Breaking News
Home / කලා / බුද්ධදාස විතානාරච්චි නම් සොදුරු මිනිසා වෙසෙන නිවස සොයා ගියෙමි.

බුද්ධදාස විතානාරච්චි නම් සොදුරු මිනිසා වෙසෙන නිවස සොයා ගියෙමි.

ගෙවත්තේ එක් කෝණක පිහිටි විසල් කුඹුක් ගසේ අතුපතර සෙලවෙන්නේ ලතාවකට යැයි මට සිතිණි. ගෙවත්තට ඇතුළත් වන්නට පෙර maxresdefaultමා ඒ දෙසම බලා සිටියේ පුදුමයෙනි. මන්ද අපේ ගම් පියසේ නම් කුඹුක් ගස් තිබෙන්නේ නිවෙසට බොහෝ ඈතින් බැවිනි. නිවෙස අසලම තිබෙන මේ ශාකයේ සෙවණ නිසා දැනෙන සිසිලස මුළු ගෙවත්තේම පැතිර ගිය සෙයකි. ගෙවත්තට ඇතුළත් වන තැනම පිහිටි ඇහැළ රුක මල්වලින් බරව තිබුණු වගට සාධක ඒ දෙස බලන්නකුට පැහැදිලිවම පෙනෙයි. නිහඬ, නිසල පරිසරය නිවැසියන්ගේ විදිය කියාපාන සාධකයක් වැන්න. නිවෙස ඉදිරිපසට පැමිණි පසුව එහි ඇතුල් වන්නේ කෙසේදැයි මම අවට බැලීමි. එකණෙහිම මා නොසිතූ පෙදෙසකින් ඔහුගේ රුව මතුවිය.

“අපේ ගෙදරට පිවිසෙන තැන සොයා ගන්න ටිකක් අපහසුයි.”

මුවඟට නැඟි මද සිනාව සමඟ බුද්ධදාස විතානාරච්චි නම් ඔබ ආදරය කරන රංගන ශිල්පියාගේ ස්වරයේ වූයේ නිවිසැනසිල්ලේ කරන කතාබහකි. පියගැටපෙළ නැඟ ගිය තැන හමුවන්නේ සාලයයි. විසිතුරු බඩු භාණ්ඩවලින් තොරවූ සාලය චාම් ය. එහි සෙටිය හැරුණු විට ඇත්තේ පුටු කිහිපයකුත්, Buddhadasa-Withanachchi3263රූපවාහිනියත්, පොත් හා පින්තූර තබන ලද පුංචි කබඩයක් පමණි. මම යළිත් පුදුමයට පත්වීමි.

“මේ දවස්වල ඔබ මොනවද කරන්නේ?”

ඉදිරිපස අසුනේ අසුන් ගෙන උන් ඔහුගෙන් මම විමසීමි.

“ මේ දවස්වල මගේ සුපුරුදු රංගන කටයුතු කරගෙන යනවා. පසුගිය දවස්වල චිත්‍රපට කිහිපයක වැඩ කළා. ඉන් දෙකක් විතර තිරගත වුණා. ඉදිරියට එන්න තියෙන්නේ ‘ආලෝකෝ උදපාදි’ කියන චිත්‍රපටයයි. ඵෙතිහාසික කතාවක් වුණත් ඒකත් හොඳ චිත්‍රපටයක්. ඒ වගේම ටෙලි නාට්‍ය කිහිපයකම වැඩ ඉවර කළා. මේ වනවිට ටෙලි නාට්‍ය කිහිපයක් විකාශය වෙනවා. දැන් නිර්මාණ දෙකක වැඩ කරමින් පවතිනවා. ඉදිරියේදි ඒ නිර්මාණත් විකාශය වේවි.”

ඒ අතර කතාබහට හවුල් වීමට පැමිණෙන්නේ බුද්ධදාස විතානාරච්චිගේ බිරිය සීතා ලාලනී හේමමාලා විතානාරච්චි ය. නිශ්ශබ්දව පැමිණි ඕ සැමියා අසලින් අසුන් ගත්තේ අපේ කතාබහට බාධා නොවන අයුරිනි.

“පසුගිය කාලයේ බොහෝ කතාවල ඔබගේ රඟපෑම් අප දුටුවා.”

“ඉස්සර තරම් මම දැන් වැඩිය නිර්මාණ බාර ගන්නෙත් නැහැ. බොහෝ වෙලාවට පසුගිය දවස්වල නිර්මාණ හතරක එකට රඟපෑවා. ඒවායේ රූගත කිරීම් තියෙන්නේ එකක් බණ්ඩාරවෙල. තව එකක් කොළඹ. තව එකක් තවත් දිහාවක. එහෙම වුණාම ගමන් බිමන් යනවා ඇරෙන්න විවේකයක් ඇත්තේම නැහැ. නිර්මාණ කොයිතරම් හොඳ වුණත් කායික මානසික විවේකයක් නැහැ. එහෙම චරිතවලට පිවිසෙන එකත් පීඩාකාරියි. මොකද ගැඹුරු චරිතයකට සම වැදෙනවා කියන්නේ මානසික අභ්‍යාසයක් නේ. පිට පිට එවැනි චරිත කිහිපයකට සම වැදෙනවා කියන්නේ ඒකත් මානසික පීඩාවක්.”

විවේකය පිළිබඳ වඩාත් සිතන ඔහුගේ සිත සැනසිලිදායක බවට ප්‍රිය කරයි. ඒ අතර මීට වසර කිහිපයකට පෙර ගෙවූ නිර්මාණ දිවිය ගැන ද හේ මතකයට නැඟීමට අමතක නොකරයි. ඒ අතීතයේ විනාඩි කිහිපයක් සැරිසරන ඔහු යළිත් වර්තමානය හා සමීප වන්නේ මගේ ඊළඟ පැනයෙනි.

“ඒ කියන්නේ නිවෙසටම වෙලා විවේකයෙන් කාලය ගත කරනවා ද?”

“නිර්මාණවලට සහභාගි නොවුණත් වෙනත් වැඩකටයුතුවලින් ඉවරයක් නැහැ. ඒ කියන්නේ වැඩමුළු, දේශන වැනි බොහෝ කටයුතුවලට සහභාගි වන්නට අප අමතක කරන්නේ නැහැ. මගේ බිරිය වුණත් මේ දවස්වල නියැළෙන්නේ එවැනි කටයුතුවලට සහභාගි වෙමින්.”

ඔහු බිරිය හේමමාලාව අමතයි. හේමමාලා සිය ජීවිතය ආරම්භ කරන්නේ හෙදියක ලෙසිනි. ඉන්පසුව එකින් එක විභාග සමත් වන ඕ විවෘත විශ්වවිද්‍යාලයේ 2005 වසරේ සිට අංශ ප්‍රධානී ලෙස වසර හත හමාරක් කටයුතු කිරීමෙන් අනතුරුව ද දිගු කාලයක් සිය දැනුම බෙදා දෙන්නීය.

“තවමත් ඉගැන්වීම් කටයුතුවල යෙදෙනවද ?”

“ මේ වෘත්තියෙන් මා සමු ගන්නේ 2012 වසරේදී. ඒ වයස හැටපහ පිරුණාට පසුවයි. එහෙත් මට විශ්‍රාම ගියාට ගෙදර නතර වෙන්න ලැබුණේ නැහැ. ඒ වනවිට ආරම්භ කරන පෞද්ගලික විශ්වවිද්‍යාලයකට විෂය ප්‍රධානියා වී නර්සිං ඩිග්රි එක ඩිවොලොප් කරන්න කියලා ආරාධනා ලැබෙනවා. එතැනින් ඉල්ලා අස්වෙන්නේ මේ ජනවාරි මාසයේ අවසන් වනතුරු ඉඳලයි. ඒ අම්මාව බලා ගන්න ඕන නිසා. එහෙම වුණත් එහිත්, විවෘත විශ්වවිද්‍යාලයේත් විසිටින් ලෙක්චර් කෙනෙක් ලෙස තවමත් මගේ සේවය ලබා දෙන්නේ මා බොහොම කැමැත්තෙන්.”

හේමමාලි පවුලේ එකම දියණිය බැවින් සිය මවගේ වගකීම උරදරා සිටින්නීය.

“වගකීම් යුතුකම් දන්නා අපූරු දියණියක්.”

“අම්මාට වයස අවුරුදු අනූඅටක්. ඒනිසා ඇයව හොඳීන් බලාගත යුතු වෙනවා. මට ඉන්නේ සහෝදරයන්ම තුන්දෙනෙක්. දුවක් විදියට අම්මා කෙනෙක් ඉන්න ඕන මා ළඟයි. මගෙන් විය යුතු යුතුකම් සියල්ල ඉටු කරමින් ඇයව බලා ගැනීම මට පැවරුණු වගකීමක්. ඒ අතර ඉඩකඩ ලැබුණු විදියට අපේ දරුවන් බලලා එන්නත් අපි දෙන්නා අමතක කරන්නේ නැහැ. ඔවුන් සියලු දෙනාම ඉන්නේ විදේශ ගතවෙලා.”

මව්පියන් ලෙස තම දරුවන් අමතක කිරීමට ද ඔවුන්ට නොහැකිය. පළමු වැන්නී ප්‍රියංවදා ය. දෙවැනියා සිද්ධාර්ථ ය. බඩපිස්සී සුලෝචනා ය.

“ඔවුන් කලාවට සම්බන්ධ ද?”

“මෙහේ සිටින කාලයේ පුතාත්, පොඩි දුවත් රූපවාහිනියේ වැඩසටහන් කළා. පුතා නිෂ්පාදන කටයුතු තමයි කළේ. ලොකු දුවටත් ගීත ගයන්න පුළුවන්. පොඩි දුව තමයි මෙහේදි වුණත් රංගන කටයුතුවල නිරත වුණේ. එයා ඒ රටට ගියත් කලා කටයුතුවලින් ඈත් වී නැහැ. එහේ ඉඳගෙන නිර්මාණ කරණයේ නියැළෙනවා. අපිටත් මුනුපුරෝ, මිනිබිරියෝ කිහිපදෙනෙක්ම ඉන්නවා. පුතාට ඉන්නේ අවුරුදු අටක පුතෙක්. ලොකුදුවට පුතෙකුත්, දුවෙකුත්, පොඩිදුවට දූලා දෙන්නයි, පුතෙකුත් ඉන්නවා. ඒ වගේම මගේ වාසනාවන්ත අංකය වෙන්නේ අංක තුන බවයි මා සිතන්නේ. මා එහෙම පවසන්නේ මට ඉන්නේ දරුවන් තුන්දෙනෙක්. ඒත් සමඟම බෑනලා දෙන්නෙක් හා ලේලියෙක් ඉන්නවා. එතැනත් තුන්දෙනයි. මිනිබිරියෝ තුන් දෙනෙක් හා මුනුපුරෝ තුන්දෙනෙක් ඉන්න නිසා ඒ අයත් සම සමව ඒ අංකයට අනුගතයි.”

සොඳුරු රංගධරයා පවසන්නේ සොඳුරු සිනහවකින් අපට සංග්‍රහ කරමිනි. ඔහුගේ කලා ගමනට ඇගෙන් ලැබෙන්නේ මනා පිටුබලයකි. ඒ ඇයද කාලයක් කලාවට ලැදි, එහි නියැළුණු සබැඳීයක හෙයිනි.

“දවස ආරම්භ වෙන්නේ කොහොමද ?”

“ මම නැඟිටින්නේ පාන්දර 3.00ටයි. ඒවෙලාවේ පටන් පොතපත, පත්තර කියවන එකයි මගේ රාජකාරිය වන්නේ. බිරිය නැඟිටින්නේ උදේ 4.30ටයි. ඈ උදේට උයන්න අවශ්‍ය කෑම සූදානම් කරලා අපි දෙන්නාම හැමදාම උදේට කිලෝමීටර් තුනක් ඇවිදිනවා. ඊට පස්සේ ඇවිත් උයලා 7.00ට විතර දෙන්නත් සමඟම කෑම ගන්නවා. ඊට පස්සේ අනෙක් කටයුතුවල නියැළෙනවා.”

වැඩක් තිබුණද නොතිබුණද උදෑසනම අවදි වන බුද්ධදාස විතානාරච්චි බිරියගේ මුළුතැන් ගෙයි කටයුතුවලටද උදව් කරන්නේ මහත් ඕනෑකමෙනි. ඒ කටයුතු කරන බිරියට ඇසෙන්නට සොයාගත් අලුත් තොරතුරක් බුද්ධි කියවන්නේ මේ අතරය. ඇය සොයාගත් යමක් වේ නම් ඒ තොරතුරු දෙදෙනාම හුවමාරු කර ගැනීමද සිදු වන්නේ මේ අවස්ථාවේදීමය.

“නිවෙසේ මොනවගේ කටයුතුවලටද ඔහු ඔබට උදව් කරන්නේ ?”

“හාල් ටික සෝදලා රයිස් කුකර් එකේ තියන එක කරන්නේ මහත්තයා තමයි. ඒ වගේම පරිප්පු උයනවා නම් සෝදන්නෙත් ඔහුමයි. අපි දෙන්නාම මස්, මාළු කන්නේ නැහැ. එළවළු, පලතුරු, ධාන්‍ය වගේ දේවල් පමණයි අපි ආහාරයට ගන්නේ. මහත්තයා නම් කිරිවත් බොන්නේ නැහැ.”

බෞද්ධ දර්ශනයට අනුව ජීවත් වන මේ දෙපළ ගෙවන්නේ සැහැල්ලු ජීවිතයකි. කායික, මානසික වශයෙන් නිරෝගීව, සුව සේ හිඳීන මේ සොඳුරු යුවළ සිය ජීවන ඔරුව පැද යන්නේ කිසිදු බරක් දරාගෙන නොවේ.

“මට හැගෙන්නේ තවමත් ඔබ දෙපළ හදවතින් තරුණ අය බවයි.”

“ ලෝකය නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ලෝකයත් සමඟ අපි වෙනස් නොවුණ හොත් ඊට අනුරූපව හැඩ නොගැසුණොත් අභාවයට යනවා. ඒ නිසා ඕනෑම කෙනෙක් සමඟ අපට කතාබහ කළ හැකියි. ජාති, කුල ගෝත්‍ර, ආගම්, දේශපාලෙයන් කොටු වී, බැඳීම්වලින් පටුවීම නිසයි මිනිස්සු ඉක්මනින් ජරපත් වන්නේ. අපි ඉන්න ඕනෑ මලක් වගේ. ඇඳට වැටුණ ගමන් නින්ද යන්න ඕනෑ. ”

ඔවුන් දෙදෙනා හදවතින් තරුණ වීමෙ රහස රැඳී ඇත්තේ මේ සිතිවිලිවල ය. ඒ සිතුවිලිවලට උපකාර වන අනෙක් සාධකය නම් මේ නිවසේ ඇති පුස්තකාලයයි. පොත් ඔවුන්ගේ මිතුරන්ය.

කාලය ගෙවී ගියේ සැනෙනි. ඒ නිසා මේ අපූරු මිතුරු යුවළගෙන්ද අපට සමුගන්නට කාලය පැමිණ තිබේ. මෙලෙස ජීවිතය විඳීමින් අනෙක් අයට සොඳුරු ජීවිතයක රහස කියාදෙන ඒ යුවළගෙන් අප නික්ම ගියේ ඔවුන්ට දීර්ඝා යුෂ පතමිනි.

අන්තර්ජාලය ඈසුරෙනි.

About SirilakaNews

Check Also

khgkhkg

ස්වර්ණවාහිනි සේවකයන්ගේ වෘත්තීය අයිතීන් රකින්න – මාධ්‍ය සංවිධාන ඉල්ලයි! Protect professional rights of Swarnavahini employees – Media organizations

ස්වර්ණවාහිනි ආයතනයේ වෘත්තීය සමිතියක් ආරම්භ කිරීම හේතුවෙන් උරණ වූ සේවකයන් පහළොස් දෙනාගේ වැඩ තහනම් කිරීම ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *