රණය කරන්නේ රජයේ මුද්‍රණාලයෙන්.

රජයේ සාමාන්‍ය ගැසට්‌ නිවේදන කොටස්‌ 7 කින් යුක්‌තයි. ඒවා සතියකට වරක්‌ එනම් සිකුරාදාට නිකුත් කරනවා. අතිවිශේෂ ගැසට්‌ නිවේදන සතියේ ඕනෑම දවසක අවස්‌ථාවන්ට සරිලන ලෙස ප්‍රකාශයට පත් කරනවා.

මේ අවස්‌ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් කෝදාගොඩ මහතා, 2015 ජන. 01 දින නියම කර තිබෙන රජයේ ගැසට්‌ නිවේදනය සාක්‍ෂිකාරියට පෙන්වමින්,

මේකත් අතිවිශේෂ ගැසට්‌ නිවේදනයක්‌ද?

සාක්‍ෂිකාරිය- ඔව්. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මේ ගැසට්‌ පත්‍රයට දුන් අංකය 24570. එහි පිටපත් 17 ක්‌ මුද්‍රණය කළා. ඒ විස්‌තර ගැසට්‌ පත්‍රයේ සඳහන් වෙනවා. මෙය මුද්‍රණය කොට ප්‍රකාශයටපත් කර ඇති ගැසට්‌ පත්‍රයක්‌ බව ඕනෑම කෙනෙකුට බැලූ බැල්මට පෙනෙනවා. එහි 2016/11 යනුවෙන් සඳහන් වන්නේ ගැසට්‌ පත්‍රය මුද්‍රණයට ඉදිරිපත් කළ දිනයයි. පිටපත් 10 ක්‌ මුදල් අමාත්‍යාංශයටත් මහජන පුස්‌තකාලයට හා ජාතික ලේඛන ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනිත් පිටපත් ලබාදෙනවා.

මේ ගැසට්‌ පත්‍රය මුද්‍රණය කිරීමට හේතු සාධක වූ කරුණු මා ළඟ තිබෙන නිල ලියවිලිවල සඳහන් වෙනවා. සිංහල ඉංගී්‍රසි හා දෙමළ යන භාෂා තුනෙන්ම ගැසට්‌ නිවේදන මුද්‍රණය කරනවා. ඕනෑම කෙනෙකුට අපේ අන්තර්ජාල වෙබ් අඩවියෙන් ගැසට්‌ පත්‍රයක්‌ කියවන්න පුළුවන්. එම ගැසට්‌ පත්‍රයට අංකයක්‌ වෙන්කරවා ගන්නේ මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරියෙක්‌.

ජ්‍යෙෂ්ඨ කළමනාකරු වන ප්‍රනාන්දු මහතාය. ඒ 2014 දෙසැ. 24 දා. එය නිකුත් කළේ 2015 වසරේ. මහා භාණ්‌ඩාගාර බැඳුම්කර අලෙවියට සහ රුපියල් ණයවලට අදාළවයි. ගැසට්‌ පත්‍රය පළ කිරීමට දිනය වෙන් කරවා ගැනීමට අදාළව ලිපියක්‌ ලැබුණ නමුත් ගැසට්‌ පත්‍රයේ ඇතුළත් වන තොරතුරු එනම් අන්තර්ගතය ඒ සමග ලැබුණේ නැහැ. ගැසට්‌ පත්‍රයට අන්තර්ගත කිරීම සඳහා තොරතුරු ලැබුණේ 2016 පෙබරවාරි 18 දායි.

ගැසට්‌ පත්‍රය මුද්‍රණය කළාට පසුව විෂය භාර නිලධාරියා විසින් එය රහසිගත කියවීම් අංශයට යවනවා. එය සාමාන්‍යයෙන් සිදුකෙරෙන කටයුත්තක්‌. එතනදී කරන්නේ සෝදුපත් බැලීමයි.

විනිසුරු ජයවර්ධන- වැරදීමක්‌ සිදුව තිබෙනවා නම් එය නිවැරදි කිරීමට එහිදී පියවර ගන්නවද?

සාක්‍ෂිකාරිය- ඔව්. සෝදු පත සේවාදායකයාට එනම් මහා භාණ්‌ඩාගාරයේ රාජ්‍ය ණය අංශයට යවනවා. දෙපාර්තමේන්තුවේ රහසිගත කියවීම් අංශයත් වැරදි පෙන්නා දී ඒ ගැන කරුණු විමසා තිබෙනවා.

හිටපු ජනපති හා මුදල් ඇමැති වූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නම 2016 නිකුත් කළ ගැසට්‌ පත්‍රයේ ඇතුළත් කර තිබෙන බව පෙන්වා දුන් විට ඔවුන් කීවේ 2015 ජනවාරි 01 දින ගැසට්‌ පත්‍රයේ ඔහුගේ නම සඳහන් වී ඇති බැවින් ඒ ආකාරයට මේ ගැසට්‌ පත්‍රයෙත් නම යන්න ඕනෑ බවත් ඔවුන් නිලධාරීන්ට කියා සිටියා.

ඒ වරද නිවැරැදි නොකිරීමෙන් ජනතාව තුළ වැරදි අවබෝධයක්‌ ඇති වෙන බව ඇත්ත. මහින්ද රාජපක්‍ෂ මහතාගේ නම ගැසට්‌ නිවේදනයේ සඳහන් කිරීම වරදක්‌බව බැලූ බැල්මට පෙනී යනවා. එසේ කිරීමෙන් ගැසට්‌ පත්‍රයේ වලංගු භාවය නෛතික වැදගත්කම් සම්පූර්ණයෙන්ම හීනවී යනවා.

විනිසුරු ජයවර්ධන- මේ ගැසට්‌ පත්‍රයේ හිටපු ජනාධිපතිගේ නම සඳහන් කර තියෙනවා අත්සන නැහැ.

නිවැරදි කරුණු සහිත ගැසට්‌ නිවේදනයක්‌ මහජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රකාශයට පත් කිරීම තමා සතු වගකීමක්‌ වන අතර නීත්‍යනුකූල ගැසට්‌ පත්‍රයක්‌ නිකුත් කිරීමේ වගකීම පැවරෙන්නේ ඒ සඳහා තොරතුරු ලබාදෙන අදාළ රාජ්‍ය ආයතනයට බවත් විනිසුරු චන්ද්‍රසිරි මහතාගේ ප්‍රශ්න කීපයකට පිළිතුරු දෙමින් වැඩබලන රජයේ මුද්‍රණාලයාධිපතිනි ලියනගේ මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.

ඉන්පසුව සාක්‍ෂි ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එම්. එස්‌. සමරතුංග මහතා කැඳවා තිබිණි.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ යසන්ත කෝදාගොඩ මහතා – කලින් දවසේ ඔබගෙන් බැඳුම්කර නිකුතුවට අදාළ ගැසට්‌ පත්‍රයක්‌ ගැන ප්‍රශ්න කළා.

මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතා – ඔව් මම දන්නවා.

රජයේ නීතීඥ – මේ ගැසට්‌ පත්‍රයට අදාලව මුදල් අමාත්‍යාංශයෙන් මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කරලා තියෙනවා.

මේ ගැන ඔබ දැනුවත්ද?

ආචාර්ය සමරපාල මහතා – මම මාධ්‍යවලින් එය දුටුවා.

රජයේ නීතීඥ – මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ඔබ ඒ ගැන කලින් දැනුවත් නැද්ද?

සමරතුංග මහතා – පත්‍රවල පළවී තිබෙන බව තමයි මම දුටුවේ.

රජයේ නීතීඥ – ඔබ අප අසන ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක්‌ දෙන්නේ නෑ. ඔව් හෝ නැහැ කියා නිශ්චිත පිළිතුරක්‌ ලබා දෙන්න.

සමරතුංග මහතා – මම අදයි දැනගත්තේ ඒ මාධ්‍ය නිවේදනය ගැන.

රජයේ නීතීඥ – මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඔබ දන්නෙ නැද්ද මේ මාධ්‍ය නිවේදනය නිකුත් කළේ කවුද කියලා

සමරතුංග මහතා – මම විමසා බලා කියන්නම්. මම අද පුවත්පත්වලින් තමයි එය මුලින්ම දැක්‌කෙ.

රජයේ නීතීඥ – මේ මාධ්‍ය නිවේදනය කවුද නිකුත් කළේ කියලා ඔබගේ දැනුවත්භාවයක්‌ නෑ.

සමරතුංග මහතා – ඔව් විමසන්නේ නැතුව කියන්න අපහසුයි.

රජයේ නීතීඥ – ඔබගේ දැනුවත් භාවයකින් තොරව මෙවැනි මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් වී ඇති බවද කියන්නේ.

සමරතුංග මහතා – ඔව් මගේ දැනුවත්භාවයක්‌ නෑ ඒ ගැන.

රජයේ නීතීඥ – මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනය ඔබ සම්පූර්ණයෙන් කියෙව්වද?

සමරතුංග මහතා – සම්පූර්ණයෙන්ම කියවන්න වෙලාවක්‌ තිබුණේ නෑ.

රජයේ නීතීඥ – මේ මාධ්‍ය නිවේදනය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට ඇතුළත් කර නැහැ. ඒ නිසා මට පුවත්පතේ පළවූ මාධ්‍ය නිවේදනයක්‌ ගන්න සිදුවුණා. මෙහිදී මහ බැංකුව භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී නීතීරිති උල්ලංඝනය කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා.

(ප්‍රවෘත්ති නිවේදනයේ පිටපතක්‌ සාක්‍ෂිකරුට කියවීමට දෙයි)

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා – කවුද මේක නිකුත් කරලා තියෙන්නේ.

ආචාර්ය සමරතුංග මහතා – මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ බව සඳහන් වෙනවා.

සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා – මේ මාධ්‍ය නිවේදනයේ බැඳුම්කර නිකුත් කිරීමේදී නීතීරීති උල්ලංඝනය කිරීමක්‌ ගැන සඳහන් වෙනවා.

ආචාර්ය සමරතුංග මහතා – මට නීති උල්ලංඝවය කිරීමක්‌ සිදුව තිබේද යන්න කියන්න අපහසුයි.

About SirilakaNews

Check Also

emblam-1

යුනිසෙෆ් ළමා අරමුදළ ශ්‍රීලංකාව සදහා සිය ලාංජනයෙන් මව ඉවත් කිරිමට තිරණය කරයි. The UNICEF Children’s Fund has decided to remove From his logo the mother for Sri Lanka.

යුනිසෙෆ් ළමා අරමුදළ ශ්‍රීලංකාව සදහා සිය ලාංජනයෙන් මව ඉවත් කිරිමට තිරණයකර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *