Breaking News
Home / පුවත් / ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කරනු! තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලයි!

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කරනු! තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලයි!

 download

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කරන ලෙසත්, පසුගිය කාලයේ මාධ්‍යවේදීන් පැහැර ගත්, ඝාතනය කළ සහ මාධ්‍යවේදීන්ට හිරිහැර කළ පිරිස් මෙන්ම මාධ්‍යය ආයතන ගිනි තැබූ පිරිස් ද ඊට උපදෙස් දුන් පිරිස් ද වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන කරන ලෙසත්  ලෝක ජනමාධ්‍යය නිදහස පිළිබඳ දිනය වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියි.

‘ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය මෙවර අප සමරනුයේ මුළුමනින්ම ජනමාධ්‍ය නිදහස ඇති සමාජයක නොවන බව ද, එම සංගමයේ සභාපති තරිඳු උඩුවරගෙදර හා ලේකම් තරිඳු ජයවර්ධන යන මහත්වරුන්ගේ අත්සනින් යුතු ව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එම නිවේදනයේ තවදුරටත් මෙසේ සඳහන් වෙයි.

“පසුගිය කාලයේ ජනමාධ්‍යවේදීහු රැසක් ඝාතනයට ලක් වූහ. තවත් විශාල පිරිසක් විවිධ හිරිහැරයන්ට ලක්වූහ. 2015 ජනවාරි අට වැනි දා ජනාධිපතිවරණය අවස්ථාවේ මෙන්ම 2015 අගෝස්තු 17 වැනි දා මහ මැතිවරණය අවස්ථාවේදී ද ජනමාධ්‍යය යන්න දේශාපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් විය.

සුදු වෑන්වලින් මාධ්‍යවේදීන් පැහැර ගැනීම් වැනි දෑ ගෙවුණු වසර එක හමාරේ වාර්තා නොවූවද මාධ්‍යවේදීන්ට බලපෑම් එල්ල වූ අවස්ථා කිහිපයක් වාර්තා විය. ප්‍රධාන ප්‍රවෘත්තියක් ගැන අපක්ෂපාතී වාර්තා කරණයක් සඳහා කරුණු විමසද්දී අමාත්‍යවරයකු මාධ්යිවේදියකුට බැණ වැද, පැහැර ගැනීමට ලක්වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ මහතාගේ බිරිඳට අධිකරණ සංකීර්ණය තුළදීම තර්ජනය කිරීම, අධිකරණ සංකීර්ණය තුළදීම වරාය සභාපතිවරයා මාධ්‍යවේදියකුගේ රාජකාරියට බාධා කිරීම ආදී සිදුවීම් කිහිපයක් වාර්තා විය.

සුදුවෑන් සංස්කෘතිය, මාධ්‍යවේදීන්ට පහර දීම, මාධ්‍යක ආයතන ගිනි තැබීම ආදී දෑ සිදු නොවන නිසා මෙවැනි දෑ සුළු සිද්ධීන් ලෙස ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් අර්ථ දැක්වුවත් මෙම සිදුවීම්ද සුළු සිදුවීම් ලෙස සලකා ඉවත දැමිය යුතු නොවේ. මේවා මාධ්‍ය මාර්දනයේ ආරම්භක අවස්ථා විය හැකි.

ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීමට නම් කළ යුතු ප්‍රධාන කාර්යයක් වනුයේ පසුගිය කාලයේ ජනමාධ්‍යවේදීන් ඝාතනය කළ, මාධ්‍ය  ආයතන ගිනි තැබූ හා මාධ්‍යවේදීන්ට තර්ජනය කළ පිරිස් නීතිය හමුවට ගෙන ඒමය. ආණ්ඩුව බලයට පත්වී වසර එක හමාරක් ගත වුවද මේ වන තෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා පැහැර ගත් බව කියන සැකකරුවන් පමණි.” යැයි එම නිවේදනයේ දැක්වෙයි.

ලසන්ත වික්‍රමතුංග, සිවරාම් ඇතුළු ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් රැසකගේ ඝාතකයන් තවමත් නිදැල්ලේ සිටින බවත් උදයන්, ලංකා ඊ නිවුස් ඇතුළු මාධ්‍ය  ආයතන ගිනි තැබූවෝ තවමත් නිදැල්ලේ සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි. එසේම ජනමාධ්‍ය නිදහස සීමා කෙරෙන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කරන ලෙස ජනමාධ්‍ය සංවිධාන සහ මාධ්‍යවේදීන්  ඉල්ලා සිටියදී ඊට සාමාජිකයන් පත් කර ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය යළි පණ ගන්වා ඇති බවත් එය සිදු කර තිබෙන්නේ ද පනතේ සඳහන් ආකාරයට ජනමාධ්‍ය සංවිධානවල අදහස් විමසීමකින් තොරව බවත් ලෝක ජනමාධ්‍යය නිදහස පිළිබඳ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

About SirilakaNews

Check Also

images

ශ්‍රී ලංකාවේ දික්කසාද වීමේ අනුපාතය ඉහළයයි! Divorce rates increase in Sri Lanka.

“මගේ කලින් මහත්තයා තීන්ත බාස් කෙනෙක්. එයා හැමදාම හවසට බීලා ඇවිත් මට ගහනවා. අපි දෙන්නා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *