Breaking News
Home / නිදහස් පන්හිද / කොටියාගේ ජිවිත කතාව.

කොටියාගේ ජිවිත කතාව.

sil-07-12-sk-68-bnjimages (1)aug3“ඩිඩ්… හී… ඩූ… ඉට්” – “ඩිඩ්… හී… ඩූ… ඉට්” එක් වනම වැව් පිටිය දිසාවෙන් නැඟුණු කිරළ ඝෝෂාවට, වනාතේ සිට වඳුරු රංචුව එකතුව නැඟූ “බුකු” – “බුකු” ව මිශ්‍ර වීමෙන් නිර්මාණය වූයේ කලබලකාරී ස්වභාවයකි‍. වැව් පිටියේ නිර්මාණය වී ඇත්තේ මහත් වූ කලබල බවකි. ඉවුර සමීපයේ හිඳ ජල පානයේ නිරත වූ පිල්බර – මොනරා “ පී… හෝන්” – “පී…හෝන්” හඬින් නද දී එක්වර ම අහසට නැඟුණේ ය.

කලබලයේ තැබූ එකී පිම්ම නතර වූයේ “බස” – “බස” සරින් සුළං බදමින් කළ කෙටි පියාසැරියේ පිහිටෙන් අසල වූ නුග ගසට පාත්වීමෙනි. ඒ මත සිට ද හේ “පී… හෝන්” – “පී… හෝන්” නාදය රළුව නැඟුවේ ය.

මෙතුවක් නිහැඬියාවේ පසු වූ වනපෙත එක් වනම කලබලයකට පත් වූයේ මන්ද? සිත යළිත් විමසයි. මම වැව් පිටිය සිසාරා දෙනෙත් යොමු කර විමසිලිමත් වීමි. නමුදු එක්වනම නෙත ගැටෙනා අමුත්තක් නැත. යළිඳු වනාත දිගේ දෙනෙක් යැවීමි. එක් වනම දෙනෙත නතර විය. ගත සලිත වූයේ නිමේෂයකිනි. කලබලකාරිත්වයට හේතු කාරකයා මා අභිමුවම හිඳී.

පසුපස ගාත් යුගල මත උක්කුටික ඉරියව්වෙන් නතරව ඉදිරි ගාත් යුගලට බර දී හිඳ සිටින්නේ මමාලියා වර්ගයේ, කානීවෝරා ගෝත්‍රයේ, ෆෙලිඩේ කුලයට අයත් ‍ෆැන්තෙරා ෆාඩුස් කොටියාය යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලැබු කොටියෙකි. සිරුර පුරා දිව යන කහපාට වර්ණයේ කළු පුල්ලි රටාව දරනා අනගි කොටියෙකි. මෙරට වනපෙත් තුළ පවත්නා භයංකාරත්වයේ ප්‍රතිමූර්තියකි. වන සංචාරයක් තුළ දි දැකීමට අසීරුම සහ දැකිය යුතු ම ක්ෂීරපායි සත්වයා වන ‘කොටියා’ දැක ගත හැකි වූ කල සිතට දැනෙනා සතුට කෙබඳු විය හැකි ද?

එළිමහන් පිටියේ හිඳ සිටි කොටියා පසුබිමෙන් නැ‍ඟෙනා කලබලකාරීත්වයේ හඬ නොතකා භාවනාවකට සම වැදී සිටී. එනමුදු විවෘත දෙනෙතෙහි රැඳී අනුකම්පා විරහිත බැල්ම හඟවනුයේ තම නිවස්න වන වනාන්තරයේ ස්වභාවය හොඳාකාරවම දන්නා බවකි. එය ඔප් නංවනු වස් ඌ ඉදිරි දකුණු පාදයේ තවරා ගත් කෙළ පොදකින් මුව දෝවනයේ නිරතව සිටී. රාත්‍රි දඩකෙළියට ප්‍රථම ලද මේ කෙටි විවේකය හඟවනුයේ එළැඹෙන රාත්‍රිය වෙහෙසකාරී වන බව ද? රාත්‍රිය උදාවීමට ආසන්න ය. වනපෙත ඔහුට හඬ ගසයි. “එන්න… ජීවත්වීම උදෙසා සටන් කරන්න. ජීවිතේ ගැට ගසා ගන්නට කෑම කටක් සොයා යා යුතුයි නොවේද? ජීවත්වීම උදෙසා කන්න… කෑම උදෙසා ජීවත් නොවන්න…” වනාන්තරයේ ජීවිත න්‍යාය එබඳු ය.

හුන් තැනින් නැඟී සිටි කොටියා පසුවනුයේ සෝමාරීකමකිනි. එයට හේතුව දිවා සමයේ දී පලු ගස් දෙබලකට වී හිතේ හැටියට නිදාගත් නිසා විය යුතු ය. දෙපයින් සිට ගත් හේ හොඳින් ඉදිරියටත්, පසුපසටත් දිගා වෙමින් ඇ‍ඟෙහි හිරි පහ කරගත්තේ ය. නිද්‍රාවේ පසු වූ කුස ගින්න අවදි වී ඇති හැඩයි. හුන් තැනින් පෙරට පා තබමින්, තම පරපුරට හිමි ගමන් තාලයෙන් වනයට ඇඳී නොපෙනී ගියේ ය.‍ ඒ එළැඹෙන රාත්‍රියේ දී හොඳ දඩයමක් කරගන්නා අටියෙනි.

Panthera pardus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කොටියාගේ උප විශේෂ 08 ක් ලෝකයේ වනාන්තර ආශ්‍රිතව දිවි ගෙවති. Panthera pardus pardus – අප්‍රිකාවේ ජීවත්වේ. Panthera pardus saxicolor – මධ්‍යම ආසියාවේ ජීවත් වේ. Panthera pardus melas – ජාවා දූපත්වල ජීවත්වේ. Panthera pardus kotiya – ශ්‍රී ලංකාවේ ජීවත් වේ. Panthera pardus fusca – ඉන්දියාවේ ජීවත් වේ. panthera pardus japenensis – උතුරු චීනයේ ජීවත් වේ. Panthera pardus orientalis – නැ‍ඟෙනහිර රුසියාවේ ජීවත් වේ. Panthera pardus amur – රුසියාවේ සුළු කොටසකට සීමා වන අතර කොටින්ගේ ව්‍යාප්තියේ සමස්තයක් වශයෙන් ගත් කල ලෝකයේ ජීවත් වන දුර්ලභ උප විශේෂයක් සේ සැලකේ.

ශ්‍රී ලංකාව තුළ ජීවත් වන බළල් පවුලට අයත් සාමාජිකයින් අතුරින් විසල් සිරුරකට හිමිකම් කියනුයේ Panthera pardus kotiya යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කොටියා ය. ඒ අතරේ ඇතැම් පිරිස් දිවියා සහ කොටියා පටලවා ගෙන වැරදියට වටහා ගනී. එනම් විද්‍යාත්මක නමට සරිලන අයුරින් ම අප රට තුළ ද ජීවත් වනුයේ කොටියා ය. දිවියන් ලෙසට හමු වනුයේ ‘හඳුන් දිවියා’ (Fishing cat) සහ ‘කොළ දිවියා’ (Jungle Cat) පමණි.

ෆැන්තෙරා ෆාඩුස් කොටියා ය යන විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබන අප රට තුළ දී හමු වන උප විශේෂය වර්ණයෙන් කහ පැහැති ය. කහ පැහැති සිරුර පුරාවටම කළු පුල්ලි රටාවක් දිව යයි. එකී උප විශේෂයම නියෝජනය කරනා නමුදු කළු වර්ණයෙන් යුක්ත වූ ‘කළු කොටි’ වශයෙන් හඳුන් වනු ලබන කොටි ගහනයක් ද සිංහරාජ සහ සිරිපාද අඩවිය ආශ්‍රිතව ජීවත්වන බවට වාර්තා වී ඇත. අවස්ථාවන් කිහිපයකදීම ඉහත සඳහන් කළ වනපෙත් අවට ව්‍යාප්තව ඇති ගම්මානයන් ආශ්‍රිතව මෙකී සතුන් ගැවසෙනු සහ උගුල් වලට හසු වීමෙන් ජීවිතක්ෂයට පත් වූ අවස්ථාවන් ද වාර්තා වී තිබේ. මෙම සත්වයින්ගේ ශරීරය කළු වර්ණයෙන් යුක්ත වුවත් වඩාත් සමීපව පරීක්ෂා කිරීමේ දී කළු පසුබිමෙහි දිව යන කහ පැහැති පුල්ලි රටාවන් නිරීක්ෂණය කළ හැකිය. කළු කොටින්ගේ ව්‍යාප්තිය ඉතාමත් දුර්ලභ ය. සිංහරාජ වනපෙත ආශ්‍රිතව උගුලකට හසු වීමෙන් මිය ගිය කළු කොටියෙකුගේ සංරක්ෂිත සිරුර ගිරිතලේ ජාතික වනජීවී පුහුණු කේන්ද්‍රයේ පිහිටා ඇති වනජීවී කෞතුකාගාරයේ ස්ථාපිත කර තිබේ. වනජීවීන් හා සම්බන්ධයෙන් වන අධ්‍යාපනයන්හි නිරත වන්නන්ට එකී කෞතුකාගාරය කදිම අත්වැලකි. ආර්.එල්. ස්පිට්ල් මහතා විසින් රචිත වනකථා සාහිත්‍ය කෘතිවල ද මෙකී කළු කොටින් පිළිබඳ විචිත්‍රවත් වූ කරුණු සඳහන් සඳහන්වේ.

ශ්‍රී ලාංකීය වනාන්තරයන්හි සරනා භයංකරත්වයේ ප්‍රතිමූර්තියක් බඳු වූ කොටියා පිළිබඳව සිදු කරන්නා වූ විධිමත් අධ්‍යයනයක් හරහා එම සත්වයාගේ වත – ගොත හෙළිදරව් කිරීම වනජීවී සංරක්ෂණයේලා ගැනෙන හරවත් වූ ප්‍රවේශයක් වනු ඇත. ඒ මන්ද යත් අප රට තුළදී සුළු භූමි ප්‍රදේශයකට සීමා වී ජීවත් වන කොටි (සංවර්ධනය හමුයේ වනජීවී රක්ෂිතයන් දෙකඩ කරමින් මාර්ග ඉදිවීමෙන්) රිය අනතුරු, උගුල් ඇටවීම්, වස විෂ වලට ගොදුරුවීම්, බදින කඳන් වලට හසුවීම් ආදී වූ මානව ක්‍රියාකාරකම්වලට නතු වීම හරහා නිරන්තරවම ආපදා තත්වයන්ට භාජනය වෙති. එවැනි වූ හදිසි අනතුරු නිසාවෙන් ආබාධිත තත්වයන්ට පත් වන කොටි ස්වකීය සුපුරුදු දවසැරියෙන් ඉවත් ව ආගන්තුක වූ හුරු පුරුදු වලට ද නතු වෙති.

අබ්බගාත කොටි

මෙවැනි මානව ක්‍රියාකාරකම්වලින් අබ්බගාත වන කොටි පසුකාලීනව දඩයමක් කරගැනීමට අවැසි ජවසම්පන්නකමින් හීන වෙති. එවිට ඔවුන්ට තිබෙනා එකම විකල්පය වන්නේ වනාත්තර මායිමේ පිහිටා ඇති ගම්මානවලට වැදී බල්ලන්, බළලුන් සහ ගවයන් වැනි පහසු ගොදුරක් දඩයම් කරගැනීම වේ. මෙකී ක්‍රියාවලියට හුරු වූ කොටියෙක් වෙතොත් ඌ ගෘහාශ්‍රිත සතුන් දඩයමට වැඩි නැඹුරුවක් පෙන්වයි. එවැනි වූ වන සතෙකුගෙන් මිනිස් ජීවිත වලට වුව ද තර්ජනයක් සිදු වීමේ වැඩි ප්‍රවණතාවක් පවතී.

පූනානි කොටියාය යන විරුධාවලිය ලත් මිනිසුන් මැරීමට හුරු වූ කොටියෙකු පිළිබඳව අතීතයේදී වාර්තා වී ඇත. එකී කොටියා ද යම් හේතුවක් මත ඇති වූ බෙලහීනතාවයකින් පීඩා විඳි බැවින් එකී මිනිස් දඩයමට හුරු පුරුදු වී ඇත. ශ්‍රී ලංකාවේ නැ‍‍ඟෙනහිර කලාපයට අයත් පූනානී නමැති ප්‍රදේශය ආශ්‍රිතව වාසය කළ බැවින් එම කොටියා එම ප්‍රදේශයේ නමින් ම හැඳින්විණි. පූනානි අසලින් ගමන් කළ මිනිසුන් දොළොස් දෙනෙකු තම ගොදුරු වශයෙන් ඩැහැ ගැනීමට පූනානී – කොටියාට හැකි විය. එකී ගොදුරු අතරින් අවසන් තැනැත්තා බවට පත් වූයේ (1924 අගෝස්තු මාසයේදී) තැපැල් ගමන් මලු රැගෙන රාජකාරියේ නිරත වූ සේවකයෙකි.

මහජනයාගේ ආරක්ෂාව පතා පූනානි – කොටියා වෙඩි තැබීමට තීරණය කරන ලදුව ආර්. ෂෙල්ටන් අගාර් නමැති වෙඩික්කරු විසින් පූනානී කොටියාගේ අවසන් ‍ගොදුර බවට පත් වූ තැපැල් කරුගේ මළ සිරුර අබියස රැක සිට පූනානී කොටියාට වෙඩි තබා ඇත. එසේ මරණ ලදුව එම සතාගේ සංරක්ෂිත සිරුර කොළඹ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ.

මිනිස් ‍ගොදුරකට කුරුමාණම නොගන්නා තුරු මිනිස් කුයිලයක් දැනෙත් ම සීරු මාරුවට වහන් වන කොටියා මිනිසුන්ට කෙතරම් බියක් දක්වන්නේ ද යත් “මිනිසෙකු දුටුවොතින් කොටියාට දින හතක් උණ…” යනුවෙන් ඒ හා පටබැඳිව ජන කියුමක් ද නිර්මාණය වී ඇත. මීට අමතරව කොටියා සම්බන්ධයෙන් වන ජන පිරුළු සහ ජන වහර ලාංකීය ජන සමාජය හා බැඳී පවතී.

වනාන්තර භයංකරත්වයේ ප්‍රතිමූර්තිය වශයෙන් කොටියා හැඳින්වුව ද ස්වකීය දිවි පැවැත්මට බාධාවක් එල්ල නොවන තුරු තමන්ටම අනන්‍ය වූ නිහඬ ජීවිතයක් ගත කිරීමට මෙකී වනජීවියා කැමැති ය.

ශාරීරික බෙලහීනතාවකින් පීඩා නොවිඳිනා තුරු ‍’කොටියා’ සතු දඩයම් ශිල්ප ක්‍රමයන්ට නොදෙ‍වැනි වෙනත් වනජීවියකු නොමැති තරම් ය. හිරු රැස් ගස් අතුරින් පෙරී බේරී වන පෙත සිප ගනිත් ම පොළෝ තලයේ මැවෙනා සෙවණැලි හා සම වූ කහ පැහැති සිරුරේ දිවයන කළු පාට ලප පිහිටා ඇති හැඩතලයන් සහ සිහින් සුනම්‍ය, ශක්තිමත් සිරුරක් වනාන්තර ජීවිතයට සුදුසුම නිර්මාණයක් නොවන්නේ ද? ඊට පරදු තබනුයේ කවරෙකු ද? ජවසම්පන්න ධාවනයට සහ නිමේෂයකින් ගසක් මතට ගොඩ විය හැක්කේ කොටියාට හැර වෙන කුමන සතෙකුට ද?

වනපෙතෙහි ජීවත්වන කොටියෝ තම තමන් විසින් වෙන්කර ගත් වසම්හි ජිවත්වීමට ප්‍රිය කරති. ස්වකීය ගොදුරු බිම් තවත් කොටියෙකු හා සමඟ සාමූහිකව බුක්ති විඳීමට ඔවුහු අකමැත්තෝ ය. ගස් කඳන් මත තබනා නිය සලකුණු, තමන් ගේ වසුරු සහ මුත්‍රා මඟින්, සිය වසමේ අයිතිය සලකුණු කිරීමට මොවුහු හුරු වී සිටිති.‍ ‍එම මායිම් දිවා රෑ අලුත් කිරීමට ද කොටියා අමතක නොකරයි. එක් පිරිමි කොටියෙකුගේ වසමක් තුළ ගැහැනු සත්වයින් කිහිප දෙනෙකුගේ හැසිරීම සිදු වුවත් පිරිමි සත්ත්වයෙකුගේ පැමිණීමක් නම් සිදු නොවේ.

කොටි සටන්

ඉදින් මෙකී වැටකඩොලු නොතකා තමන් ගේ විජිතය ආක්‍රමණය කරනා සෙසු කොටියෙක් වන්නේ ද?… එතැන් සිට ඇරැඹෙනා සටන නිමා වන්නේ එකකු පරාජය බාර ගෙන ඉවත්ව යෑමෙන් හෝ නියත මරණයකින් පසුව ය… මෙවැනි වන හටන්වලින් අබ්බගාත වන කොටියන් ද පසුකාලීනව දඩයමක් කරගැනීමට අවැසි ජවසම්පන්නකමින් හීන වෙති. එවිට ඔවුන්ට ද තිබෙනා එකම විකල්පය වන්නේ වනාන්තර මායිමේ පිහිටා ඇති ගම්මානවලට වැදී පහසු ගොදුරක් දඩයම් කරගැනීම ය‍. එනම් මෙකී ක්‍රියාවලියට හුරු වූ කොටි වෙතොත් ඌ ගෘහාශ්‍රිත සතුන් දඩයමට වැඩි නැඹුරුවක් පෙන්වයි.

කොටි පැටවුන් කුඩා අවදියේ දී මවු පාර්ශ්වයේ ආදරය සහ රැකවරණය මත ඇති දැඩි වන අතර මව වරකදී පැටවුන් 01 -04 ත් අතර සංඛ්‍යාවක් බිහි කරයි. මොවුන් ගේ වාසස්ථානය වන්නේ බොහෝ විට ගල් ගුහාවකි. පැටවුන් උපන් අලුත දුර්වල තත්ත්වයේ පසු වුවත් මවු කිරි බී වර්ධනය වත් ම වනාන්තරයට අවැසී ජාන ශක්තියෙන් පරිපූර්ණ වෙයි. කුඩා වියේ පටන් ම තම මවගේ සෙලවෙන නගුට හා සමඟ සෙල්ලම් කරමින් අරඹන වනගත තක්සලාවේ වන සටන් ශිල්ප ක්‍රම පිළිබඳව වන අත් ‍- පොත් තැබීම, පසුකාලීනව සතෙකුට කුරුමාණම ගන්නා අයුරු උගැන්මට ඔවුන්ට ඉවහල් වේ.‍ වයසින් මුහුකුරා යත් ම මව හා සමඟ දඩයම් මඟට බසිනා තරුණ කොටි පැටවුන් සියලු ම දඩයම් ශිල්ප ක්‍රමයන් මව හා සමඟ දඩයමේ යෙදෙමින් ම උගෙන ගනියි. අවසන තනිවම දඩයමේ යෙදී තම අවශ්‍යතාවය සඳහා සතෙකු ගොදුරු කර ගැනීමට සමත් වත් ම ස්වකීය ස්වයං පාලනය පතා මවගෙන් වෙන්ව ඔවුහු නික්ම යති. එසේ නික්ම ගිය ද නව වසමක් අත්පත් කර ගෙන ස්වකීය ආධිපත්‍යය පතුරුවා ගැනීමට ඔවුන්ට කාලයක් ගත වනුයේ, එකී අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා පරිණත වූ වැඩිහිටියන් හා සමඟ හරි හරියට සටන් වැදීමට සිදුවන බැවිනි. වනාන්තරයේ රීතිය එබඳු වේ. සෑම විටෙකදීම ආධිපත්‍යය පතුරුවමින් ස්වකීය ඉදිරි පරම්පරාවේ පීතෘත්වය දරන්නේ ශක්තිවන්තයින් පමණි. දුර්වලයින් ගේ ආයුෂ කෙටිය. වයස්ගත වත්ම ශක්තිවන්තයා ද වනාන්තර රීතියට යටත්ව නව පරම්පරාවට ඉඩ දී ජීවිතයෙන් නික්ම යයි. මන්ද යත් දුර්වලයින්ට වනයේ පැවැත්මක් නොමැත.

යම් සත්වයෙකු දඩයම් කිරීමෙහිලා කොටියා සමත් වන්නේ බොහෝ වාර ගණනක් උත්සා කිරීමෙන් අනතුරුව වේ‍. තිත් මුව රංචුවක මුව ග්‍රහණයේ ව්‍යාප්තිය යහපත් වුවත් ඉන් එක් මුවෙකු ගොදුරු කර ගැනීමට නම් දඩයම් ශිල්ප ක්‍රමයන්ගෙන් පොහොසත් කොටියා ට වුව ද මහත් වූ පරිශ්‍රමයක් දැරීමට සිදුවනු ඇත. මන්ද යත් ගොදුරු වන්නා සහ ගොදුරු කරගන්නාගේ දක්ෂතාව මත එම දෙපාර්ශ්වයේ ම ඉදිරිය තීරණය කිරීමට සොබාදහම නිරන්තරවම වග බලා ගනියි‍. ඒ කෙසේද යත් කොටියා දඩයමට සමත් වන්නේ යම් සේද, කොටියාගෙන් ගැලවීමට අවැසි තියුණු වූ සහජ ඉවක් තිත් මුවා සතුව පවතී. එබැවින් ගොදුරට මානම ගන්නා අවස්ථාවන් සියයෙන් එක් අවස්ථාවකදී පමණක් කොටියා සාර්ථක විය හැකි ය.

වනපෙතේ රැඳි නිහඬතාව පරයා තනි වූ මුවැත්තියකගේ දුක්බර අ‍ඳෝනාවක් ඇසේ. පෙර දිනයකදී තමනට අහිමි වූ පෙම්බරා සිහි කරමින් ඇය හඬන්නී ය. ඒ හා සමඟම එදිසාවෙන් ම නැඟ ආයේ රුදුරු කොටි හඬකි. එකී හඬ නැගෙත්ම වික්ෂිප්ත වූ මුවැත්තිය ගේ දුක් ගී රාවය තව තවත් වනාතේ සදිසා‍වටම ගලා ගියේ ය. පෙර කී ව්‍යසනයේ හේතුකාරකයාට ශාප කරමින් නැඟි හඬම, අඳුරු වන පෙතෙහි තමා සිටිනා තැන කවරේ දැ’යි යන්න කොටියාට පෙන්වන සලකුණකැ’යි යන්න ඇය නොදන්නා සේ ය. ඒ බැව් සනාථ කරමින් ම වනාත දෙසින් නැඟී ආයේ පොර බඳිනා හඬකි. කොටි සහ මුව හඬ මුසුවූ රාවයකි. ගෝරනාඩුවකි. මුවැත්තියගේ දිගු සුසුම්ලෑමකි.

එකී පොර බැදීම අවසන ජයග්‍රාහී කොටි ගෙරවුමකි. ඉදින් අද දිනයේදීත් ජයග්‍රාහකයා ඔහුමය. ජය – පැරදුම යනු වනාන්තරයට පොදු වූ දහමකි.

වන ජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ තොරතුරු ආශ්‍රයෙනි.

About SirilakaNews

Check Also

SKIIL

මානව මුතුන්මිත්තන් පිළිබද පවතින මතවාදය අභියෝගයට ලක්වන මිනිස් හිස් කබළක් ඉතියෝපියාවෙන් හමුවෙයි! Ethiopia meets human skull to challenge existing ideology of human ancestors.

වසර මිලියන 3.8ක් ඉපැරණි වානර ලක්ෂණ සහිත ආදි කාලීන මානව හිස් කබලක් ඉතියෝපියාවෙන් සොයා ගැනීමට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *