Breaking News
Home / ඉතිහාසය සහ සංස්කෘතික / මහා සම්මත රජුගේ කාලය දක්වා දිව යන යාතු කර්ම ශාන්තිය.

මහා සම්මත රජුගේ කාලය දක්වා දිව යන යාතු කර්ම ශාන්තිය.

යාතු කර්මවල විකාශනය සිදු වූ ආකාරය පැහැදිලි කිරීම ඉතා දුෂ්කර කටයුත්තකි. එහෙත් වෙනත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද යාතු කර්මවලට ඉතා දිගු ඉතිහාසයක් තිබේ. මෙය කවදා ඇති වූවක් දැයි නිශ්චිතව කිව නොහැකිය. ශාන්ති කර්මවල දැක්වෙන පරිදි ශ්‍රී ලාංකික යාතු කර්මවල ඉතිහසාය images (2)6153037129_dd1fda7fb5_b යයි. මහා සම්මත රජුට වැලඳුණු දිවි දොස වළක්වා ගැනීම සඳහා බමුණන් රැස් ව මහා ශාන්ති කර්මයක් කළ බව කියැවේ. එහෙත් මෙකී මහා සම්මත රජු කවරෙක් දැයි අපි නොදනිමු. ඔහු පිළිබඳ ව අනෙකුත් කිසිදු පිළිගත හැකි ඉතිහාස මූලාශ්‍රයක සඳහන් නොවේ.

එමෙන්ම සක් දෙවිඳු ද යාතු කර්මවලට සමාන පුද පූජා වසරක් පාසා පැවැත්වූ බව විෂ්ණු පුරාණයේ සඳහන් වේ. මේවා හුදු මනඃකල්පිත කතා විය හැකිය. කෙසේ වෙතත් හෙළ රජ දරුවන් පවා ශාන්ති කර්ම කරගත් බවට ඉතිහාස සාධක කොතෙකුත් දැක්විය හැකිය. සීතාවක රාජසිංහ රජුගේ කතා පුවත හා සම්බන්ධ අරිට්ඨ කීවෙන්ඩුගේ රාජා හෝ මා හෝ ගංගා හෝ යන කතා පුවත ඉන් එකකි. ශාන්ති කර්ම සිදුකළ බවට සාධක නැතත් ෂඩ් භාෂා පරමේශ්වර ‍‍තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් යන්ත්‍ර මන්ත්‍ර මෙන්ම නැකැත් කටයුතු ද මැනවින් දත් හිමිනමක වූ බවට කතා බොහෝ ඇත. එදා තරම්ම යාතු කර්ම අද දක්නට නැතත් ඒවා ජන සමාජයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වී නැතැයි පැවසීම සහේතුක ප්‍රකාශයකි.

යාතු කර්ම විවිධාකාර වේ. බලි, යාග, දහඅට සන්නිය, හූනියම් කැපීම්, තුන් සමයම, දෙහි කැපීම, දෙවොල් මඩු, කොහොඹා කංකාරිය, ගම් මඩු, කිරි ඉතිර වීම (කොළ යහන් මඩු) ආදිය ඉන් සමහරකි. මේවා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන ස්වරූපයක් දක්නට ලැබේ. භාවිතා කරන යාතිකා ක්‍රම මෙන්ම මන්ත්‍ර යන්ත්‍ර ආදිය ද වෙනස් වේ. එපමණක් නොව ඇතැම් ප්‍රදේශවල අදහන දෙවියන් තවත් ප්‍රදේශයක දක්නට නැත. මංගර හා මහසෙන් එවැනි දෙවිවරු ය. එක් එක් ප්‍රදේශවලට අරක්ගත් ගම්භාර දෙවිවරු විශාල සංඛ්‍යාවක් සිටිති. කෙසේ වෙතත් නාථ, සුමන සමන්, විෂ්ණු, කතරගම, පත්තිනි, විභීෂණ, දෙවොල් ආදී දෙවිවරු හැම ප්‍රදේශයක ම ජනතාවගේ ගෞරවයට පාත්‍ර වෙති.kandiandance

පාතබුලත්ගම කෝරළයේ දක්නට ලැබෙන හත් අඩියේ දෙහි කැපීම, දෙවොල් මඩු, ගම්මඩු, හූනියන් කැපීම, මංගර දෙවියන් පාදක කරගත් කොළයහන් මඩු (කිරි ඉතිරවීම) යක්ෂ දෝෂ වලට කෙරෙන තුන් සමයම ආදී සෑම යාතු කර්මයකම භාවිතා වන යන්ත්‍ර, මන්ත්‍ර, යාතිකා, සිරසපාද හා ස්තෝත්‍ර ආදියෙහි බෞද්ධ දර්ශනයට අදාළ කරුණු, බුදුගුණ මෙන් ම බුදු සිරිතට අදාළ කරුණු ද බහුල ව දක්නට ලැබේ. මෙයට බලපෑ එක් හේතුවක් වන්නේ බොහෝ යන්ත්‍ර මන්ත්‍ර හා සිරසපාද හා ස්තෝත්‍ර ආදිය සංඝයා වහන්සේ විසින් පබැඳීමයි. වීදාගම හිමියන් මෙයින් එක් හිමි නමකි.

උතුම් මෙකවි පද බැඳි වීදාගම
තෙරුන් බැතින් පළමුව නමදිමි මම

කිරි ඉතිරවීමේ සෙත් ශාන්තියට අදාළ පහත පැදි පෙළ තවත් උදාහරණයක් ලෙස දැක්විය හැකිය.

සසිරි බර – මෙසිරිලක
එසිරිමත් සුගත පෙර
එසිද්ධත් තෙර පවර
කිවිඳු මුඛයෙන් පබඳ

මෙයින් පෙනෙන්නේ සිද්ධාර්ථ යන හිමි නමක් විසින් මේ පැදි පෙළ නිබන්ධනය කළ බවකි. සංඝයා වහන්සේ විසින් මෙන්ම බොහෝ කවි පැරණි පඬිවරුන් විසින් නිබන්ධනය කර ඇත. ඔවුහු බෞද්ධ ආගම පිළිපැදි පඬිවරු ය. මේ නිසා ආගමික කරුණු කාරණා බෙහෙවින් යාග හෝම වල ඇතුළත් වී ඇත. නිබන්ධකයන් මෙසේ කටයුතු කිරීමෙන් අරමුණු කර ඇත්තේ බුදුගුණ හා ධර්මයේ බලයෙන් ලෙඩ රෝග සුවකර ගැනීමකි. පිළිවෙළක් සහිත ව යාග හෝම ආරම්භ වන අවධියේ හෙළ දිවෙහි වැඩි වශයෙන් වාසය කළෝ බෞද්ධාගමිකයන් බවට නිගමනය කළ හැක. ඔවුහු සතර පොහොයට සිල් සමාදන් වූ, දුසිරිතෙන් ඈත් වූ කරුණා, මුදිතා, මෙත්තා, උපේක්ඛා ආදී වූ සතර බ්‍රහ්ම විහරණයෙහි ළැදි අය වූහ. මේ නිසා දුක, ශෝකය සහ බිය තුනී කර ගැනීමට ඔවුහු නිතර බුදු ගුණ සිහි කළහ.

බුදු සිරිත මෙනෙහි කළහ. බියට පත් සැනෙකින් සිහි වන්නේත්, මුමුණන්නේත් ඉතිපීසෝ ගාථාවයි. මළ ගෙවලදී වෙස්සන්තර හා අනෙකුත් ජාතක කතා මහ හඬින් කියවන්නේ හුදෙක් අනියත බිය, පාළුව හා දුක තුනී කර ගැනීමටයි. යකුන් මෙල්ල කිරීමට බුදු ගුණ හා බෞද්ධ ධර්මය තරම් ප්‍රබල මෙවලමක් තවත් නැත. පිරිතට යක් දෝෂ මෙන්ම සියලු දෝෂාන්ධකාරයන් දුරු කිරීමේ මහඟු බලයක් ඇත. විශාලා මහනුවර තුන් බිය දුරු වූයේ බුදුන් වහන්සේ විසින් දේශනා කළ රතන සූත්‍රයේ බලයෙනි. ඇස්වහ හා කටවහ දුරු කිරීමට පැරැණියෝ බුදුගුණ සිහිපත් කළහ. එදා ජනතාව තුළ පැවති මෙකී චර්යාවන් අවබෝධ කරගත් පඬිවරු හා සංඝයා වහන්සේලා යාග හෝමවලට අදාළ යාතිකා, කවි, ස්තෝත්‍ර ආදිය නිබන්ධනය කිරීමේ දී බුදුගුණ, බුද්ධ චරිතය හා ජාතක කථා වලට අදාළ කරුණු ආදිය කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වූහ.

පැරණි පඬි වදනට අනුව දක්ෂ ඇදුරකු වන්නේ ඔහු පන්සිල් රකින්නකු නම් පමණි. රෝග සහ දෝෂ දුරු වන්නේ කුමන ආකාරයේ කපුවන් විසින් යාග කළහොත්ද යන්න මෙසේ විස්තර කෙරේ.

ශුද්ධ වංශ සතර කුලෙන් පණ්ඩිතකම් ඇති ඇදුරෙක්
බුද්ධ, ධම්ම, සංඝ රත්න පිහිටපු තුනුරුවන් අයෙක්
ශුද්ධ ලෙසට ලැබ විවරණ නිති පන්සිල් දැරූ අයෙක්
ශුද්ධ ලෙසට කළොත් යාග දොෂ දුරුවෙයි මේ ඇදුරෙක්

සෑම යාගයක ම හා ශාන්ති කර්මයක ම මූලික කටයුත්ත වන්නේ මල් යහන් වෙත දෙවියන් කැඳවීමට ආරාධනා කිරීමයි. දේව ආරාධනා, යාතිකා කිරීම හා කවි ගායනා කිරීම යනුවෙන් දෙයාකාර වේ. පළමුව සිදු කෙරෙන්නේ යාතිකා කිරීමයි. මෙහිදී නාථ සුමන සමන්, පත්තිනි, විභීෂණ, කතරගම, විෂ්ණු, ගම්භාර ආදී සියලු දෙවියන්ට ආරාධනා කෙරේ. “අවසර පස්වාන් දහසක් පස්වාන් දහසකට මතු බුදු බව පතන්නා වූ අනාත නාථ නාථේස්වර දිව්‍ය රා‍ජෝත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේට කරන මෙකී කන්නලව්ව දිව්‍ය නේත්‍රාභරණයට පෙනී වදාරා දිව්‍ය, කර්ණාභරණයට ඇසී වදාරා මේ සකල ශරීර පංචස්කන්ධවල්” ආදී වශයෙන් ආරාධනා කිරීම සිදු වේ. කවි ගායනා කිරීමෙන් දේව ආරාධනා සිදු කෙ‍ෙරන්නේ ඉන්පසුවයි. එහෙත් සූනියම් කැපීම, යකුන් නැටවීම ආදී මහා යාගවල කවි ගායනා කිරීමෙන් දේව ආරාධනා සිදු වන්නේ කඩතුරා ඇරීමෙන් පසුවයි. කඩතුරා ඇරීමෙන් බලාපොරොත්තු වන්නේ ශරීරය තුළ සැඟවී ඇති දෝෂ සහ ආවේශ වී ඇති භූතයින් එළියට ගැනීමයි. එනම් නිරාවරණය කිරීමයි. කඩතුරා ඇරීම සිදු කරන්නේ කවි, ස්තොත්‍ර හා ශ්ලෝක ගායනා කිරීමෙනි.

මෙහිදී ගායනා කරන ඇතැම් කවිවල බුදු සිරිතේ අඩංගු සිද්ධි ඇතුළත් වේ. මේ එවැනි උදාහරණයකි.

අලව් පුරවරා යක්සෙන් මිනී මර මරා
එකල් නරවරා මුනි රජ වෙතට සැළ කරා
එකල් මුනිවරා වැඩලා යකුන් දුරු කරා
එතෙද ගෙන දරා ඔබ ගත හරින් කඩතිරා

බුදු බණ හා බුදු ගුණ ඉදිරියේ යකුන් මෙල්ල වේ. බෙලහීන වේ. මෙවැනි කවි ගායනා කරන බොහෝ අවස්ථාවලදී ආතුරයා (රෝගියා) ආවේශ වන්නේ එනම් සිහි විකල් වී දැඟලීමට පටන් ගන්නේ මේ සත්‍ය නිසාවෙනි. ආතුරයාට යක්ෂයකු හෝ ප්‍රේතයකු ආවේශ වී ඇති බව පැහැදිලි ලෙස ඇදුරා අවබෝධ කරගන්නේ මෙවැනි ප්‍රතික්‍රියාවකිනි.

මහා ශාන්ති කර්මවල දේව ආරාධනා සඳහා කවි ගායනය සිදු වන්නේ ඉන් අනතුරුවයි. මෙහිදී දෙවියන් කෙරෙහි පුද දෙනු ලබන්නේ සුවඳ දියර (පිනිදිය) කපුරු, සුවඳ දුම් (කට්ටකුමංජල් හා හඳුන්කූරු) බුලත්, මල් සහ පඬුරුය. මල් යහන් තුළ දෙවියන් සඳහා පහන් දැල්වේ.

යාතිකා කිරීමෙන් පසු දෙවන වරට දේව ආරාධනා සිදු කෙරෙන්නේ තාලයට ගැයෙන කවි වලිනි. මේ තුළින් ආතුර සිත්තුළ පහන් සංවේගය ඇති වේ. නිවන යනු බුද්ධ දර්ශනයෙහි අවසන් අරමුණයි. අප විසින් සියලු පින්කම් කරනු ලබන්නේ පරම සැපත වූ නිර්වාණය බලාපොරොත්තුවෙනි. යාග හා සෙත් ශාන්තිවලට ආරාධනා කරන ඇතැම් දෙවිවරු මතු බුදු බව හෝ නිර්වාණය ප්‍රාර්ථනා කරගෙන සිටින මහත්වූ පුණ්‍යවන්තයෝ වෙති. නාථ දෙවියන් බුදුබව සඳහා පෙරුම් පුරණ අතර සුමන සමන් දෙවියෝ සෝවාන් වී නිර්වාණය බලාපොරොත්තුවෙන් සිටිති.

සාමාන්‍ය දෙවි කෙනෙකුට වඩා නිවන් හෝ බුදුබව ප්‍රාර්ථනා කරන දෙවි කෙනෙකුගෙන් වඩාත් හොඳ සෙත් ශාන්තියක් උදාවෙන බව සිතූ එදා පඬිවරු එවැනි දෙවිවරුන්ට පළමුව මල් යහනට ආරාධනා කළහ.

ගම්මඩු හා කිරි ඉතිරවීම් සිදු කිරීමේ දී ඉතා වැදගත් අංගයක් වන්නේ පත්තිනි හෑල්ලයි. මෙහි පත්තිනි දෙවියන් පඬිරජු හා උරණ වී වම් පියයුර කඩා දමා ගසා පඬිපුර ගිනි ලූ ආකාරය, දෙව් ලොවින් මල කොස් කණුවක් එවා එයින් උළුවස්සක් සාදා පත්තිනි දෙවියන් උදෙසා දෙවොලක් ඉදිකළ කල්හි උළුවස්සෙන් කොස් ගෙඩියක් හටගත් ආකාරය ආදී කරුණු මැනවින් ගෙන හැර දක්වයි. හතළිස් පහක් පමණ වූ මෙකී කවි පන්තිය ආරම්භ කෙරෙන්නේ ද බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීමෙනි.

සව් සිරි පිරිනි තොරා
ලොව්තුරු දහම් මනහරා….

තුන් සමයම (යකුන් නැටවීම) ආරම්භ කෙරෙන්නේ දෙවි, ගුරු, දෙගුරු ආදී වූ විවිධ අයගෙන් වරං (අවසර) ගැනීමෙනි. යකුන් සමඟ කටයුතු කිරීම භාරධූර කටයුත්තකි. මෙය හරියාකාරව සිදු නොකළහොත් එහි ඍණාත්මක ප්‍රතිඵල ලැබෙන්නේ ඇදුරාටය. ඇතැම්විට එය ඇදුරාගේ ජීවිතය පවා අහිමි වීමට හේතු වේ. මෙහිදී ද පළමුව වරං ගන්නේ බුදුවරුන්ගෙනි.

නොයෙක් කවි කියමින් ආතුරයට බැල්ම හෙළුෑ යක්ෂයාට රඟ මඩලට පැමිණෙන ලෙස අරාධනා කරයි. මෙහිදී ආතුරයා අවේස වේ. අවසානයේදී එනම් ආතුරයා යක්ෂාවේශ වී නැටීමට සුදානම් තත්වයට පත් වූ විට ඇදුරා කවියක් ගායනා කරයි.

මේ වනවිට යකැදුරු සිටින්නේ තරමක අභිමානයෙනි. අටවිසි බුදුවරුන්ගේ වරම් ලැබී ඇත. සියලු දෙවියන් තොරණ (මල් යහනට) වලට වැඩමවා ඇත. එබැවින් දෙවියන්ගේ ආරක්ෂාව ඔහු සතුව ඇත. නිති පන්සිල් රැක ඇති බැවින් යක්ෂ බැල්මට ඔහු වෙත ළඟා විය නොහැකිය. එසේ නම් ආතුරට වැසී ඇති යක්ෂයා නැටවීමට කුමන බියක් ද, එබැවින් රැස්ව සිටින සියලු ජනයිනි බලන්න යක්ෂයා රඟ මඬල බැස නටනා ආකාරය, යනුවෙන් ඇදුරා පවසයි.

බුදු ගුණ හා බුද්ධ චරිතයේ අඩංගු කරුණු බෙහෙවින් අන්තර්ගත වන්නේ ඇස්වහ, කටවහ සහ ග්‍රහ දෝස පලවා හැරීම සඳහා සිදු කරනු ලබන හත් අඩයේ දෙහි කැපීමේ ශාන්ති කර්මයෙහි ය. හත් අඩිය යනු බුදුන් වහන්සේලා ලොව පහළ වී පළමුවරට මිහිපිට පියවර තැබීමේ දී පිපෙන නෙළුම් මල් හත වේ. කෙසෙල් කොට, පුවක් මල් පුළුක් ගොබ (එනම් ළපටි නොපීදුණු පොල් අතු) ඇසුරින් සාදාගන්නා නෙළුම් මල් හතෙහි තබන පඬුරු, දෙහි සහ බුලත් සඳහා උත්පත්ති කථා ඇත. හත් අඩියේ කටයුතු ආරම්භ කිරීමට පෙර බෝසත් සිරිතේ ඇතැම් වැදගත් අවස්ථා කාව්‍ය අනුසාරයෙන් ගෙන හැර දැක්වේ.

ගැසූ සිරිපද කාළදේව තපසුන්ගේ ජටාමූලේ
දෙසිය සොළොස් මඟුල් ලකුණු පිහිටි එදා සිරිපතුලේ….

දෙහි කැපීමේ ශාන්ති කර්මයෙහි දැක්වෙන බුලත උපත තනිකර ම ජාතක කථාවක් (සස ජාතකය) ඇසුරින් සැකසී ඇත.

බුලත් උපතෙහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් ශාන්ති කර්මයකදී මෙවන් ජාතක කථාවක් කාව්‍ය අනුසාරයෙන් ගෙන හැර දැක්වීමෙන් සිදු වන්නේ ආතුරයගේ සිත පහන් වීමයි. එය කිසියම් ආකාරයක මානසික සුවයකි. පෙරළා ශාරීරික සුවයකි.

සත් අඩියේ දෙහි ඇදුරා අතට ගැනීම ද බුදු ගුණ ගායනා කිරීමෙන් සිදු වේ.

සිව්වෙනි පියුමට කකුසඳ මුනිදු වැඩිය වර
ඒ පියුමේ වැඩ සිට ගෙන සිංහ නාද කර
සිහ නද බලයෙන්ම ගතේ බන්ධන ඉඩහර
සිව් අඩයේ දෙහි ගන්නට මිහිකත අවසර

දෙහි කැපීෙම්දී මෙන්ම හූනියම් කැපීමේදී ද ඉතා බලගතු මන්තර භාවිතා කෙරේ. මෙකී මන්තරවල ද බුදු සිරිතෙහි ඇතුළත් කරුණු මෙන්ම වෙනත් තෙරුන් වහන්සේලාගේ ගුණ ද අඩංගු කර ඇත. “නමෝ ආනන්දෝති මහා ථේරෝ යුත්තේ, යුත්තේ, පජ්ජලති පජ්ජලති තේහොං තේහොං ලෝහෝ ලෝහෝ පරමේස්වාහඃ බුද්ධ මන්තං මන්තංච, ධම්ම මන්තං මන්තංච, සංඝ මන්තං මන්තංච, ඉමං අතුරස්ස සර්ව දෝස, සර්ව භය, සර්ව රෝග, සර්ව අන්තරාය විනස්සත්තු” මෙකී මන්තරවල එක භාෂාවකට අයත් වචන පමණක් ඇතුළත් නොවේ. බොහෝ මන්තර සිංහල, දෙමළ, තෙළිඟු හා සංස්කෘත වැනි වචනවල සංකලනයන්ය. ඇතැම්විට තනිකරම විදේශ භාෂාවන් දක්නට ලැබේ. අරාබි මන්තරයක් වන “බිසි බිල්ලාව” එයට කදිම උදාහරණයකි.

හූනියම් කැපීම මෙන්ම, දෙහි කැපීමේ දී භාවිතා වන ඉතා බලගතු මන්තරයකි ජල නන්දන පිරිත. ආනන්ද මහ තෙරුන් වහන්සේ රොඩී කාන්තාවකගේ වසී ගුරුකමකට අසු වී ඇය පසු පස ඇගේ නිවසට වඩින විට බුදුන් වහන්සේ එය දිවැසින් දැක වසී ගුරුකම කැපීම සඳහා ජල නන්දන පිරිත දේශනා කරන ලදී. මෙයින් සියලු වස් දොස් සහ සියලු බන්ධන ඡේදනය කළ හැක. එහෙත් බොහෝ ඇදුරෝ ජල නන්දන පිරිත කට පාඩම් කිරීමට අකමැති වෙති. එයට හේතුව වන්නේ ඒ තුළින් අනෙක් මන්තරවල බල බි‍ඳේය යන විශ්වාසයයි.

සියලු යාතු කර්‍මවල අවසන් පියවර ලෙස සිදු කෙරෙන්නේ සිරිස පාද ගායනා කිරීම තුළින් හිසේ සිට පාදය දක්වා වූ සියලු දොස් නිවාරණය කිරීමයි. මෙවැනි සිරිසාද වලද බුදුගුණ හා බුදු සිරිත බෙහෙවින් ඇතුළත් වේ.

සියලු යාතු කර්ම අවසන් කෙරෙන්නේ ආතුරයා විසින් මල් යහන් වලට වැඳ නමස්කාර කිරීම තුළිනි. මෙහිදී ආතුරට ඇදුරාගෙන් ලැබෙන උපදෙස් මෙසේය. “හොඳයි දැන් තමුන් හිතා ගන්ඩ තිස් පැයක් මුළුල්ලේ අප විසින් කරන ලද ශාන්ති කර්මයේ බලයෙන් අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි, දෙසිය තුනක් ආන්තරාවල් දූරින් භූත වුණා. මා මේ වැඳ නමස්කාර කරන්නේ අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුදු වීමට පිටදුන් ශ්‍රී මහා බෝධියටයි කියලා හිතාගෙන නැගිටලා ගිහින් අර මල් පැලට (මල් යහන) වැඳ නමස්කාර කර ගෙට යන්ඩ” යනුවෙනි.

හෙළ දිව යාතු කර්ම ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ. එකී යාතු කර්මවලදී භාවිතා වන යන්ත්‍ර, මන්ත්‍ර, යාතිකා, කවි, ශ්ලෝක මෙන්ම මල් යහන් හා පිදේනි ද යාතු කර්ම පිළිවෙළද වෙනස් වේ. නැටුම්, ගායනා විලාශයන් සේම වාදන භාණ්ඩ ද එසේමය. පහතරට යක් බෙරය භාවිතා වන අතර උඩරට බහුල ව වාදනය කරන්නේ ගැට බෙරය වේ. රජරජ ප්‍රදේශවලදී උඩැක්කිය වාදනය කෙරෙතත් සබරගමු ඇතැම් ප්‍රදේශවල දවුල භාවිතා කෙරේ. එහෙත් මේ සියලුම යාතු කර්මවල දැකිය හැකි පොදු ලක්ෂණ වන්නේ යන්ත්‍ර, මන්ත්‍ර, යාතිකා, යාදිනි සහ කවි පන්තිවල කොතැනක (මුල, මැද, අග) හෝ ආගමික කරුණු බෙහෙවින් අන්තර්ගත වී තිබීමයි. එපමණක් නොව ආරක්ෂාව පිණිස තඹ තහඩුවල සකස් කෙරෙන යන්ත්‍රවල ඇතැම් විට ලියන්නේ බෞද්ධ ගාථා පමණි.

About SirilakaNews

Check Also

wimala-2

පාර්ලිමේන්තු සභාගර්භයේ ප්‍රධාන පිවිසුමේ සංස්කෘතික අගයෙන් යුත් සියුම් කලා කෘතිය

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ පාර්ලිමේන්තු සභාගර්භයේ ප්‍රධාන පිවිසුමේ ද්වාරය මෙහි දැක්වේ. පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ වාස්තුවිද්‍යා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *