Breaking News
Home / ක්‍රීඩා / යොවුන් ක්‍රිඩා උළෙලේ අභිමානය.

යොවුන් ක්‍රිඩා උළෙලේ අභිමානය.

ජාතික මහා ක්‍රීඩා උළෙලට පමණක් දෙවැනි වන ලාංකේය ක්‍රීඩා ඉතිහාසයේ දැවැන්තම ක්‍රීඩා තරගාවලිය ලෙස ජාතික යොවුන් ක්‍රීඩා උළෙල හැඳින්විය හැකිය.

විසිහත්වැනි ක්‍රීඩා තරගාවලිය දියගම ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එම තරගාවලිය ලාංකීය යෞවන යෞවනියන් ඉලක්ක කර ගෙන පවත්වන එකම තරගාවලිය ද වෙයි. මෙවර තරගාවලියේ ප්‍රතිඵල දෙස අවධානය යොමු කිරීමේදී ද උතුරු නැගෙනහිර සහ දකුණ අතර පවතින වෙනස පැහැදිලිය.

තිස් වසරක යුද්ධයෙන් පසු ගෙවී ගියා වූ පස් වසරක කාලය තුළ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරමින් මේ තරගාවලියට එක්වූ දිස්ත්‍රික්කවල පසුබෑම කියාපෑවේ තව තවත් මේ සමස්ත ලාංකේය තරුණ ජීවිත පිළිබඳ අවධානය වඩ වඩාත් යොමු කළ යුතු බවය. මේ තරගාවලියට උතුරු, නැගෙනහිර පළාත් නියෝජනය කරමින් එක්වූ යෞවන යෞවනියන් ගේ ජීවිත කාලයෙන් පසුගිය පස් වසර හැර ඉතිරි මුළු කාලයම වෙඩි හඬ මැද ගෙවුණු බවට සැක නැත.

එවැනි සමාජ වටපිටාවක ගෙවුණු ජීවිත පස් වසරක් වැනි කෙටි කාලයක් තුළ මහා පෙරළියකට බඳුන් වෙතැයි සිතීමද යුක්තිසහගත නැත. නමුත් මේ සියලු දේ සඳහා ක්‍රීඩාව යම් උත්තේජකයක් ලෙස භාවිත කළ හැකි බව නම් රහසක් නොවේ.

රටේ සමස්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පරිත්‍යාගශීලි වෙන්න ඕනා. ක්‍රීඩාවෙන් තමයි කාර්යශූර විනයගරුක පුරවැසියන් බිහි කරන්න පුළුවන් වෙන්නේ. ක්‍රීඩාවේදී ජයග්‍රහණය විතරක් අපේක්ෂා කරන්නේ නැතුව ජය පරාජය සතුටින් බාර ගන්න ඕනා යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ තරගාවලිය ආරම්භ කරමින් පැවැසුවේ පසුගියදා අවසන් වූ රග්බි ලෝක කුසලාන තරගාවලියේ සෝනි බිල් විලියම්ස් කළ පරිත්‍යාගය සිහිපත් කරමින්ය.

මෙවන් තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා ජාතික යෞවන ක්‍රීඩා උළෙල ලාංකීය ක්‍රීඩා කෙත වඩ වඩාත් පෝෂණය කර ගැනීමට, දක්ෂ ක්‍රීඩා අංකුර බිහි කර ගැනීමට තෝතැන්නක් කර ගැනීම බලධාරින්ගේ ප්‍රමුඛ වගකීම විය යුතුය. එපමණක් නොව, උතුරු නැගෙනහිර සහ දකුණ විරසකව ගෙවා දැමූ තිස් වසරක කාලය අමතක කර දැමීමට මෙකී යොවුන් සිත් සතන් තුළ සංහිඳියාව වර්ධනය කිරීමට ද මේ තරගාවලිය කදිම පාලමක් කර ගැනීමද බලධාරින්ගේ ප්‍රමුඛ අරමුණ විය යුතුය.

මෙකී තරගාවලියේ ජය පරාජයන් පැත්තකින් තබා නව මානයක් විවර කර ගැනීමට ද අවධානය යොමු කළ යුතුය. විසිහත් වැනි යෞවන ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව ගම්පහ දිස්ත්‍රික්කයට හිමි වන විට අනුශූරතාව කුරුණෑගල දිස්ත්‍රික්කයට හිමි විය. කොළඹ දිස්ත්‍රික්කයට තෙවැනි ස්ථානය හිමි විය. මෙවර තරගාවලියේ නව තරග වාර්තා 12 ක් බිහි විය. මන්නාරම, කිලිනොච්චි දිස්ත්‍රික්ක අවම ලකුණු ප්‍රමාණයක් හිමි කර ගනිද්දී, මුලතිව් දිස්ත්‍රික්කය එකදු ලකුණක් හෝ හිමි කර නොගැනීම ද බැහැර කළ නොහැකි කරුණකි. යාපනය දිස්ත්‍රික්කය මෙහිදී 12 වැනි ස්ථානය හිමි කර ගැනීමද කැපී පෙනේ.

මෙවර තරගාවලියට අයහපත් කාලගුණයෙන් ඇති කළ බලපෑම බැහැර කළ නොහැකිය. නමුත් ඒ තුළින් බිහි වූ වාර්තා ද අගය කළ යුතුමය. එවන් තත්ත්වයක් තුළ ජාතික වාර්තාවක් බිහි කිරීම මෙවැනි ක්‍රීඩාංගණයක අසීරු කරුණකි.

කෙසේ වෙතත් කුමන බාධක විවේචන මධ්‍යයේ වුවද ලාංකීය යෞවන යෞවනියන්ගේ ක්‍රීඩා කෞශල්‍යය උදෙසා ගන්නා වූ මේ වෙහෙස සහ මහන්සිය අගය කළ යුතුය. මේ සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේද සක්‍රීය දායකත්වය උපයෝගී කර ගනිමින් මෙකී තරගාවලියේ පවතින්නා වූ අඩුපාඩු මඟහරවා ගනිමින් අනාගතය සරු කර ගත යුතුය.

About SirilakaNews

Check Also

CRIKAT OLIMPIC

ක්‍රිකට් ක්‍රිඩාව ලොස් ඇන්ජලිස් ඔලිම්පික් යයිද? Cricket to be held in olympic Los Angeles?

ලොව විශාලතම ක‍්‍රීඩා මංගල්‍යය ලෙස සැලකෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ක‍්‍රිකට් ඇතුළත් කිරීමට එම්.සී.සී. ක‍්‍රිකට් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *