Home / ඉතිහාසය සහ සංස්කෘතික / “THE LAST MEAL OF BUDDHA”බුදුන් වහන්සේගේ අවසන් දානය සමග ඉගෑන්වෙන මාංශ අනුභවයේ විග්‍රාහය.

“THE LAST MEAL OF BUDDHA”බුදුන් වහන්සේගේ අවසන් දානය සමග ඉගෑන්වෙන මාංශ අනුභවයේ විග්‍රාහය.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා සියවස් දෙක තුනක් ඉක්ම ගියාට පස්සෙ ධර්මාශෝක යුගයෙන් පසුව ඉන්දියාවෙ බමුණු බලය හා හින්දු බලය තදින් හිස ඔසවනු ලැබුවා. බමුණන් දිගින් දිගට ම ප්‍රචාරය කළේ ශාක්‍ය පුත්‍ර බුදුරදුන් රටවැසියා නිරන්තරයෙන් පිළිකුල් කරනු ලබන පහත් ම සතකු වූ ඌරකුගේ මස් කෑමෙන් බරපතළ ලෙස රෝගාතුර ව මරණයට පත්වූ බවයි. ලංකාව වැනි රටවල එය එතරම් වැදගත් කරුණක් නොවුණත් දඹදිවින් බුද්ධාගම පලවා හරින්නට හේතු වූ මූලික කරුණු තුන හතරෙන් මේ සූකර මද්දව ඖෂධීය හතු ඌරුමස් බවට හරවා ප්‍රචාර කළ කතාව ද එකක්. මේ නිසා නූගත් දුප්පත් ජනතාව බුදු දහම අතහැර හින්දු ආගමට හැරුණෙ දහස් ගණනින් නොව ලක්ෂ ගණනින්. ඌරු මස් කතාව අදත් දඹදිව – නේපාල රටවල මහා පිළිකුලකට පත් ප්‍රවෘත්තියක්.

මේ අතර මේ පුවත තවත් රස ගන්වමින් සිවුරු පෙරවා ගත් බමුණු වේශධාරීන් බුදු රදුන් ඌරු මස් කෑමෙන් ලේ අතීසාරය වැළැඳී කාගේවත් පිහිටක් නොලැබ මඟ දිගට පස්විසිපළක මල පහ කරමින් කුසිනාරාවට ගොස් මළහ’යි තවත් අලංකාර කරමින් කියන්නට වුණා. ලියන්නටත් පටන් ගත්තා. භික්ෂු වේශධාරීන් බ්‍රාහ්මණ බලය කොතරම් බලසම්පන්න වුණාද කියතොත් පරිනිබ්බාන සූත්‍රයට ද මෙය ඇතුළත් කිරීමට තරම් ඔවුන් සමත් වූ බවත් පෙනෙනවා. මස් මාංසවලට කෑදර භික්ෂූන් ද, තමන්ටත් මස් මාංස කෑමට මෙය කදිම මාර්ගයක් ලෙස සලකා බුදුරදුන් වැළඳූයේ ඌරුමස් ම යැයි ලියා තැබුවා. එසේ නැත්නම් තරුණ ඌරකුගේ මසය. මරා විකිණීමට තැබූ ඌරකුගේ මස්ය. ඌරන් මඩකළ තැන හටගත් හතුය. උණ ගොබය. ඖෂධීය ආහාරයක්ය. ඌරන් හාරන අල සහිතව පිළියෙල කළ ආහාරයක් ය යනුවෙන් එක් එක් ආකාරයේ මත පළකරන්නට කිසි ම හේතුවක් නෑ.

මෙහි දැක්වෙන්නේ Hog Mushrooms වර්ගයට අයත් සූකර හතු ඌරකු ලවා මතු කරවා ගන්නා ඉන්දියාවේ ගෝරක්පූර් ගොවියෙකි.

චුන්දකර්මාර පුත්‍රතුමාගේ අතිශයින් ම සිනිඳු වූ ඖෂධීය පානය වැලඳීම නිසා එතෙක් අධිෂ්ඨාන බලයෙන් යටපත් කැර තිබූ රෝගය බොහෝ සෙමින් ලිහිල් ව මතු වූ බව අටුවාවෙත් දැක්වෙනවා. එදා සවස ආලාරකාලාම පුත්‍රගේ ගෝලයකු වූ පුක්කුසතුමා බුදු රදුන් මඟදී හමුවී බෙහෙවින් සතුටට පත්ව සිවුරු වශයෙන් පරිහරණයට සුදුසු අගනා වස්ත්‍ර යුගලයක් උන්වහන්සේට පිදුවා. එයින් සැරසුණු බුදු පියාණන් වහන්සේ බුදුවූ දවස වගේ ම අතිශයින් බබළන්නට වූ බව පරිනිබ්බාන සූත්‍රය ම කියා සිටිනවා. ඔය කියන තරම් අසාධ්‍ය තත්ත්වයක් ඇති වී නම්, බුදු සිරුරෙහි එබඳු දීප්තියක් ඇතිවිය නොහැකියි. එදා හැන්දෑවේ ම භාග්‍යවතුන් වහන්සේ කුකුත්ථා නදියෙන් ජලස්නානය කළ බවත් කියැවෙනවා. පස්විසි වතාවක් මලපහ වූ සැබෑවක් නම් කවදාවත් කෙනෙකුට කෙළින් කටින් සිටගත නොහැකියි. මේ හැන්දෑවේ ජලස්නානය කළ නොහැකියි. ඒ ඇරත් උන්වහන්සේ එදා අසූ වයස් කෙනෙක්. අපි ඒකත් අමතක කරන්න හොඳ නෑ.

මස් මාංස වළඳන භික්ෂූන් වහන්සේලා එදා වගේ ම අදත් මස් මාංස සහිත දානවලට වඩිනවා. තවත් උන්වහන්සේලා මස් මාංස නොවළඳා අනෙකුත් එළවළු බත් ආදිය වළඳනවා. සීහ සේනාපතිවරයාගේ මස් මාංසවලින් සැදුම් ලත් දානයකට බුදුරජාණන් වහන‍්සේ වැඩ ම කළ බවත්, ඉන්පසු ත්‍රිකෝටික පාරිශුද්ධ මාංසයක් හැර වෙනත් මසක් නොවැළඳිය යුතු බව සඳහන් කැර තිබෙනවා. බුදුරදුන් මස්මාංස සහිත දානයකට වඩම කළ පමණින් ම මස් මාංස වැළඳුහයි නිගමනය කරන්නට බෑ.

1985 වසරේ ලන්ඩන් නුවර බෞද්ධ විහාරයේ මා ටික කලක් ඉන්නකොට හම්මලව සද්ධාතිස්ස නා හිමියන් හා මැදගම වජිරඤාණ නා හිමියන් ද ලන්ඩන් විහාරයේ වැඩ උන්නා. අති පූජනීය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය සංඝ පීතෲන් වහන්සේ ද ඒ දිනවල හිටියේ ලන්ඩන් නුවරයි. විශේෂයෙන් දහවල් දානයට භික්ෂූන් වහන්සේලා දහ දොළොස් නමක් මේ විහාරයට රැස්වෙනවා. දානය වළඳන විට දායක මහත්වරුන් බත් එළවළු ආදිය බෙදාගෙන යන අතර මස් මාංස ද බෙදනවා. මුලින් ම වාඩිවී සිටින්නේ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ නිර්මාංශාහාරී කෙනෙක්. එළවළු ව්‍යඤ්ජනය අතර මස් බෙදන දායක මහත්වරුන් ආනන්ද මෛත්‍රෙය නා හිමියන්ට මස් බෙදන්නට උත්සාහ කරන විට උන්වහන්සේ වළඳන පාත්‍ර පියනෙහි ඇඟිල්ලෙන් තැනක් පෙන්වා එතැනට බෙදන ලෙස ඉඟියක් කරනවා. එහෙත් උන්වහන්සේ මස් වළඳන්නේ නෑ. නැවත වතාවක් මස් බෙදාගෙන එන විට කලින් බෙදූ මස් ටික පෙන්වා බෙදූ මස් තව තිබෙන බැවින් නැවත නොබෙදෙන ලෙස අඟවනවා. කිසි ආකාරයකින් තමන් වහන්සේ මස් නොවළඳන බවක් අඟවන්නට උන්වහන්සේ කැමැති වුණේ නෑ. එසේ ඇඟවුවහොත් මස් වළඳන භික්ෂූන් වහන්සේලා කෙරෙහි දායකයන් තුළ මදිපුංචිකමක් ඇතිවේය යන හැඟීමෙන් උන්වහන්සේ එසේ කළේ. තමන්‍ නොවළඳන දෙයක් බෙදන විට ඇඟිල්ලෙන් ඊළඟ ස්වාමීන් වහන්සේලාට බෙදන්නට සංඥාවක් කිරීම දැනුත් පවත්නා සිරිතයි.

බුදුරජාණන් වහන්සේ ද මස් මාංස දන්දෙන තැන්වල ට වැඩම කළද නොවළඳා සිටියා. වළඳන කෙනෙකුට කඩඉම් පැනෙව්වේත් නෑ. තමා වෙනුවෙන් මැරූ බව නොදුටුවේ නම් (අදිට්ඨ) අසන්නටවත් නොලැබුණේ නම් (අසුත) තමන් නිසා මේ මස් පිළියෙල කරන්නට ඇතැයි කිසිම අයුරකින් සැකයකුත් පහළ නොවේ නම් (අපරිසංකිත) එබඳු ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් වැළැඳිය හැකි බව දැක්වූවා. මේ අතර වැළඳීමට තහනම් මාංස වර්ග දහයක් විනය පිටකයෙහි දක්වා තිබෙනවා.

 සුජාතා සිටු දුවගේ කිරි පිඬු දානය

1. මනුස්සමංසං – මිනීමස්

2. හත්ථිමංසං – අලි ඇතුනගේ මස්

3. අස්සමංසං – අශ්වයන්ගේ මස්

4. සුනඛමංසං – බලු මස්

5. අහිමංසං – සර්ප මස්

6. සිංහමංසං – සිංහ මස්

7. ව්‍යාග්ග මංසං – ව්‍යාඝ්‍රමස්

8. දීපිමංසං – දිවිමස්

9. අච්ෂ්මංසං – වලසුන්ගේ මස්

10. තරච්ෂ්මංසං – කරබානා වලසුන්ගේ මස්

සුජාතා සිටු දුවගේ කිරි පිඬු දානයත් (ප්‍රථම දානය) චුන්දකර්මාර පුත්‍රයාණන්ගේ මේ අන්ති ම බුද්ධ පූජාවත් සමාන අනුසස් ගෙන දෙන මහානිශංස දාන දෙකක් යැයි තථාගතයන් වහන්සේ ම වදාළා. මේ දාන දෙක ම නිර්මාංශාහාරයි.

බමුණන්ගේ අධර්මිෂ්ඨ අරමුණින් බුදුරදුන් පිරිනිවීමෙන් අවුරුදු දහයක් හමාරක් ගතවෙද්දී බුදු දහම සම්පූර්ණයෙන් ම දඹදිව් තලයෙන් බැහැර කරන්නට ඔවුනට හැකිවුණා. දැනට පවතින බුදුදහම දඹදිව ඇති කිරීමට හැකි වුණේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් ප්‍රමුඛ බෞද්ධ නායකයන්ගේ ඉදිරිපත් වීමෙන් 19 වැනි සියවසේදී බව සැලකිය යුතුයි. ජපානය, බුරුමය, තායිලන්තය වැනි රටවල රාජ්‍ය නායකයන් ද මෙරට ප්‍රභූ ජනතාව ද ධර්මපාලතුමන්ට සහයෝගය දුන්නා.

එදා ලොස් ඇන්ජලීස් නුවර පියනන්ද හාමුදුරුවන්ගේ පන්සලට රැස්ව සිටි සුද්දන් තම විචිකිච්ඡාව අත්හැර සූකර මද්දව දේශනාව අසා බොහොම පැහැදුණා. මේක අහගෙන හිටපු ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිටින විද්වතකු වන ආචාර්ය සුනිල් ජයසිංහ මහතා බුදුරදුන‍්ගේ අන්ති ම දානය පිළිබඳව විමර්ශනාත්මක ග්‍රන්ථයක් එළිදක්වා තිබෙනවා. එතුමා විසින් විවිධ මාතෘකා යටතේ ලියන ලද ග්‍රන්ථයන් අතර “THE LAST MEAL OF BUDDHA” නම් මේ පොතට ලෝක බෞද්ධයන් ඉහළ ම තැනක් දී තිබෙනවා.

About SirilakaNews

Check Also

151007145910_sylvain_margaine_a_512x288_sylvainmargaine

යුරෝපා ඉතිහාසයේ අතහෑර දෑමුණු තෑන්වල කාච සටහන්…….

ප්‍රංශ ජාතික ජායාරූප ශිල්පියෙක් වන සිල්වියන් මාර්ගේන් විසින් 1998 සිට මේ දක්වා ගන්නා ලද ජායාරූප ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *