Home / ඉතිහාසය සහ සංස්කෘතික / පාර්ලිමේන්තු සභාගර්භයේ ප්‍රධාන පිවිසුමේ සංස්කෘතික අගයෙන් යුත් සියුම් කලා කෘතිය

පාර්ලිමේන්තු සභාගර්භයේ ප්‍රධාන පිවිසුමේ සංස්කෘතික අගයෙන් යුත් සියුම් කලා කෘතිය

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ පාර්ලිමේන්තු සභාගර්භයේ ප්‍රධාන පිවිසුමේ ද්වාරය මෙහි දැක්වේ. පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ වාස්තුවිද්‍යා නිමැවුමේ එක් අංගයක් වන නමුදු මෙම ද්වාරය සැබවින් ම සියුම් කලා කෘතියකි. මෙහිදී සමස්ත ගෘහ නිර්මාණාත්මක අවකාශය තුළින් වියුක්තව ගෙන මෙම ගෘහ අංගයේ ගැබ්ව පවතින ලලිත කලාමය ගුණය හඳුනාගත හැක. රසවිඳිය හැක.

රිදී ‍දොර ලෙස හැඳින්වෙන තඹ ලෝහ තහඩු මාධ්‍යයෙන් ඝන රිදී ආලේපනයෙන් යුතුව නිමකර ඇති මෙම ද්වාරය මෙරට ප්‍රවීණතම මූර්තිකලා ශිල්පියෙකු වන විශ්වකර්ම, කලාශූරි සහ කලාකීර්ති සම්මානයෙන් පුද ලද විමල් වික්‍රම සුරේන්ද්‍ර මහතාගේ නිමවුමකි.

මෙම තෙදැති ද්වාරය පමණක් නොව පාර්ලිමේන්තු සභාගැබ ගාම්භීරව සරසන මහඟු රූකමින් පිරි ධජ පතාක පෙළ ඇතුළු කැටයම් කලා නිම ව ඇත්තේ ඔහුගේ දෑතිනි.

අඩි දොළහක උසින් හා අඩි දොළහක පළලින් යුතු මෙම රිදි දොර එක්වන ම නෙත ගැටෙනුයේ පැරණි සෙල් ලිපියක් විලසිනි. ශ්‍රී ජයවර්ධනපුර නව පාර්ලිමේන්තුවේ ගෘහ නිර්මාණ සැලසුම කළ ජගත් කීර්තිධර මෙරට ගෘහ නිර්මාණ ශිල්පි ජෙෆ්රි බාවා මහතා ස්වකීය මිත්‍ර වික්‍රම සුරේන්ද්‍ර වෙතින් ඉල්ලා සිටින ලද්දේ ද සෙල් ලිපියක් බඳු විසල් ද්වාරයක් නිමකර දෙන ලෙසිනි.

මෙම මා හැඟි රිදී දොරෙහි කලාත්මක ප්‍රකාශනය, එහි සියුම් කලාත්මක ලක්ෂණ, මෙන් ම එහි සැලසුම සඳහා කලා ශිල්පියා සතු වූ පරිකල්පනය වෙසෙසින් අවධානයට යොමුවිය යුතු වූවකි. ගෘහමය අංගයක් ලෙස එහි ප්‍රමුඛ ද්වාරය යනු ව්‍යවහාරිකමය නිමැවුමක් වන අතර ම අමූර්තවාදි කලා කෘතියක් පරිදි සියුම් කලා ප්‍රකාශනයක් ද මෙහි මතු කෙරේ. එනයින් මෙම නිමැවුම සියුම් කලාව හා ව්‍යවහාරික කලාව යන අදහස් පිළිබඳව නැවත සිතීමකට අවකාශ සලසයි.

“සවස්ති, ශ්‍රී බුද්ධ වර්ෂයෙන් දෙ දහස් පන්සිය විසි එක් වැන්නෙහි අධි නිකිණි මස පුර සැටවකේ නම් තිථිය ලත් දවස හෙවත් වර්ෂ එක්දහස් නවසිය හැත්තෑ හතක් වූ ජූලි මස විසි එක්වන ගුරු දින ශ්‍රී ලංකාවාසි ජනතාව විසින්…” ආදි කොට ආරම්භවන “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙයින් සම්මත කොට පනවම්හ.” ලෙසින් අවසන් හි සණිටුහන් වන මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව මෙම දොරෙහි කලාත්මකවත්, සමබරව සමමිතිකව, සිංහල දෙමළ හා ඉංග්‍රිසි ත්‍රි භාෂාවෙන් කැටයම් කොට ඇත.

දෙපසට විවෘත වන දොර පියන් ද්විත්වය සහිත සම චතුරස්‍රාකාර දැවැන්ත ද්වාරයේ පියන් වැසූ එහි මධ්‍යයේ දැකිය හැක්කේ නෙළුම් මල් මෝස්තරයක් සියුම් ව කැටයම් වූ වෘත්තාකාර හැඩයකි. එය මහනුවර දළදා මැඳුරට අයත් සියුම් රූකමකි. එමෙන් ම ද්වාරයේ කෙළවර සතරැස් තීරු සතරෙහි කැටයම් වූ ලියවැල් සහිත මෝස්තරය ද දළදා මාළිගාවේ වියනේ නිරූපිත අප්‍රකට පැරණි සැරැසිල්ලකි. ද්වාරය විවෘත වනුයේ මධ්‍යයේ නෙළුම්මල් මෝස්තර වෘත්තාකාර හැඩතලය අඩසඳමය හැඩ ලෙස දොර පියන් දිවිත්වයට වෙන්වෙමිනි. මෙම ගරු ගම්භීර ද්වාරය සැමවිට ම විවෘතවන්නේ ද නොවේ. රටේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා මෙන් ම සුවිශේෂි විදේශ රාජ දූතයෙකු හමුවේ පමණක් මෙම ද්වාරය විවෘත වේ. අන් අයෙකුට මෙම ද්වාරයෙන් සභාගැබට පිවිසීමට වරම් හිමි නොවේ.

තඹ ලෝහමය තහඩුව මත අක්ෂර මතු කරනුයේ සියුම් තීරු ලෙසිනි. මධ්‍යයේ වෘත්තාකාර හැඩයට ඉඩ දී ඒ වටා මෙම අක්ෂර තීරු චතුරස්‍රාකාරව සිව්දිශාගතව ක්‍රමිකව විහිදී යන ලෙස නෙළා ඇත. ඒ අනුව ද්වාරයේ සමස්ත දෘශ්‍ය ප්‍රකාශනය හැඟවෙනුයේ ත්‍රිමාන අයුරිනි. ගෝලාකාර නෙළුම් මල් මෝස්තරයට ඉහළින් ඒ ආසන්න වම් කෙළවරේ සිට කැටයම් වන වචන පෙළ හතරැස් හැඩතල වලට ඉඩ දෙමින් තිරස් අතටත් සිරස් අතටත් අඛණ්ඩව ගලා යයි. පටු තීරු දෙකක් ලෙස විහිදී යමින් එම තීරු මධ්‍යයේ සිංහල භාෂාවටත්, ඉංග්‍රිසි භාෂාවටත් ඉඩ සලසා ගනු ලබන අතර ම එම ද්විත්ව තීරුව වෙන්කෙරෙන ඉහළට මතු වූ කුඩා තීරුව ඉංග්‍රිසි භාෂාව සඳහා යොදාගනුයේ ආකර්ෂණීය සංරචනමය උපක්‍රමයක් ලෙසිනි. කලා ශිල්පියෙකුට චතුරස්‍රාකාර පෘෂ්ඨය වෙතට පිවිසිය හැක්කේ එහි සිව් ඉමේ සිට මධ්‍යය වෙතට නමුදු මෙම නිමැවුමේ දී කලාකරුවා ප්‍රවේශ වී ඇත්තේ එහි මධ්‍ය ලක්ෂයේ සිට සිව් දිශාව වෙතටය. සැබවින් ම මෙම සුවිශේෂි කලා නිමැවුම දෘශ්‍ය කලා විද්‍යාර්ථීන්ගේත්, කලා රසිකයින්ගේත් අවධානයට යොමුවිය යුතු වූවකි. කලා ඉතිහාස රචනා මතට රැගෙන ආයුතු වූවකි.

තනි ලෝහ තහඩුව තලා හීලෑකොට ඉතා සියුම් රූකම් නෙළීමට වික්‍රම සුරේන්ද්‍ර දක්වනුයේ මහා දක්ෂතාවයකි. ගොඩනඟන එම කලා නිමැවුම් මත දී නිම කළ මාධ්‍යය සැඟවී යයි. පැරණි ආසියාතික‍ ශෛලිගත කලාවේ මහිමය එහිදී මතුවෙයි. ඔහු සතු මෙම මාධ්‍ය හැසිරීමේ සුවිශේෂ කුසලතාව මත ඔහු තරුණ වියේ දි විදෙස් රටවල තිර පදිංචිය සඳහා, විදෙස් කලා ආයතනවල ඉගැන්වීම් සඳහා බොහෝවිට ආරාධනා ලැබී ඇත. එහෙත් සිය මවුබිම හැර දා යෑමට ඔහුට කිසිවිටක සිත් ලැබී නැත.

කොළඹ කොටුව ලංකා බැංකු මූලස්ථානයේ නිමවා ඇති ශ්‍රී ලංකාවේ කාසිවල ඉතිහාසය විදහා දැක්වෙන ලෝහමය කාසි සංරචනයෙන් යුතු මූර්ති කෘතිය, ඔහුගේ තවත් කලා නිමැවුමකි. අතීතයේ සිට වර්තමානය දක්වා භාවිත වූ සියලුම කාසි වර්ගවල ආකෘති ඊට එක්කර ඇත. එමෙන් ම කොමර්ෂල් බැංකු මූලස්ථානයේ ස්ථාපිත අඩි 25ක් දිගැති මූර්ති ඵලකය, ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථාපනය කරන ලද ටොන් 2 1/2 බරැති ලෝකඩ සිංහ මූර්තිය, උපරිමාධිකරණයේ පිහිටුවා ඇති අඩි 16ක් පමණ උසැති අෂ්ටමංගල සංකේත සහිත රිදී කොඩි සමූහය, පාප් වහන්සේගේ ලංකා සම්ප්‍රාප්තිය වෙනුවෙන් මාලිගාවත්ත ශුද්ධ වූ මරියතුමන්ගේ දේවස්ථානය සඳහා නිමකරන ලද ජේසු සමිදාණන් නිරූපිත අඩි 17ක් උසැති ලෝහ මූර්ති කෘතිය, බස්නාහිර හා දකුණු පළාත් සභා සෙන්කෝල යුගල ආදි කලා නිමැවුම් ඔහුගේ දෑතින් නිම වී ඇත.

පාරම්පරිකව කලාව තමන් ට උරුමයක් ව වී ඇති බව වික්‍රම සුරේන්ද්‍රයන් සඳහන් කරනුයේ මහත් අභිමානයෙනි. “රුහුණු මාගම්පුර සියඹලාපේ හැවුවෝවිට චිත්‍ර වික්‍රම ආචාර්ය විස්කම් විමලසුරේන්ද්‍ර” යනු ඔහුගේ පෙළපත් නාමයයි. එමෙන් ම ඩී.ජේ. විමලසුරේන්ද්‍ර, සයිරස් විමලසුරේන්ද්‍ර ආදි මෙරට කීර්තිමත් විමලසුරේන්ද්‍රවරු ඔහුගේ ඥාතිවරු වෙති.

පනහ දශකය මැදදී එවක රජයේ කලායතනයට එක් ව කලාව හදාරා වසර කීපයක් එහි ආචාර්යවරයෙකු ලෙස සේවය කළ ඔහු තම කලා ක්‍රියාකාරිත්වයන් හි අධිකකම මත ම එම තනතුරින් ඉවත් විය.

1936 දෙසැම්බර් 16 දින උපත ලද විමල් වික්‍රම මේ වනවිට සැත්තෑ නව වැනි වියට සමීපව සිටී. තවමත් කලා ක්‍රියාකාරිත්වයට සිත සවි ඇති නමුදු ගත දුබලව, වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටී. ස්වකීය දෑතින් නිමවූ කලා කෘති සමුදාය නැවත දැක ගැනීමට ඒ සඳහා පාර්ලිමේන්තුවෙන් ආරාධනයක් අපේක්ෂාවෙන් සිටී.

මෙරට පාර්ලිමේන්තු සභා ගැබ තුළ ගාම්භීරව දෑලේ අසුන් දරන ගරු මහජන නියෝජිතවරුන්ගෙන් මෙසේ ඉල්ලමු. ඔබ ආසන මත සිටම සභාගැබ ඉහළතට නෙත් යොමුකරන විට ඔබ දකින රිදී ධජ පෙළ දෑතින් නිමකළ කලාකරුවා රිදුම් පිරිමදිමින් සැඳැවිය ගෙවමින් සිටී. ඔහු සැබවින් ම සංස්කෘතික වීර වරයෙකි. ඔබ තුළින් නියෝජනය වන ජාතියේ ගෞරවය ඔහුට පිරිනැමිය යුතු නිමේෂය උදා වී ඇත.

About SirilakaNews

Check Also

151007145910_sylvain_margaine_a_512x288_sylvainmargaine

යුරෝපා ඉතිහාසයේ අතහෑර දෑමුණු තෑන්වල කාච සටහන්…….

ප්‍රංශ ජාතික ජායාරූප ශිල්පියෙක් වන සිල්වියන් මාර්ගේන් විසින් 1998 සිට මේ දක්වා ගන්නා ලද ජායාරූප ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *